මේ තිරිසන් ක්‍රියාව හෙලා දකිමු..


අධික වැඩ මධ්‍යයේ උවද එක් කරුණක් නිසා මේ සටහන තැබීමට අවශ්‍යය විය.

සෞදි අරාබියේ රැකියාවකට ගිය ශ්‍රී ලාංකික කාන්තාවකගේ සිරුරට යකඩ ඇන රත්කර ඇතුලුකිරීමේ සිද්ධිය දැක බලවත් කම්පාවට පත්වුනෙමි. ඒ පිළිබඳව ඩේලි මිරර් වෙබ් අඩවියේ පුවත [1] [2] දැකීමෙන් ශෝකයක් මෙන්ම තරහක් ද උපදී..  එම ගෘහ සේවිකාව කුමන වැරැද්දක් කරත් ( එසේ කර ඇත්නම්),  මෙවන් පාපතර ක්‍රියාවක් කිරීමට තරම්  ඒ සේවා දායකයා කෙතරම් තිරිසනෙක් විය යුතුද යන්න මනුසත්කම දන්නා  කා හටත් නැගෙන ප්‍රශ්නයක් විය යුතුය.

සෞදි අරාබියේ රැකියාවට යන ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන්ට මෙවන් අඩන්තේට්ටම් සිදුවූ පළමු සහ අවසාන අවස්ථාව මෙය නොවිය හැකියි. ඒ කෙසේ වෙතත්, මෙතෙක් සිදුවී ඇති කරුණු සළකා බලන විට යම්තාක් දුරකට මෙවන් සිදුවීම් සෞදි මිනිසුන්ගේ පහත් මානසිකත්වයේ කැඩපතක් ලෙස යමෙක් සළකන්නේ නම් එය වැරැද්දක් විය නොහැකිය. තමන් යටතේ වැඩකරන අයට වහලුන්ට මෙන් සැළකීම පහත් මානසිකත්වයේන් පෙළෙන්නන්ගේ ලක්ෂණයකි.

මෙය මින් පෙර වාර්තාවූ රිසානා ගේ සිද්ධිය හා සසඳන්නට මම ඉක්මන් නොවෙමි. නමුත්, මෙවන් සිදුවීම් දකිද්දී සිතෙන්නේ ලාබාල රිසානා වුවත් එතරම් දරුණු ක්‍රියාවක් කරන්නට පෙළඹවූ කරුණු මෙවන් සිදුවීම් අස්සේ රහසේ සොයාගත හැකි බවයි.. රත් කළ යකඩ ඇන වරින් වර සිරුරට ඇතුල් කරද්දී එයට එරෙහි වීමට තබා බෙහෙතක් ලබා ගැනීමටවත් හැකියාවක් මෙවන් ගෘහ සේවිකාවන්ට නොමැති වීමෙන්, ඔවුන් සිටිනා තත්ත්වය ගැන දළ වැටහීමක් ලබාගත හැකිය. ඔවුන් කෙතරම් අසරණද? මේ සිදුවීම තුළින්ම රිසානා සෞදියේ සිටින්නට ඇති තත්ත්වයත් ඇය තුළ තිබෙන්නට ඇති මානසික පීඩනයත් හඳුනාගත හැකිය. එක් අතකින් මේ කාන්තාවට මේ සක්කිලි වද හිංසා විඳ දරාගැනීමට තිබූ දිරිය සහ ආත්ම ශක්තිය ගැන අප පුදුම විය යුතුය.

මේ පිළිබඳව විදේශ නියුක්ති කාර්‍යංශය සහ සෞදි තානාපති කාර්‍යාලය ඇතුලුව විදේශ අමාත්‍යංශය ගන්නා පියවර ගැන අපි සෝදිසියෙන් සිටිමු.. සිදුවූ වරද නිවැරදි කළැ නොහැක. නමුත් විපතට ලක්වූ ඒ කාන්තාවට සරිලන වන්දි මුදලක් සහිතව යුක්තිය ඉටුකරදිය හැකියි. එමෙන්ම මේවන් සිදුවීම් යළි නොවන්නටත් වග බලාගත යුතුය.

ප/ලි : සෞදි අරාබියට දන්න කියන කාටවත් යන්න කියල කියනවද?

Advertisements

9 responses to “මේ තිරිසන් ක්‍රියාව හෙලා දකිමු..

  1. මාත් අද උදේ තමයි මේ කතාව දැක්කෙ.ඇත්තටම අපේ කාන්තාවන් මැද පෙරදිග කොච්චරනම් දුක් කන්දරාවක් උහුලනව ඇද්ද?ලංකාවෙ ඒජන්සි කාරයොත් ගොඩක් දෙනෙක් අන්තිම ජරා එවුන්නෙ.මේ ලඟකදි මම දන්න කියන පවුලක පිරිමි ලමේකුට රට යන්න හදා ගන්න ලංකාවෙ පිලිගත්ත ඒජන්සියකට ගිහිල්ල තියනව එයාගෙ සහෝදරියකුත් එක්කල.ටිකක් ලොකු ගානක් ඕනෙ කියල තියනව පිරිමි ළමයට.හැබැයි අර ගැහැනු ළමය යනවනම් free චාන්ස් එකක් අරන් දෙන්නම් කිව්වලු.ඔය වාගෙ සක්කිළින්ට සෙල්ලන් කරන්න යවන්න වෙන්න ඇති.
    මේ වාගෙ දරුණු ක්‍රියාවක් කරන්න තරම් උන්ගෙ මානසිකත්වය කොයිතරම් පහල මට්ටමකද ඇත්තෙ.ඊටත් වඩා දකුණු ආසියානු කාන්තාවන් මුන් මුන්ගෙ පයට පෑගෙන දූවිල්ලක් තරම්වත් ගනන් ගන්නෙ නෑ.මේවට අපේ පිරිමි පාර්ශවයත් වග කියන්න ඕනෑ.ගෑනිව මෙහෙකාරකමට රට යවල බෝතලේ කටේ ගහගෙන ඉන්නෙ නැතිව තමන් මහන්සි වෙලා වැඩ කරල පවුල නඩත්තු කරණ එක බාර ගන්නවනම් මේ වාගෙ සිද්දි අපිට අහන්න දකින්න වෙන්නෙ නෑනෙ.
    කොහොමටත් මචං අපි බලමු ටිකක් විදේශ සේවා එක මේකට මොකද කරන්නෙ කියල.

  2. Solution : Have the self-decency and self-respect like India to stop sending women domestic works to the that savage land.

  3. ඔය අරාබි පරයො වැඩි හරියක් ඔහොමමයි… ඔක්කොමත් හරි අපේ පරයො. අහිංසක ගෑනු යවල සල්ල්ලි හම්බ කර ගන්නවා. උන් ට වෙන දේවල් ගැන වගේ වගක් නැහ.

    රජයක්.. විදේශ අමාත්‍යාන්ශයක් තියෙනවා ඒවයේ නිලධාරි ඉන්නව… උන්ට හෙන ගහලද මන්ද.

  4. ඉන්තීරුවෙන්ම මේකනම් තිරිසන් ක්‍රියාවක් තමයි.සව්දියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් තියෙන්නේ මොකටද?ලංකාවේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයක් තියෙන්නේ මොකටද?මේ සිද්දියට තාමත් විදේශ සේවා එකේ මැදිහත් වීමක් කරලා නෑ .මේ නිදාගෙන ඉන්න ආයතන තියනකම් මේ තිරිසන් වැඩ හෙටත් සිදු වේවි.මගේ කුවේට් රටේ හිටපු මිත්‍රයෙක් දවසක් ඒ රටේ අපේ තානාපති කාර්යාලයට ගියා.එතකොට ලංකාවේ ගෘහ සේවිකාවක් කෑ ගහගෙන දුවගෙන ආව ඒකට.එත් තානාපති කාර්යාලයේ ගේට්ටුව ඇරියේ නෑ.පස්සෙන් ආපු කුවේටි හාම්පුතා ඒ ගැනු මනුස්සයට ගහල කොන්ඩෙන් බිම දිගේ ඇදන් ගිහින් තියෙන්නේ.මගේ මිත්‍රයා අහල තියනවා එම්බසියේ උන්ගෙන් ගේට්ටුව ඇයි ඇරියේ නැත්තේ කියල.උන් කියල තියෙන්නේ බොරුවට ලෙඩ දා ගන්න බෑ කියල.ඔහොම එම්බසි තියෙද්දී මේ මිනිස්සුන්ට සාධාරණයක් කරන්නේ කව්ද ඉතින්?

  5. සවුදිය කියන්නෙ කිසිම මානව හිමිකම් ස0විධානයකට අයත් නොවෙන රටක්. අඩුම තරමේ UNA එකටවත් ඔය සවුදිය අයත් වෙන්නෙ නෑ. හොඳම දේ තමයි අපේ රටින් සවුදියට ගැහැනු පාර්ශවය යවන එක නතර කරන එක.
    රජය ඒ දේ කරන්නෙ නැත්තෙ එක ගැහැනියක් ඇන ගහගෙන හරි දුක් විඳලා හරි හම්බ කරන රුපියල හරි රජයට ආදායමක් නිසා.
    හැබැයි ඒ රජය ගන්නා ආදායමයට සරිලන පහසුකමක් ඔවුන් මේ ගෘහ සේවිකාවන්ට සලසා දෙනවද කියලා තමයි සැකය!

  6. අපොයි දෙයියනේ…….
    මුන්ට හෙන 7ම ගහලත් මදි……!
    එක්සත් ජාතීන්ගේ මහලේකම් තුමාටවත් කියල බලමු..

  7. මැදපෙරදිග යන්න එපා කියල අපේ ලංකාවේ අයට කියන්න අපේ රජය මැලි වෙන්නේ ඇයි?

  8. අපේ කාන්තාවන්ට මිට කලිනුත් මෙවගේ දේවල් වුනානේ ඒ වුනත් අපේ අය කවදාවත්ම ඒවා ගනන් ගන්නෙ නැ. රට රස්සාවටමනේ යන්න හදන්නේ. මම නමි කියන්නෙ කාන්තාවන් රට රස්සාවල් වලට යන එක ( විශේෂනේ මැද පෙරදිග)නැවත්විය යුතමයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )