Monthly Archives: සැප්තැම්බර් 2010

ස්ප්‍රයිට්: පොඩිකාලේ කරපු තවත් වැඩක්


මේ කියන්න යන්නෙත් මම පොඩි කාලේ කරපු වීර කතාවක් තමයි… අර සබං බෝල කතාවෙදී උනා වගේ මේකෙදීත් අන්තිමට උනේ මම ගුටිකාපු එක තමයි… මේ සිද්දියෙත් පැමිණිලිකරු වෙන්නේ සබං බෝල කතාවෙදි වගේම අල්ලපු ගෙදර අංකල්ම තමයි..

එච්චර විසාල නැති උනත්, ඒ දවස් වල අපේ ගෙදර වත්ත තමයි අපේ කට්ටියගේ ක්‍රීඩා පිටිය. පහක් හයක් වගේ ඉන්න කොට කට්ටිය ක්‍රිකට් ගහන්නේ සහ වල බහින්නේ එතන තමයි. ඊට වැඩියෙන් ඉන්නවා නම් ඉතිං මහ පාරෙ තමයි.

වල බහිනවා කියල කිව්වට ඔය ලොකු ලොකු දේවල් නෙවෙයි… ක්‍රිකට් නැත්තං හැංගිමුත්තං හරි හොරා පොලිස් හරි කරන්න හරි, අයිස් පයිස්, ටින් කඩන්න, බට තුවක්කු ගේම් එකක් යන්න හරි තමයි සෙට් වෙන්නේ කට්ටිය. ඝණ පූර්ණයේ අඩුවක් එහෙම තියෙනවා නම් කරන්නේ බට්ටා පනින එක, වන් බම්ප් ගහන එක, හරි තමයි..ඒත් බැරිනම් තමයි බුක් ක්‍රිකට් හරි, ගෑණු පිරිමි මල් පළතුරු වගේ ඒවා කරන්නේ…පස්සෙ කාල වලදි තව තව ක්‍රීඩා රැසක් ඕකට එකතු වෙනවා..ඒවා එකින් එක කියන්න ගියොතිං වෙන්නේ පොස්ට් එක නිකරුනේ දිග වෙන එක තමයි.

දැනටත් මම ගෙදර ගියාම ඉස්සර අපි සෙල්ලම් කරපු පාරවල් දිහා බලාගෙන ඉන්නවා.. අනේ මේ ගෙවල් වල ඉන්න එකෙක් හරි එලියට බැහැල දැන්වත් සෙල්ලම් කරයි කියලා.. ඒත් එහෙම වෙනේ නෑ.. මොනව උනත් දුක හිතෙන කාරනය තමයි, අද කාලේ ඉන්න ළමයි මේවා කරනවා විහිළුවටවත් පේන්න නැති වීම.ඉස්සර සෙල්ලම් කරපු ඉඩම් වල ගෙවල් ලොකු කරලා හදලා.. ඉස්කෝලෙ යන්න පටං ගත්තුදා ඉඳලා ට්යුෂන් ගිහිං සිස්සත්වෙ පාස් කරන්න මහන්සිවෙන අම්මලා තාත්තලා දරුවන්ට සෙල්ලම් කරන්න ඉඩක් දෙන්නේ නැති පාටයි.. ඉඩක් දුන්නත් උන් කරන්නේ කොම්පීටර් ගෙම් ගහන එක තමයි. දැං ක්‍රිකට් ගහන්නේ, හොරා පොලිස් කරන්නේ කොම්පීටරෙන් නේ…

ඒකෙන් මේකෙන් වෙන්නේ ඒ ක්‍රීඩා තුලින් ඔප දමපු ජීවිතයට අවශ්‍යයම ගති ගුණ දරුවන්ට නොපිහිටීම. ජය පරාජය විඳගන්න, අසීරු අවස්ථා වලදී ප්‍රශ්න වලට මුහුණදීම, අභියෝග බාර ගැනීම, නායකත්ව ගුණ වගේ ගොඩක් දේවල් තේරුම්යන්න පටන් ගන්නේ මෙතනින් තමයි…

මේ බොලොග් ලියන කියවන අපි උනත් හිතාගන්න ඕන අපේ දරුවන්ටත් ඒ ළමා කාලය නොඅඩුව ලබා දෙන්න…

ඉන්ට්‍රො එකම මෙච්චර දිග උනා නම්, කතාව දිග වෙයි වගේ… ඒත් ඔය කතාව කෑලි කරලා දාන වැඩ නෑ මගේ ගාව.. මේක ලියල ඉවර වෙලාම තමයි පොස්ට් කරන්නේ. ( ඒ උනාට කෑලි කරලා දැමීම පාඨකයන් ඇද ගන්න ජාත්‍යන්තරව පිළිගත්තු තියරියක්. )

හරී..කතාව මේකයි.

මට මතක විදියට මේක උනේ අගෝස්තු ඉස්කෝල නිවාඩු කාලෙක. දිගටම කියවන්න

පබා ආණ්ඩුවට ගියේ තර්ජනයක් නිසාද ?


“ඈ බං.. ඇත්තද අර පබා ආණ්ඩුවට ගියේ තර්ජනයක් නිසා කියන්නේ? ආණ්ඩුවේ ලොකු තැනකින් ත්‍රෙට් එකක් ලැබිලලු.”

ඒ හර බර දේශපාලන සංවාදයක මැද එකෙක් අසන ලද ප්‍රශ්නයකි.

“මොන පිස්සුද බං… එහෙම වෙන්න කොහෙත්ම ඉඩක් නෑ…. ”

එසේ තවෙකෙක් විරුද්ධ වෙයි.

“උඹ එහෙම කියන්නේ කොහොමද?”

” ඇයි බං… ඔය වගේ තර්ජනද ඔය කෙල්ලට ආවේ… අර කොල්ලගේ තාත්තා මොනතරම් මරනවා කියල තර්ජනය කරාද ඒකිට.. එහෙව් තර්ජන වලට බය උනේ නැති ගෑණි දැං බය වෙයි කියල මම නම් හිතන්නේ නෑ.. ”

” ඈ..!! මම එහෙම කෙස් එකක් දැනගෙන හිටියෙ නෑනේ.. මොන කොල්ලගේ තාත්තද තර්ජනය කරල තියෙන්නේ? දැන් බැඳලා ඉන්න කොල්ලගේද? ”

” නෑ බං… අර ඉස්සර බඳින්න හිටපු කොල්ලගේ තාත්තා බං….”

“ඒ කවුද බං ඒ…”

“අර ආමන්තයගේ තාත්තා බං.. රෙජිනොර්ල්ඩ් කාරයා.. ඒ යකා ඉස්සර ඔය කෙල්ලව මරන්න හෙව්වා.. එහෙව් එකේ ඔය කෙල්ල ආණ්ඩුවේ තර්ජන නිසා නම් පනින්නේ නෑ…ඒක ෂුවර් ”

අනේ කාලේ විලේ වාසේ…


ඔන්න එකෝමත් එක රටක විලක් තිබුනලු. මේ විල ඉතාම ආශ්චර්‍යමත් විලක් ලු. මේ විලේ ගෙම්බෝ, ඉස්ගෙඩියෝ, කීටයෝ, පොඩි පොඩි මාළු වගේ ජලජ ජීවීන් විසාල ප්‍රමාණයක් අතේ සතේ නැතත් සතුටින් ජීවත්වුනාලු. මේ විලේ බාරකාරයා වෙලා හිටියෙ මැඬියෙක්. බාරකාරයා උනාම ඉතිං ගරු නම්බු දීල කතාකරන්න එපැයි කියල කවුරුත් මැඬිතුමා කියල තමයි කතාකරේ…

ඔය විලේ එක හිතුවක්කාර ඉස්ගෙඩියෙක් උන්නලූ. එකෙක් නෙවෙයි ගොඩක් උන් උන්නාලූ. ඒ උනාට මේ කතාව ඒ ඉස්ගෙඩියා කරපු නොසන්ඩාල වැඩක් නිසා සිද්ද උන අලකලංචියක් ගැනයි ඔන්න.

එකෝමත් එක දවසක අනේ මේ ඉස්ගෙඩියට මොකද්දෝ අසාධාරණයක් වෙලා.

මැඬියො, ගෙම්බෝ, ඉස්ගෙඩියෝ මේ ඔක්කොම ඉතිං පොඩ්ඩක් මෝඩයි නේ.. ඒ නිසා ඔය අසාධාරණේ විසඳගන්න කියලා ඌ කරපු වැඩේ නෙළුම් දණ්ඩක් උඩට ගිහින් හිටගත්තු එකලු. ඌ නෙළුම් දණ්ඩ උඩටම ගිහින් ඉඳගෙන කිව්වලු මට මැඬිතුමා හරි මැඬියුවතුමා හරි හම්බුවෙන්න ඕන එයාලාට තමයි මට වෙච්ච අසාධාරනේ විසඳලා දෙන්න පුලුවන්නේ කියලා… දැං ඒ අහල පහල හිටපු ඉස්ගෙඩියෝ, කීටයෝ සහ ගෙම්බො වට වෙලා බලං ඉන්නවලු මේකා මූ කන්න බොන්නවත් නැතුව නෙළුම් දණ්ඩ උඩ ඉඳං දැං වැටෙයි දැං වැටෙයි කියලා.. රෑ වෙනකනුත් බලාන හිටියලු මූ වැටුනේ නෑලු. ඒ දවස් වල තිබුනා දෙහියුෂ මිශ්‍ර කරලා හදාපු පස් වර්ගයක් ලෙමන් පස් කියලා… මූ ඕවා ටිකකුත් සාක්කුවේ දාගේන් ගිහිං ඒ ලෙමන් පස් කකා තමයි ඉඳලා තියෙන්නේ නෙළුම් දණ්ඩ උඩට වෙලා..

කොහොම හරි ඉතිං කට්ටිය මහන්සිවෙලා රෑ වෙන්න කලියෙන් මේකාව බිමට බස්සගත්තලූ.. හොඳ හොඳ දේවල් වෙන්න පටං ගත්තේ ඊට පස්සේලූ.

දිගටම කියවන්න

රෑ දුරු රට රැඳි තනිකම


මව්බිමෙන් පිටත ගෙවුනු කාලය දශකයකට ආසන්න වෙන්මින් පවතී. ගෙවුනු ඒ කාලයේ මාත් සමඟ නිරතුරුවම සිටි එකම දේ වූයේ තනිකමයි. නේක විද අත්දැකීම් සහ මිනිසුන් ඔස්සේ ගෙවුන ඒ ජීවිතයේ තිබූ තනිකමම ඒ පාසැල් සිසුවාගේ සිට මා අද සිටින ශක්තිමත් මිනිසා දක්වා මා වෙනස් කලා විය හැකිය.

කොතරම් හිත මිතුරන් සිටියත්, දුර බැහැර ඉන්නා සෑම විටම ආදරය නැති අඩුපාඩුව මහා තනිකමක් සේ දැනෙන වග මා මෙන්ම රටින් දුර බැහැර සිටින් සැවොම පිළිගන්නවා ඇත…

රෑ දුරු රට මේ
හිම වරුසා.. සීත පාලුවේ…
මූදු සතකින්, ඈත දේසේ
මා තනිවේ..

කල්පනා ලෝ පෙම් දැහැනේ
ක්ෂිතිජ නිම්නයේ
රෑ තනි යහනේ….

දෑත වෙන්වී පෙම් විහඟුන්
සිහින තොටුපලේ
රාත්‍රි යාමේ….

රෑ දුරු රට මේ…

දුරබැහැර සිටිනා විටෙක මේ ගීතය තරම් හිතට කාවදිනා ගීතයක් සොයාගැනීමට මට අපහසුය.

ක්ෂිතිජය දක්වා දිවෙන නොනිමි නිදිවර්ජිත කල්පනා දුරස් වූ පෙම්වතුන් සැමට උරුම වූවකි… බොහෝමයක් දෙනා මේ කල්පනා ලොව තනිවන්නේ නිදියහනේදීය..

අවසන් දසුන සැමදා පෙම්වතුන් මතකයේ රැඳේ.. නිදි වර්ජිතව බොහෝදෙනා ආවර්ජනය කරන්නේ ඒ සුන්දර දසුන් කිහිපයයි.. අතිනත පටලා සිටි ඒ පෙම් රැහැන, සිහින තොටුපලේදී වෙන්වී ගිය අයුර පෙම්වතුන් නිබඳවම සිහි කරති. මෙහිදී සිහින තොටුපල කියා හැඳින්වූයේ අප සාමාන්‍ය ව්‍යවහාරයේ ගැනෙන ‘ගුවන් තොටුපල’ විය යුතුය. මෙය ඉතා අගනා යෙදුමක් බව මගේ හැඟීමයි.. බොහෝමයක් පෙම්වතුන් සිය ප්‍රියයන්ගේන් වෙන්වී දුරබැහැර යන්නේ සිහින සැබෑ කරගැනීමටයි. ඒ සිහින සහ ආදරය වෙන්කරන තොටුපල සිහින තොටුපලයි.

පණ්ඩිත් අමරදේවයන් තරම් ගීතයක භාව ප්‍රකාශය කළ හැකි ගායකයෙක් තවත් නොමැති තරම්ය. මේ ගීතයේදී පද පෙළට සහ ගීතයේ අරුතට ඈදෙන්නටම අමරදේවයන්ගේ හඞ ද මහා තනිකමක් කියාපායි. එතරම්ම අද්විතීය පද රචනයක් නොවූවත්, ආදරය දුරස්බව සහ තනිකම එකට ඈදා සැදි පේලි කිහිපයකින් ඉතාම සංවේදී පණිවුඩයක් දෙන්නට අජන්තා රණසිංහයන් සමත් වී ඇත. මේ දෙදෙනාටම නොදෙවනි වන සරත් දසනායකයන්ගේ සංගීත නිර්මාණය ගීතයට මනා සාධාරණයක් ඉටුකරයි. දුක සහ තනිකමට වඩාත් සමීප සංගීත භාණ්ඩයන් වන බටනලාව සහ සිතාරය මනාව යොදාගැනුමෙන් සංගීතය ගීයේ අරුත ඔපදමන්නට සමත්වී ඇත.

ගීතය අහන්න මෙතැනින්.

පබා සහ බබා


පබාලාට මෙන්ම බබාලාටත් වැඩිපුරම සිදුවන්නේ අසාධාරණයන්ය. පබාලාට ඕනෑ හැටියට ටෙලියක් කරගෙන ඉන්නට නැති අතර බබාලාට ඕනෑ හැටියට වැලි සෙල්ලං කරන්න බලයේ සිටිනා උදවිය ඉඩ දෙන්නේ නැත.

පබා සහ බබා කවදත් කළේ එයට විරුද්ධව නැඟීසිටීමය. වැලි ගොඩින් උස්සා ගෙට දැමූ සැනින් බබා කවදත් දන්නා විදියට ඇඬීමෙන් අසාධාරණයට විරුද්ධව නැගී සිටී. ටෙලියෙන් එළියට දැමූ සැනින් පබා කරන්නේ කවදත් දන්නා රඟපෑමෙන් නැගී සිටීමය. (තිරයේ රඟපෑම් නොවේ).

පබා වැඩියෙන්ම දන්නවා කියන්නේ රඟපාන්නය. ( එහෙම කියල කියමුකෝ දැනට ) බබාලා වැඩිපුරම දන්නේ අඬන්නටය. ඒ කෙසේ වුවත් දෙන්නාම ඒ වැඩ දෙකම හරියටම කරගන්න දන්නේද නැති බව හැමෝම දන්නේය.

කරන්නගිය වැඩේ බැරිවුනා කියා දෙන්නාම නිකන් ඉන්නේද නැත. පබා සහ බබා දෙන්නාම බැරිදේවල් පුලුවන් හැටියට කරන්න උත්සාහ කරති. පබාලා මෙන්ම බබාලාත් බැරි දේ කරන්න ගොස් කවදත් හත්පලේ ගා ගනිති.

ඒ නමුත්, වැඩේ හරියට කරගන්න බැරි උනාට පබාට සහ බබාට බලං ඉන්න උදවියගේ අනුකම්පාව නිතරම ලැබේ. පබා සහ බබාත් අපිට බබා පාට් දාන්නේ මේ අනුකම්පාව ගන්නය.

පබාට මෙන්ම බබාටද බැරි දේ හෙලිවූ පසුවත් කිසි අවුලක් නැත. දෙන්නාටම එක හිනාවකින් ගොඩ යා හැකිය. පබා මෙන්ම බබාත් හිනාවෙන් ඉනාවන් කවන සූත්තරය දැන සිටී.

පබාත් බබාත් ඉතාම ආස පොඩි පොඩි ලොසින්ජර රහ බලන්නය. පොඩි ලොසින්ජරයක් පෙන්වා පබාට කියා සහ බබාට කියා ඕනෑම වැඩක් කරගත හැකිය..

මේ බව දන්නා ලොකු අංකල්ලා ඉස්සෙල්ලාම කරන්නේ පබාලාව සහ බබාලාව අනුන්ට බීඩි ගේන්න කඩේ යැවීමය..

කඩේට ගොස් බීඩිය ගෙනාවිට අංකල්ට තියෙන්නේ ලොසින්ජරයක් පෙන්නා බීඩිය ගන්න විතරය.

කුඩු විකිණීම සහ ජන්දය විකිණීම..


ගමේ රටේ අසාමාන්‍ය ලෙස දියුණුවූ මිනිස්සු දෙස බලා සමහරු කියන්නේ  ‘ඕකා කුඩු විකුනලද කොහෙද ඔච්චර සල්ලි හොයන්නේ ‘ කියලායි. රටේ එක එක ප්‍රදේශවල ඡ්න්ද කාලෙට, කොහේ බැලුවත් උගේම මූන පේන ලෙසට පෝස්ටර් අලවන බලවත්තු දැක මිනිස්සු කියන්නේද එවැනි කතාවකි. ඔවුන්ගේ දේපළ ගැන කවුරුත් නොසොයති. එලෙස වියදම් කරන්නට කෝටි ප්‍රකෝටි ගනන් හොයන්නේ ව්‍යාපාර කිරීමෙන් කියා අපි සැවොම විශ්වාස කරවනු ලැබේ. උන් ඡන්දේ ඉල්ලන්න එන්නේ උන්ගේ ඒ ‘ ව්‍යාපාර ‘ වලට අවශ්‍යය රැකවරණය ගැනීමටය කියන එක දැන දැනත්, ඒ මොණර කොල වලට වශීවී අපේ අය කතිර ගසා උන් උඩින්ම දිනවති. වියදම් කරපු ප්‍රමාණය අනුව උන් මන්ත්‍රීන්, මැති ඇමතිවරු වෙති. වියදම් කර දිනන හැමෝම කුඩුකාරයෝ නොවෙති. නමුත් කුඩුකාර හැමෝම වියදම් කර දිනති. ඔවුන්ට ඡන්දෙට මාකට් කරන්නට ඇත්තේ සල්ලි පමණය.

උන් ලොකු තැන්වල ඉන්න නිසා උන්ට වෙඩි වදින්නේද නැත. වැඩේ නෝන්ඩි වේගෙන එද්දී පොඩි ඉත්තෙක්ව චකබ්ලාස් කිරීම පමණක් සෑහේය.

කුඩු ජාවාරම් කාරයෙක් හසුවිය. පැනයන්නට තනද්දී වෙඩි තබා මියගියේය. කොහෙදී හෝ එය මීට පෙර ඇසී තිබුනා මතකය. මේ සියල්ල පරණ තැටියකි. නමුත් එකෙක් හෝ කම්මුතු වූ එකට මම පුද්ගලිකව කැමතිවෙමි.

ප්‍රශ්නය එය නොවේ. හැමදාමත් අහුවන්නේ මේ ලපටි සිපයි කුඩු ජාවරම් කාරයෝය. වෙඩි වදින්නේද උන්ටය. උන් සතුව තිබූවායැයි කියන මහා දේපල කන්දරා මාධ්‍ය ඔස්සේ පෙන්නයි. ඇත්ත කතාව හැමදාමත් ඇතුලේ ය.

ඕල්කට් සතුව තිබූ සැම යස ඉසුරක්ම අද පුස්සක් වී ඇත. දරු පවුලට කුඩු කාරයෙක්ගේ දරුවෝ යැයි නම්බුනාමයක් වැදී ඇත. ඔවුන් නොදන්නවා වුවද, මේ ගේම් එකේ පිටිපස්සේ ඉන්න ලොකු ලොක්කන්ට වන්නේ ද එයයි.

නිදුකින් සව් ඉසුරු – නො මඳ ලැබෙතත් නුවණ ඇතියෝ
අනුන් නසා ලබන – ඉසුරු වසුරු අයුරු සලකත්

බුද්ධිමත් අය ඉතා පහසුවෙන් සියලු සම්පත් ළඟා කරති. එහෙත් අනුන් වනසා ලබන සම්පත් අශූචී සේ සලකත් [ලෝකෝපකාරය]

මැරිච්ච එකා කුඩු ජාවාරම් කරුවෙකි. ඌ කරන්නේ ඌට දෙන කුඩු ලංකාව පුරා බෙදාහැරීමයි. මේ බෙදාහරින්නා අල්ලා මරාදැමූ පසු හැමදාම ප්‍රශ්නය විසඳේ. ඌට බෙදාහරින්නට කුඩු ගෙනැවිත් දෙන්නේ කවුද කියන වග පොලිසියට ප්‍රශ්නයක් නැත. අත්තඩංගුවට ගත්තු එකාගෙන් උඹට බෙදාහරින්න කුඩු දුන්නේ කවුද කියා අහන්නත් පෙරම ඌ පැන යන්නට උත්සාහ කරන්නේ කාගේ හෝ පිනකට විය යුතුය.

මෙවැනි ළපටියෙක් චුත කෙරූ පමණින් කුඩු ව්‍යාපාරය නවතින්නේ නැත. ඕල්-කට් ගේ තැන ගන්නට තව තව අයියලා එනු ඇත. අවශ්‍යව ඇත්තේ වෙස්මූණු දමා සිටින ‘ගෝඩ් ෆාදර්’ ලා හොයාගැනීමය.

වරද අප අතේය…අපි ඡන්දය මුදලට විකුණා උන්ව පාර්ලිමෙන්තු, පළාත් සභා, ප්‍රාදේශීය සභා වලට පත්කරන තාක් කල් එක කළ නොහැක. අපේ සිරි ලංකාවේ බලය ඇත්තා කවදාවත් චෝදනා වලට වැරදිකරු වන්නේ නැත. අප එය දැනගෙන ජීවත්විය යුතුය.

මතට තිත තියන්නට නම්, තිතට කතිරේ ගහන්නත් පුරුදුවිය යුතුය.

වටිනා පින්තූරය ඉස්සුවේ : http://www.turtleisland.org/photo/drugsigns1.jpg

දැන් ඔවුන්ව අමතක කරමුද?


මේ ගැන මට ලියන්නට සිත් වූයේ පරිගනකයේ තිබී හමුවූ පින්තූරයක් දැක මතකය අලුත් වූ නිසාවෙනි. පින්තූරය රණවිරු සෙවනේදී ගත් එකකි.

ඒ 2008 වසරේ තෙවැනි කාර්තුවයි.. කුරිරු කොටි ත්‍රස්තවාදීන්ට එරෙහි යුද්ධය ඉතා සාර්ථකව සහ වේගයේන් ඇදී යමින් තිබුනි.. එකල අප සැවොම කලේ  ආරක්ෂක අමාත්‍යංශයේ වෙබ් අඩවේයේ තිබූ සිතියම දිහා දිනපතා බලා සිටීමය…පැයෙන් පැයට එය රී ෆ්‍රෙෂ් කිරීමය… අහල පහල තියෙන තුංමං හන්දියට වඩා පුදුමාතලන් හන්දිය ගැන එකල අප දැන සිටියෙමු.

යුද්ධය කෙරීගෙන යන ආකාරය පිළිබඳව කාගේත් සිත්වල කැමැත්තක් තිබුණි. මෙදා පාර කොටියා කම්මුතුයි යන බලාපොරොත්තුව කාගෙත් හිත්වල දළුලමින් තිබුණි.

මේ අතරතුර අප කාර්‍යාලයේ සේවය කරන 25කට ආසන්න ශ්‍රි ලාංකික පිරිස තීරණය කලේ යුද්ධය වෙනුවෙන් අපිත් යමක් කළ යුතු බවයි.

ඒ සඳහා එක් රැස්වී අපි මුලින්ම කලේ අපේ අරමුණ පිලිබඳව දන්වා, උදව් උපකාර කළහැකි අයුරු විමසා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයට ලිපියක් යැවීමය.. ලිපිය ෆැක්ස් කර දින කීපයක් ගතවෙද්දී මගේ දුරකතනයට ඇමතුමක් ලැබුනි. අනෙක් පසින් කතාකලේ මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතායි. එවකට මගෙ මතකයේ හැටියට ඔහු ආරක්ෂක අමාත්‍යංශයේ ඉහල පෙලේ නිලධාරියෙකි. ඔහු කතාකර ආධාර උපකාර කළ හැකි ආකාරය ගැන මා දැනුවත් කර, රාගම රණවිරු සෙවනට ද මා යොමු කරන ලදී.

ඉන්පසු අප විසින් කළ හැකි දෑ කවරේදැයි මම රාගම රණවිරු සෙවන බාර නිලධාරී කර්නල් තමාරා මහත්මියගෙන් දුරකතනයෙන් විමසා සිටියෙමි. ඇය එතැනට අවශ්‍යය කරන නොයෙකුත් දෑ පිළිබඳව සහ කෙරීගෙන යන ව්‍යාපෘති කිහිපයක් පිළිබඳව මා දැනුවත් කරන ලදී. එහිදී ඇය ප්‍රකාශ කල එක් දෙයක් වූයේ වාට්ටු වලට රූපවාහිනී යන්ත්‍ර නොමැති බවත්, හැකිනම් රූපවාහිනී යන්ත්‍ර කිහිපයක් ලබාදෙන ලෙසත්ය. එමෙන්ම වාට්ටු වල බෙහෙත් ගබඩාකිරීමට ශීතකරණ යන්ත්‍ර නොමැති බවත් ඇය පවසන ලදී…

මෙම අවශ්‍යයතාවන් අපි සියලුදෙනා එකතුව සාකච්ඡා කරද්දී සැමගේම අදහස වූයේ රූපවාහිනී වැනි දෑ සුපොඛභෝගී අයිතම බවත්, ඒවා අවශ්‍යය නැති බවත්ය.  එවැනි සුපෝඛභ්හෝගී දෑ විමසීම පිළිබඳව අප පුදුමයට ද පත්වූයෙමු.  කෙසේ වෙතත් අපගේ ප්‍රධාන අරමුණ වී තිබුනේ කෘත්‍රිම පාද ලබාදීමයි. ඒ නිසා අප ඒ පිළිබඳ වැඩි අවධානය යොමුකොට අනෙක්වා බැහැර කරන ලදී..

ඒ අතරතුර අප අතරින් අයෙක් නිවාඩුවකට ලංකාවට ගිය බැවින්, අප ඔහුගෙන් විමසා සිටියේ හැකිනම් රණවිරු සෙවනට ගොස් සොයාබලන ලෙසයි.

ඔහු එහිගොස් පැවසූ දෙයින් අප සැවොම ඉතා කම්පාවට පත්වූවා මට මතකය.

වාට්ටු වල සිටින ආබාධිත සෙබලුන් බොහෝමයක් දෙනා බලාගත් අත බලාසිටී. අයෙක්ගේ කකුල් දෙකම අහිමිව ගොස්ය. සමහර අය සදාකාලිකවම ඇඳ උඩට සීමා වී සිටී. ඔවුන් ගෙවන්නේ දුඛ්ඛිත ජීවිතයකි. අද අප ඉන්නවාක් මෙන් සැප විඳීමට ඔවුනටද හැකියාව තිබුණි. ඒ වෙනුවට ඔවුන් කලේ යුද්ධය තෝරා ගැනීමයි. අපේ සහ රටේ අනාගතය තකා ඔවුන් ඔවුනගේ අනාගතය ආබාධිත කරගන්නා ලදී.

වාට්ටු කිහිපයක ( මට මතක ඇති ලෙස 2ක පමණ ) රූපවාහිනී යන්ත්‍ර තබා තිබේ.. වාට්ටුවේ සිටි වැඩිමනක් දෙනා කළේ එය දෙස බලාසිටීමයි. තුවාල වල සහ අබ්බගාත ජීවිතයේ වේදනාව ඒ රූපවාහිනිය බොඳ කර හරින්නා සේය… දුර ඈත ඇඳවල් වල සිටි අයට හරි ලෙස රූපවාහිනිය පෙනෙන්නේ නැත. කකුල් දෙකම නැති වුනත් දෑතේ වීරියෙන් ඉස්සී ඉස්සී රූපවාහිනිය බලන සෙබලුන් සහ ඔවුන්ගේ මානසික තත්ත්වය ගැන ඔහු එසේ කියද්දී අප සැවොම කලින් සිතූ දේ ගැන සිතින් දහස් වරක් සමාව අයැද සිටියෙමු..

එම නිසා අප තීරණය කරේ කෙසේ හෝ දැනට එකතුවූ මුදලින් මේ ඕනෑ එපාකම් ඉක්මනින්ම සපුරාලිය යුතු බවයි. ඒ වන විට අප සතුව රුපියල් ලක්ෂ දෙකක් පමණ එකතුවී තිබුනි. ඒ වියදමෙන් අප තීරණය කලේ රණවිරු සෙවනට අවශ්‍යය රූපවාහිනී යන්ත්‍ර දෙකක් සහ ශීතකරන යන්ත්‍රයක් ලබා දීමටයි. බිත්තියේ එල්ලිය හැකි පරිදි LCD වර්ගයේ ඒවා ගැනීමට තීරණය කලේ වාට්ටුවේ සැවොටම පේන ලෙසින් එය තැබීමටය.
එම විදුලි උපකරණ ගුවන්තොටුපල තීරුබදු රහිත සාප්පු වලින් ගැනීමට ඒ දිනවල නිවාඩුවට ලංකාවට ගිය මහත්ම මහත්මීන් දෙපලක් අපහට උදව් කරන ලදී. ඉන්පසුව සංවිධානය කෙරුන කුඩා උත්සවයකදී ඒවා සියල්ල රණවිරු සෙවනට බාරදෙන ලදී. එවකට ලංකාවේ සිටි අපගේ සොහොයුරන් කිහිපදෙනෙකුත් අනෙක් අයගේ පවුල් වල උදවියත් පැමිනියේ සෙබලුන්ට අවශ්‍යය පළතුරු ටිකක් ද රැගෙනය.

එලෙස අපගේ ආධාරයේ පළමු අදියර නිම විය..

ඉන්පසුව වූයේ දෙවන අදියර ලෙස කෘත්‍රිම පාද ලබා දීමයි. අප සතුව ඒ වනවිට තවත් රුපියල් ලක්ෂ 7.5 පමණ එකතුවී තිබුණි. අපවෙත කෘත්‍රිම පාද අවශ්‍යය ආබාධිත සෙබලුන්ගේ ලැයිස්තුවක්ද ලැබී තිබුණි. එයින් පාද දෙකම අහිමි අය ප්‍රථමවත්, ආබාධයට ලක්වී ගෙවී ඇති දිනප්‍රමාණය දෙවනුවත් වශයෙන් අපේ අතැති මුදල් වලට අනුව සෙබලුන් 30කට අධික ප්‍රමාණයක් තෝරාගන්නා ලදී. ඉන් පසුව තිබුනේ මේ මුදල බාර දීමයි. අප කිහිප දෙනෙක් ගේ අදහස වූයේ තවත් කීයක් හෝ දමා ලක්ෂ 8ක් එකතුකර තවත් සෙබලුන් දෙදෙනෙක් එකතුකළ යුතු බවයි. නමුත් ඒ වෙනුවෙන් නැවත මුදල් එකතු කිරීමේ හැකියාවක් තිබුනේ නැත. ආයතනයේ අයට අමතරව මගේ පුද්ගලික හිතවත්කම මත මගේ හොඳම යහළුවන් කිහිපදෙනෙකුද මුදල් දී තිබුනි. ආයතනයේ සිටි කිහිප දෙනක් මුදල් දෙන්නට ප්‍රතික්ශේප කරන ලදී. මාගේ හොඳම යහළුවන් කිහිප දෙනෙක් ද කර ඇරියේය. එවන් පසුබිමක් තුළ අන් අයගෙන් මුදල් ඉල්ලීමෙන් පලක් නොවන බැවින් අප දෙතුන්දෙනෙකු ඉතිරි මුදල දමා අරමුදල සම්පූර්ණ කරන ලදී..

ඉන්පසුව ලංකාවට නිවාඩු යන සහෝදරයන් අත ඒ මුදල යවන ලදී. ඔවුන් ආරක්ෂක අමාත්‍යංශයේ සහයෝගය ඇතිව, යුධ හමුදා මූලස්ථානයට ගොස් ඒ මුදල කෘත්‍රිම පාද වෙනුවෙන් පරිත්‍යාග කරන ලදී.

එලෙස ආධාරය නිම විය…නොයෙක් අයුරින් ආධාර සහ උපකාර කළ අයට අදත් අපගේ ස්තූතිය පිරිනැමේ…. එය අවසන් වූ පසු අප කාහටත් දැනුනේ රටක් රාජ්‍යක් ලැබුවාක් මෙන් සතුටකි. අපේ රට වෙනුවෙන් අපිත් යමක් කරා ය යන හැඟීම නිරතුරුව අප කාගේත් හිත්වල තිබුණි.

එදා අප කාහටත් මේ පිළිබඳ ප්‍රචාරයක් අවශ්‍යය නොවීය. ඒ නිසාම අප එය කිසිම මාධ්‍යයකට පැවසුවේද නැත. ආරක්ෂක අමාත්‍යංශයේ වෙබ් අඩවියේ පමණක් ආධාරය ගැන පුවතක් පලවිය. එදා කිසිම ප්‍රචාරයක් අවශ්‍යය නොවී, අද මා මෙය මෙලස කීවේ එක හේතුවක් ඇතිවය. අප මේ කළ කුඩා දෙය ආදර්ශයට ගෙන තවත් එක් අයකු හෝ ඔවුනගේ දුක සැප බැලීමට යා නම්, එය අති මහත් පුණ්‍යකරිමයක් වීම එම හේතුවයි. තවත් එක දෙයක් වන්නේ අප සංවිධාන වුවහොත් බොහෝමයක් දෑ කල හැකි බව වටහා දීමත් ය.

එදා මෙන් අද ලාංකීය ජනයා ඒ අසරණ සොල්දාදුවන් දෙස නොබලති. එදා යුද්ධය ගැන, සොල්දාදුවන් ගැන තිබූ හැගීම අද නැත. එදා මාධ්‍ය පිරිවරා ආධාර කරන්නට ගිය උදවිය අද ඒ පැත්ත වත් බලන්නේ නැත.

එම සොල්දාදුවන් රැක බලා ගැනීම ආණ්ඩුවේ සහ යුධ හමුදාවේ වගකීම බව ඇත්තය. ඒ දෙපිරිස එය හැකි උපරිමයෙන් ඉටු කරනු ඇත. නමුත් ඒ සෙබලුන්ගේ ඒ උදාරතර කැප කිරීම නිසා ඔබේ පවුලේ උදවිය අද සුවෙන් සතුටින් සිටී. ඔවුන් එසේ නොකරන්නට අපගේ හිතවතුන් පවා බෝම්බ වලට බිලි වන්නට හැකිව තිබුණි. එනිසා ඒ කළ ගුණ සැලකීම අපගේ ද වගකීමය. අන් අයට බනින්නට පෙර අප අපගේ වගකීම ඉටු කර සිටිය යුතුය.

ඒ සඳහා මහා පරිමාණයෙන් ආධාර උපකාර කළ යුතු නැත. ඒ සොල්දාදුවන් සියල්ලට පළතුරු ටිකක් රැගෙන ගොස් දුක සැප බලා ඒමත්, කියවන්නට පොත් පත්තර ටිකක් අරන් දීමත් ඔවුනට ඉතා විශාල දිරියක් විය හැකිය.

මගේ නිහතමානී ඉල්ලීම නම් ආයතන මට්ටමින් හෝ මිතුරු මිතුරියන් හෝ එකතුවී යම් කිසි දෙයක් ඔවුන් වෙනුවෙන් කරන ලෙසයි. එය අසීරු කටයුත්තක් නොවේ.

ඔවුන් වෙනුවෙන් අපි අපේ යුතුකම් ඉටු කරමු!

We Salute our war heroes!

– – – – – – – – – –

ප/ලි : ලිපිය හිතුවාට වඩා දිග විය. වැඩිමනක් දෙනා දිගු ලිපි කියවන්නේ නැති බව මම දනිමි. නමුත් මෙතැනට ආ ඔබ මෙය සම්පූර්ණයෙන් කියවාවී කියා මම සිතමි. කියවා, ඔවුන් වෙනුවෙන් යමක් කරන්න. පහත ඇති වීඩියෝ දෙකත් හැකිනම් නරඹන්න.