ශ්‍රී ලාංකිකයන්ට පුප්පන අපේ ජාතික ගුවන් සේවය…


මෑතකදි මට අහන්නට ලැබුනේ අපේ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සේවය ගිය වසරේ පාඩු ලැබූ ආයතනයක් වූ බවයි. වැරදි නම් තතු දත්තෝ කමා වී මා නිවැරදි කරත්වා…

මේ ලිපියේ අරමුන ශ්‍රීලංකන් ගුවන් සේවයේ පාඩු ගැන කථා කිරීම නොවේ, ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් සිදුවන විශාල අඩුපාඩුවක් පෙන්වා දීමයි. සමහර විටෙක පාඩු ලැබීමට මෙයත් හේතුවක් වියහැකි නිසා පාඩුව ගැන කියලම ලිපිය පටන්ගන්න හිතුනා. එහෙම නැතුව කිසිම දේශපාලන පරමාර්ථයකින් එහෙම කිව්ව නෙවේ.

දැන් වසර ගනනාවක සිට ලංකාවෙන් පිටත ජීවත්වූ මම ශ්‍රී ලාංකිකත්වය කවදත් අභිමානයක් කොට සිතුවෙමි. හැකි හැම විටම අපේ ජාතික ගුවන් සේවයෙන් ගමන් කරන්න පුරුදුවුනේ ඒ හැම සතයක්ම කෙසේ හෝ ලංකාවට යන නිසාය. ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපේ ගුවන් සේවයේ ගමන් කිරීම අප සතු වගකීමක් වුවත්, කණගාටුවෙන් උනත් කියන්නට සිදුව ඇත්තේ මා ඇතුලුව වැඩිමනක් මගේ යහලුවන් දැන් ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් ගමන් කිරීම නවතා ඇති බවයි. ඒ වෙනත් හේතුවක් නිසා නොවේ. අපේම ජාතික ගුවන් සේවයේ ගුවන් සේවිකාවන් ශ්‍රී ලාංකිකයන් වන අපට පුප්පන හැටි බලාසිටින්නට නොහැකි නිසාය.

මේ තත්ත්වය මැද පෙරදිගට ගමන් ගන්නා ගුවන් යානා වල ඉතා දැඩි වශයෙන් දක්නට ඇති බව කනගාටුවෙන් යුතුව කිව යුතුව ඇත.

පළමුවෙන්ම, මේ ගුවන් සේවිකාවන් සිතාසිටින්නේ මැද පෙරදිග සිටින සියලුම දෙනා එක්කෝ ගෘහ සේවිකාවන් හෝ රියදුරන් බවයි. එම නිසාද කොහෙදෝ ඔවුන් අප ශ්‍රී ලාංකිකයන්ට කතාබහ කරන්නේ සහ සලකන්නේ ඒ අයුරිනි. එම නිසා මුල් කාලයේ ශ්‍රීලංකන් හි ගමන් කරන විට කෝට් බෑයක් වත් ඇඟ ලා යෑමට මම පුරුදුව සිටියෙම්. ඒ විශේෂ අවධානයක් ගන්නට නොව, ඔවුන්ගේ රළු කතා බහින් වැලකී සිටීමටය. නමුත් අවට සිටින අයට ලැබෙන සැලකිල්ල මම දුටුවෙමි. මේ නිසා ශ්‍රීලංකන් යානය තුල ගුවන් සේවිකාවන්ගේ උදහසට ලක්නොවී සිටීමට නම් එක්කෝ ඔබ ඉංග්‍රීසියෙන් කතා කල යුතුය, නැත්නම් උත්සවයකට යන්නාක් මෙන් හැදපැළඳ සිටිය යුතුය.

ගුවන් සේවිකාවක් යනු ඉතා වගකිව යුතු රැකියාවකි. ගුවන් යානයේදි මගීන්ට සැළකිලි කරනවාට අමතරව හදිසි අවස්ථාවකදි ඔවුන් සතු වගකීම් බොහෝ ය. ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් සේවිකාවන් බොහොමයක් (හැමෝම නොවේ ) සිතා සිතින්නේ ඔවුන් හරි “බඩු” කියාය. ඒ නිසාමද කොහෙදෝ ඔවුන් අනිත් ගුවන් සේවාවල අය මෙන් නොව ඉතා ආඩම්බරය. (ඒ තත්ත්වය විස්තර කිරීමට මට සොයගත හැකි වූ සංවරම වචනය “ආඩම්බර” යන්නයි ) . යමෙක් ඔවුන්ට කතා කළහොත්, විශේෂයෙන් ශ්‍රීලාංකිකයෙක් කතා කළහොත්, එය ඔවුන් හා flirt කිරීමක් ලෙස ඔවුනට හැඟෙන අතර ඔවුන්ගෙ උදහසට ලක් වීමට ඇති ඉඩකඩ වැඩිය.

වෙනත් රට වල මෙන් නොව ගුවන් සේවිකාවක් වීමට බුද්ධියට වඩා රූපය අවශ්‍යයව ඇති විටෙක මෙය සාමාන්‍ය දෙයක් බව ඔවුන්ගෙ උදහසට ලක්වන උදවිය නිතර සිතන දෙයකි.

ඕනෑම ජාතික ගුවන් සේවයක ප්‍රධාන ගමන් කරුවන් වන්නේ එම ජාතිකයින් ය. එම සමාගම ලාභ ලබන්නේ ඔවුන් ගමන් කරන නිසාය. එම නිසා ගුවන් සමාගමක් සතු වටිනාම ධනය තම ජාතිකයන්ගේ විශ්වාසයයි. ඔවුන් හට හරි හැටි සැලකීම (ගෘහ සේවිකාවක් හෝ රියදුරෙක් වුවත්) සමාගම සතු වගකීමකි. මැද පෙරදිග සිට ශ්‍රීලංකන් හි ඉන්දියානුවන් බොහෝ දෙනෙක් ගමන් කරති. ඒ අඩුවෙන් ඉන්දියාවට යෑමටය. ශ්‍රීලංකන් හි ගමන් කරන මලබාරි හෝ වෙනත් ඉන්දීය ජාතිකයෙක්ට අපට ලැබෙනවාට වඩා ලොකු සැලකිල්ලක් ලැබේ. ඔවුනට හොඳින් සළකා ආකර්ෂනය කරගන්නට උත්සාහ කරන ශ්‍රීලංකන් සේවය හට ඉතා වැදගත් යමක් අමතක වී තිබේ. ඒ ශ්‍රී ලාංකිකයන් ය.

මේ ගැන මට ලියන්නට හිතුනේ මේ අත්දැකීම ලැබු අයෙක් හොඳටම කළකිරී කිවු කතාවක් නිසාය. මැද පෙරදිග සමාගමක ඉහලම පෙලේ විධායක තනතුරක් දරන, වයස අවුරුදු 50 ඉක්මවූ ඔහු, එක් ගුවන් සේවිකාවක් හා වාදයකට පැටලී ඇයට අවසානයට කියා තිබුනේ මේසේ ය…

” Look young lady, you’re not more than a waiter in a restaurant. “

ගුවන් සේවිකාවක් වැනි වගකිව යුතු රැකියාවක් වේටර් තත්වකට දැමු ඔහු මට කීවේ නැවත කිසි දිනෙක ශ්‍රීලංකන් හි ගමන් නොකරන බවයි.

මේ ගැන ශ්‍රීලංකන් කළමනාකාරීත්වය ඉතා සැලකිල්ලෙන් බැලිය යුතු බව මගේ හැඟීමයි.

—   —
ප.ලි: සියලු දෙනාම මතක තබා ගත යුතු අනෙක් කරුන නම්, දැනට ලංකාවේ ප්‍රධාන ආදායම වී තිබෙන්නේ මැද පෙරදිගින් ලැබෙන විදේශ විනිමයයි.බොහෝ දෙනා සිතා සිතින්නේ ගෘහ සේවිකාවන් නිසා මෙය ලැබෙනවා කියායි.

විදේශ විනිමය ලැබෙන්නේ ගෘහ සේවිකාවන් වැනි නොපුහුනු ශ්‍රමිකයින්ගෙන් නොව ලක්ෂ ගනනක් වන මැද පෙරදිග සිටින ඉංජිනේරුවරුන්, ප්‍රමාණ සමීක්ෂකයන්, ගණකාධිකාරීවරුන්, බැංකු නිලධාරීන් සහ නේක විධ වූ පුහුණු ශ්‍රමිකයින්ගෙන් ගෙනි. යුරෝපයේ, ඇමරිකාවේ සිටින බොහෝ අය මැදපෙරදිග සිටින ශ්‍රී ලාංකිකයන් මෙන් තම පඩිය ලංකාවට එවන්නේ නැත….

Advertisements

12 responses to “ශ්‍රී ලාංකිකයන්ට පුප්පන අපේ ජාතික ගුවන් සේවය…

  1. ඔය කතාවට මමත් එකගයී. මැද පෙරදිග ඉදලා කොලඹ එනකොට කෝට් බෑයක් දාගැනීමෙ පුරුද්දක් කාලෙකට උඩදී මටත් තිබුනි. හැබැයී සහෝදර දුක එකට විදිනවායැයී කියලා හිතාගෙන මැදපෙරදිග ඉදලා එන කෙල්ලෝ කොල්ලෝ එක්ක සෙට් වෙලා යෑමේ පුරුද්දක් පහුකාලීනව ඇති කරගත්තේ.

    කොහොමත් දුර ඈත වැඩ කරලා ගෙදර එන අය එක වෙලා කතා කිරීම, හිනා වීම වැරද්දක් නොවෙයී. ඒක මහා අජූත දෙයක්, කරදරයක් විදිහට සැලකීම නරකයී. ඒ අතින්, කටාර් සේවයේ සමහර සේවකයෝ අපේ කට්ටිය ලග බිම ඇන තියාගෙන කතා බහ කරනවා, විහුලු කරනවා දැක්කහම අනේ වාසනවාන් කියලා හිතෙනවා.

  2. ඔබේ අදහසට මමත් එකඟයි. ලාංකිකයන්ට ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් දක්වන සැලකිල්ල මදි. kolu කිව්ව වගේ කටාර් ගුවන් සේවයේ සත්කාර බොහොම ඉහලයි.

  3. ඔව්…ඔබලා දෙන්නා කිව්වා වගේ, කටාර් ගුවන් සේවයේ සත්කාර ඉහලයි. ටිකක් වැඩි ගානක් දීලා හරි මමත් ඒකේ යන්නෙ, ගෞරවයක් ඇතුව නිදහසේ යන්න පුලුවන් නිසා…

  4. මම නම් ශ්‍රීලංකන ඇවිත් තියෙන්නෙ එක පාරයි. ඒකත් malaysian එකට connect වෙන්නේ ඒ දවස් වල ශ්‍රීලංකන එකක් . හැබයි සැලකීම නම් විශේශයක් නැතත් වර්දක් තිබුනෙ නැහ. හැබයි ඉතින් මන් ආව රට හින්දද දන්නෙ නැහ.
    ඕක ලනකාවෙ හුගක් රස්සවල් වල තියෙන දෙයක්. තමන් ගාවට එන මිනිස්සුන්ට සලකන්න දන්නෙ නැහ. අහන්කාරකම තමා.

  5. ගුවන්සේවයක යන එන අය නිතරම වැඩිම වෙලාවක් සම්බන්ධ වෙන්නෙ ගුවන් සේවිකාවො එක්ක. එතනදි එයාලා මගීන් තුල ඇති කරන impression එක ඉතා වැදගත්. මම දන්න තරමින් sri lankan එකේ ටිකට් එකේ ගානත් වැඩියි. ඉතිං මේ දේවල් නිසා මිනිස්සු sri lankan පාවිච්චි කරනව අඩුයි.

  6. ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මෙබඳු අවුලක් ඇති බව මා දැන ගන්නේ මේ ලිපියෙනි. මම ද එම ගුවන් සේවය භාවිත කරන්නේ සැලකිය යුතු කාලයක සිටය. මා දන්නා පමණින් ශ්‍රී ලාංකික රියැදුරන් සහ ගෘහ සේවිකාවන් බොහෝ විට අරාබි බසින් කෑකොස්සන් ගසමින් ඔවුනගේ විප්‍රවාසය විසින් ඔවුන්ව දැවැන්ත ලෙස වෙනස් කිරීම හේතු කොට ගෙන ඔවුන්ගෙන් වැඩි දෙනෙකු ගේ ගුවන් යානා තුළ හැසිරීම අන්තිමය. එම ගෘහ සේවිකාවන් සිතන්නේ ගුවන් යානයේ සිටින සියළු පිරිමින් රියැදුරන් ලෙසය. එමෙන්ම ගුවන් යානයේ සිටින සියළු ශ්‍රී ලාංකික මැද පෙරදිග රැකියා කරන්නන් සිතන්නේ සියළු ශ්‍රී ලාංකික කාන්තාවන් එක්කෝ ලිංගික තෘප්තිය නොලැබීමේ අවුලකින් ජීවත් වන අතර මොකෙක් හෝ පිරිමියෙක් දුටු විට රාගයෙන් මුසපත්ව ඇඳේ ලැගීමට සූදානම් ජාතියක් ලෙසය. මේ මැදපෙරදිග රස්සාවල් කරන පොදු පිරිමියා සහ පොදු ගැහැණියගේ ලක්ෂණයන්ය. මීට වෙනස් අය බොහෝ ඇතත් රියැදුරන් සහ ගෘහ සේවිකාවන් බහුතරයක් මේ මොඩලයට වැටෙති. මේ හේතුවෙන් පිරිමින් විසින් කාන්තාවන් ට ගුවන් යානය තුළ ඇත්තේ සරාගික රංගන ඉදිරිපත් කිරීමකි. කාන්තාවන් රඟන්නේ ආයෙම ලංකාවෙන් පිටත් වෙද්දී ඩ්‍රයිවර් අයියා කෙනෙක් සමග මිත්‍ර වී තමන්ගේ පාළු කාංසියෙන් පෙලෙන ලෝකයට තිත තැබීම පිළිබඳවය. ඔවුන් ලංකාවේ කුමන කසාද තත්වයන් ගත කළත් නැවත මැද පෙරදිග යද්දී ඩ්‍රයිවර් අයියා කෙනෙකු සමග සෙට් වීම සාමාන්‍ය දෙයක් ලෙස සලකති. එමෙන්ම මැද පෙරදිග ගුවන් තොටුපලකින් අලුත් සූට් සහ කළු කන්නාඩි පැළඳ ඩ්‍රයිවර් අයියලාද ගුවන් යානයට ගොඩ වන්නේ කෑමක් සෙට් කර ගැනීමේ අති උතුම් ප්‍රාර්ථනාවෙනි. එය ඔවුනට අනුව රියැදුරන් වීමේ අතුරු ප්‍රතිපලයකි. වරප්‍රසාදයකි.

    දැන් මේ ආකාර වූ බහුතරයක් පිරිමින් සහ ගැහැණුන් දෛනිකව ගමන් කරන ගුවන් යානා තුළ එම ගුවන් සේවිකාවන් ද මේ තත්වයන් පෘථුල ලෙස අත්දැක ඇති බැවින් ශ්‍රී ලාංකික ගුවන් මගියන් වෙත දක්වන ප්‍රතික්‍රියා ද වෙනස් වේ.

    මේ ගැටළුවෙන් මිදීමට මා මුල් කාලයේ සිටම පුරුද්දක් ලෙස කරන්නේ පොතක් කියවමින් පාඩුවේ ගමනාන්තය දක්වා යෙදීමයි. මේ පුරුද්ද හේතුවෙන් ගුවන් සේවිකාවන් ද අනෙකුත් අයද මා රියැදුරකු නොවන බවත් ඊට සාපේක්ෂව කිසියම් ඉහල සංස්කෘතික බවක් ඇති ශ්‍රී ලාංකිකයකු බව වටහා ගන්නේ යැයි මට සිතේ. මා කිසි කලෙක කෝට් ඇඳ නිවාඩු පැමිණ නැති වුවද විස්කි වඩියක් හෝ වෙනත් අනෙක් වරප්‍රසාදයක් ගුවනේදී ලැබීමේ අවස්ථා කිසි විටෙකත් මග හැරී නැත. ‍බොහෝ විට ශ්‍රී ලාංකිකයන් ගුවන් සේවිකාවන් දෙසද බලන්නේ ඔවුන් කැබින් එකේදී පයිලට්ලට අල්ලන බඩු ජාතියක් ලෙසය. මෙය ද බහුතරයක් ශ්‍රී ලාංකික පිරිමින් විසින් විසඳ ගත යුතු ඔලුවෙ ප්‍රශ්නයකි. කෙසේ වුවද මා ඔවුනට සළකන වැදගත් විදියට සමානුපාතිකව ඔවුන් ද මට පෙරළා සලකති. ඒ මගේ අත්දැකීමයි. එබැවින් ගුවන් සේවක මණ්ඩලයේ සියල්ල මා සමග වඩාත් කුළුපග සහ ගෞරවාන්විත ගනුදෙනුවක යෙදෙන බැවින් මෙබඳු අත්දැකීම් මා ලබා නැත.

    නමුත් මැදපෙරදිග ‍රියැදුරන් සහ ගෘහ සේවිකාවන් කුමන ආකාරයේ විදේශ මුදල් ප්‍රමාණයක් ශ්‍රී ලංකාව වෙත එවමින් ආර්ථිකය ශක්තිමත් කරන්නට උර දුන්න ද ඔවුන් සංස්කෘතික වශයෙන් ජරාජීර්ණව විශේෂයෙන් ගුවන් යානය තුළ ඔවුනගේ කල්ක්‍රියාවේ අවුල් නිසා මෙබඳු ද්විප්‍රකාර ගුවන් සේවිකා සැළකිල්ලක් ශ්‍රී ලාංකිකයන් වෙත ලැබෙන බවට ඉඟියක් මා තුළ උපදී.

    කෙසේ වුවද ගුවන් සේවිකාවන් පොදුවේ මගියන් කෙරෙහි ගෞරවයෙන් සහ කරුණාවෙන් සැළකිය යුතු බව ද පිළි ගනිමි.

  7. මට නම් ඔය ගුවන් සේවාවන් ගැන හෝ ‍ගුවන් සේවිකාවන් ගැන අත්දැකීම් නෑ. ඒත් මම එකක් කියන්නම් ලංකාවට කෙළවිලා තියෙන්නේ තමුන්ගෙම රටේ මිනිස්සු එකාට එකා කපා ගන්න එකයි තම තමුන්ගෙ තනතුරු වලින්, පංති භේද වලින් ඔළුව උදුම්මවාගෙන ඉන්න එකයි නිසා. කරුණාකරලා මම වැරදිනම් කියන්න

  8. ඔය ප්රපශ්නයේ පැති කීපයක් තියෙනව. මුල්ම දේ තමයි ලාංකීය සමාජය තුල ගුවන් සේවිකාව ගැන තියෙන ආකල්පය. ලාංකීය “කොළු” සමාජයේ ගුවන් සේවිකාව කියන්නෙ “බඩුවක්” වෙලා. රාජකාරියත් සමඟ ගුවන් සේවිකාවකට හිමිවෙන නිදහස ඔවුන් අයුතු ලෙස භාවිතා කරනවා කියන මතය සමාජයේ මුල් බැසගෙන. ඒත් අනෙක් අතට බොහොමයක් ගුවන් සේවිකාවන්ගේ චර්යා රටාවනුත් මේ මතය පෝෂණය කරන්න හේතු වෙනව. බොහොමයක් ගුවන් සේවිකාවන් බිහිවන්නේ ඉහළම මධ්යෝම පන්තියේ හෝ සුපිරි පන්තියේ පවුල් පසුබිම්වලින් වීමත් ඔවුන් විසින් රියැදුරු, ගෘහ සේවිකාවන් වගේ අයට අඩුවෙන් සලකන්න පුරුදු වීමත් අතර සම්බන්ධයක් තියෙන්න පුළුවන්. මැද පෙරදිග සිට පැමිණෙන ගුවන්යානා වලදි අපේ “කොල්ලන්” ගුවන් සේවිකාවන්ව “බයිට්” කිරීමට උත්සාහ කරන අවස්ථාත් අපමණයි. ඒක ඒ රටවල පවතින ඉතා තද නීති රීති නිසා මැඩගෙන තබාගන්නා ලිංගික ආතතිය පිටකිරීමට උත්සාහ කරන අවස්ථාවක්. එතකොට ගුවන් සේවිකාවන් එවැනි අවස්ථා මග හැර යෑම ස්වාභාවිකයි. ඒත් හැමෝම එහෙම්මමයි කියන්න අපිට බැහැ.

    නමුත් සමහර ගුවන් සේවිකාවන්ගෙත් වැරදි නැත්තෙම නැහැ. දවසක් ගුවන් යානයේදී මම හිටපු අසුනට අනෙක් පැත්තෙ අසුනට භික්ෂූන් වහන්සේ කෙනෙක් වැඩිය. ඔන්න ගුවන් සේවිකාවක් දිවා ආහාර බෙදාගෙන එන ගමන් ඇවිත් හාමුදුරුවන්ගෙන් අහනව “What do you want for lunch?” කියල. අඩුගානෙ හාමුදුරුවන්ටවත් සිංහලෙන් කතා කරපන්! ඒකවත් නැහැ! බෞද්ධ රටක් වෙච්ච ලංකාවෙ ජාතික ගුවන් සේවයේ හැටි ඔහොමයි.

    තවත් දවසක් මම සිංගප්පූරුවේ ඉඳන් ලංකාවට ඇවිත් යන්න ටිකට් එකක් ගන්න උත්සාහ කරල බැරිම තැන සිංගප්පූරුවෙ තියෙන ශ්රීු ලන්කන් ගුවන්සේවයේ කාර්යාලයට කතා කලහම ඇත්තටම දුක හිතුන. Customer Care කියන එක බින්දුවයි. ඒ අය කතා කලේ නිකන් “උඹට ඕනෙනම් ගනින්; නැත්නම් නිකං හිටපන්” වගේ!

    • මෙතන මගේ තර්කය වෙන්නේ අදාල පුද්ගලයන්ගේ චර්යාරටා ගැන නොව, ඉන්දීය(හා අනෙකුත්) ජාතිකයන්ට වෙනත් විදියට සැළකීමත් හා ශ්‍රී ලාංකිකයන්ට තවත් විදියකට සැළකීමත් ය. ඔබලා කියන ලිංගික ආතතිය මැද පෙරදිග සෑම ජන වර්ගයකටම පොදුය. ( මෙයත් එක්තරා විදියට මාධ්‍ය වලින් පුම්බන ලද තත්ත්වයකි. යකා කියන තරම් කළු නැත.) එසේ නම් එකම ආතතියකින් පෙලෙන රටවල් දෙකක අයට දෙවිදියකට සැළකීම යුක්තිසහගත නැත.

      මෙතන ප්‍රශ්නය වී තිබෙන්නේ High attitude towards Sri Lankans කියන එකයි.

      ගුවන් සේවිකාවක් හෝ වෙනත් කාන්තාවක් කාගේ හෝ ගිජු ඇස් වලින් මිදීමට මඟහැර සිටීම සර්වසාධාරණ ය.

      • මම කීවාක්මෙන් සමහර වෙලාවට පංති වෙනස මේකට හේතුව වෙන්න පුළුවන්. බොහොමයක් ලාංකීය ගුවන් සේවිකාවන් අයිති වෙන්නෙ “posh” සමාජයටනෙ. ඒකයි. අනෙක කට්ටිය කියන විදිහට එයාල මේ විදිහට හැම ලාංකිකයෙක්ටම සලකන්නෙත් නැහැනෙ; ජැන්ඩි පහට ඇඳල යන අයට හොඳට සලකනවනෙ!

  9. මදුර අයියාත් සමඟ මං එකගයි…

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )