ස්ප්‍රයිට්: පොඩිකාලේ කරපු තවත් වැඩක්


මේ කියන්න යන්නෙත් මම පොඩි කාලේ කරපු වීර කතාවක් තමයි… අර සබං බෝල කතාවෙදී උනා වගේ මේකෙදීත් අන්තිමට උනේ මම ගුටිකාපු එක තමයි… මේ සිද්දියෙත් පැමිණිලිකරු වෙන්නේ සබං බෝල කතාවෙදි වගේම අල්ලපු ගෙදර අංකල්ම තමයි..

එච්චර විසාල නැති උනත්, ඒ දවස් වල අපේ ගෙදර වත්ත තමයි අපේ කට්ටියගේ ක්‍රීඩා පිටිය. පහක් හයක් වගේ ඉන්න කොට කට්ටිය ක්‍රිකට් ගහන්නේ සහ වල බහින්නේ එතන තමයි. ඊට වැඩියෙන් ඉන්නවා නම් ඉතිං මහ පාරෙ තමයි.

වල බහිනවා කියල කිව්වට ඔය ලොකු ලොකු දේවල් නෙවෙයි… ක්‍රිකට් නැත්තං හැංගිමුත්තං හරි හොරා පොලිස් හරි කරන්න හරි, අයිස් පයිස්, ටින් කඩන්න, බට තුවක්කු ගේම් එකක් යන්න හරි තමයි සෙට් වෙන්නේ කට්ටිය. ඝණ පූර්ණයේ අඩුවක් එහෙම තියෙනවා නම් කරන්නේ බට්ටා පනින එක, වන් බම්ප් ගහන එක, හරි තමයි..ඒත් බැරිනම් තමයි බුක් ක්‍රිකට් හරි, ගෑණු පිරිමි මල් පළතුරු වගේ ඒවා කරන්නේ…පස්සෙ කාල වලදි තව තව ක්‍රීඩා රැසක් ඕකට එකතු වෙනවා..ඒවා එකින් එක කියන්න ගියොතිං වෙන්නේ පොස්ට් එක නිකරුනේ දිග වෙන එක තමයි.

දැනටත් මම ගෙදර ගියාම ඉස්සර අපි සෙල්ලම් කරපු පාරවල් දිහා බලාගෙන ඉන්නවා.. අනේ මේ ගෙවල් වල ඉන්න එකෙක් හරි එලියට බැහැල දැන්වත් සෙල්ලම් කරයි කියලා.. ඒත් එහෙම වෙනේ නෑ.. මොනව උනත් දුක හිතෙන කාරනය තමයි, අද කාලේ ඉන්න ළමයි මේවා කරනවා විහිළුවටවත් පේන්න නැති වීම.ඉස්සර සෙල්ලම් කරපු ඉඩම් වල ගෙවල් ලොකු කරලා හදලා.. ඉස්කෝලෙ යන්න පටං ගත්තුදා ඉඳලා ට්යුෂන් ගිහිං සිස්සත්වෙ පාස් කරන්න මහන්සිවෙන අම්මලා තාත්තලා දරුවන්ට සෙල්ලම් කරන්න ඉඩක් දෙන්නේ නැති පාටයි.. ඉඩක් දුන්නත් උන් කරන්නේ කොම්පීටර් ගෙම් ගහන එක තමයි. දැං ක්‍රිකට් ගහන්නේ, හොරා පොලිස් කරන්නේ කොම්පීටරෙන් නේ…

ඒකෙන් මේකෙන් වෙන්නේ ඒ ක්‍රීඩා තුලින් ඔප දමපු ජීවිතයට අවශ්‍යයම ගති ගුණ දරුවන්ට නොපිහිටීම. ජය පරාජය විඳගන්න, අසීරු අවස්ථා වලදී ප්‍රශ්න වලට මුහුණදීම, අභියෝග බාර ගැනීම, නායකත්ව ගුණ වගේ ගොඩක් දේවල් තේරුම්යන්න පටන් ගන්නේ මෙතනින් තමයි…

මේ බොලොග් ලියන කියවන අපි උනත් හිතාගන්න ඕන අපේ දරුවන්ටත් ඒ ළමා කාලය නොඅඩුව ලබා දෙන්න…

ඉන්ට්‍රො එකම මෙච්චර දිග උනා නම්, කතාව දිග වෙයි වගේ… ඒත් ඔය කතාව කෑලි කරලා දාන වැඩ නෑ මගේ ගාව.. මේක ලියල ඉවර වෙලාම තමයි පොස්ට් කරන්නේ. ( ඒ උනාට කෑලි කරලා දැමීම පාඨකයන් ඇද ගන්න ජාත්‍යන්තරව පිළිගත්තු තියරියක්. )

හරී..කතාව මේකයි.

මට මතක විදියට මේක උනේ අගෝස්තු ඉස්කෝල නිවාඩු කාලෙක. ඉස්කෝල වල නිවාඩු දුන්නට, ඔෆිස් වල නිවාඩු දෙන්නේ නැති හින්දා රජයේ සේවකයෝ වෙච්ච අපේ අම්මයි තාත්තයි වැඩට යනවා… ඒ නිසා උදේ ඉඳන් කොල්ලා කරන්නේ වෙහෙස මහන්සි වෙලා සෙල්ලම් කරන එක…

ඔය අතරේ එක පාරටම අපේ ගෙදරට හවසක ආපු ලොරියකින් බඩු වගයක් බාලා ගියා.. උදේ නැගිටලා ගිහිං බැලින්නං බීම බෝතල් කේස් ගොඩක්… අල්ලපු ගෙදර අක්කාගේ කොටහලු මංගල්ලේට තමයි ඒවා ගෙනල්ලා තියෙනනේ.. එහේ ඉඩ නැති නිසා අපේ ගෙදර අඩුක් කරලා තියන්න තමයි ප්ලෑන් එක…

මොනව උනත් එතන තිබ්බේ බීම බෝතල් ජාති දෙකයි. එකක් ස්ප්‍රයිට්, අනෙක සතෙක් ඉන්න බීම ජාතිය… නෑ නෑ.. අලියා බීම නෙවෙයි.. ඒකෙ හිටියේ සිංහයා…

මේ ගෙදර නාහෙට අහන්නේ නැති කොල්ලෙක් ඉන්නවා කියල දන්න නිසාද කොහෙද සිංහයෝ ටික තමයි යට අඩියෙම තිබුනේ.. ඒවා පෙන්නේත් නැති වෙන්න තමයි අඩුක් කරලා තිබුනේ..උඩින් තියලා තිබුනේ ස්ප්‍රයිට් කෙස් ගොඩාරියක්.

අපි ඉතින් ඒ කාලේ දන්න කියන හැම සෙල්ලමක්ම කරලා තමයි අපේ ගෙදරට පාත් වෙන්නේ… ඔහොම හෙනට මහන්සිවෙලා ඉන්න වෙලාවක ඔන්න ඇහ ගැටුනා මේ බීම බෝතල් ටික..

නිකමට වගේ ඔක්කොම එකතු වෙලා එක ස්ප්‍රයිට් එකක් කැඩුවා.. ඉන්න බෑනේ ඉතිං ඒ දවස් වල. කඩලා කට්ටිය බෙදා හදාගෙන බිව්වා.. බිව්වට පස්සේ තමයි මීටර් උනේ මේවා අපේ නෙවෙයි කියලා..

එතකොටම වගේ ගණ දෙවි නුවණක් පහලවුනා..

පොඩි එකෙක් යවලා ගෙන්න ගත්තා වතුර කෝප්පයක්.. ඒකෙන් වතුර පුරවලා ස්ප්‍රයිට් බෝතලය රීකන්ඩිෂන් කරා.. මූඬියත් තියලා හෙමීට ඒකට ගහලා ගත්තම අලුත් එකක් වගේමයි..
ඊට පස්සේ ඒ බෝතලේ අරං අර බෝතල් අස්සේ හැංගුවා.. වැඩේ ෂේප්..

කට්ටිය දන්නවානේ කොටහලු මඟුල් ගෙදරක් ගන්න ටිකක් කල් යනවා කියලා..සති ගානක් ඉඳලා සිරිත් විරිත් කරලා එහෙමනේ ඒක කරන්නේ.. ඉතිං ඔය කාලේ අතරේ දිගටම බෝතල් ටික අපේ ගෙදර..

ටික දවසක් යනකොට අපි සෙට් එක උදේ හවසට ස්ප්‍රයිට් බොන්න ගත්තා… කට හෝදන්නේත් ස්ප්‍රයිට් වලින්… කොටින්ම කිව්වොත් මත් වෙන සයිස් එකට ස්ප්‍රයිට් බිව්වා ඒ දවස් ටිකේ..

අපේත් ඉතිං ඇඟපුරාම මොලේ නිසා ඒක කරේ තියරියට…ඉස්සෙල්ලා වගේ මුලු බෝතලේම බිව්වේ නෑ.. එක බෝතලයකින් බිව්වේ උගුරයි.. බිව්ව ගානට වතුව පුරවලා මූඬිය ගහලා රීකන්ඩිෂන් කරපු බෝතලේ ආයෙත් කෙස් එකට තමයි…

කවදා හරි ඒක බොන එකාටත් පොඩ්ඩක් හරි ස්ප්‍රයිට් රහ දැනෙන්න ඕන කියන සත් ක්‍රියාව හිතේ තියාගෙන තමයි එහෙම කරේ… බලන්න… හොරා කෑවත් අපි කරේ සාධාරණ විදියට…පොඩිකාලේ උනත් ඒ වගේ අනුන් ගැනම හිතලා වැඩකරන්න අපි පුරුදු වෙලා හිටියා..

ඔහොම කරලා ඉවර වෙලා, මම ඉතිං අම්මලාත් එක්ක නිවාඩුවට ගමේ ගියා..අපේ ගෙදර යතුර අල්ලපු ගෙදරට දීල තිබුනේ බෝතල් ටික ගන්න..

කොහොම හරි අපි ගමේ ගිහිං එනකොට උත්සවේත් කෙරිලා..

ඒදා රෑම අල්ලපු ගෙදර කට්ටියම ඇවිත් කෙස් එක ෆයිල් කරා.. අපේ අම්මලාටත් හොඳටම බැනලා..

මාර කේස් වෙලා තියෙන්නේ උත්සවේ දවසේ…

බෝතල් කඩන්න ඉස්සෙල්ලා මූඬි ඔටෝ ගැලවිලා වැටෙනවාලු. පව්.. ගොඩක් කට්ටිය සැර බීම බීල තියෙන්නේත් වතුර දාල සැන්ඩි කරලා.. ස්ප්‍රයිට් විතරක් බීපු කට්ටියට ඉතිං බඩුම තමා… ඉතිං හිතා ගන්නකෝ ඒ ගෙදර අයට කොහොම ලැජ්ජාවක් වෙන්න ඇද්ද කියලා… දැනුම් තේරුම් නැති කාලේ කෙරුවට කරලා තියෙන්නේ රෙදි නැතිවෙන වැඩක් කියල ටිකක් ලොකු උනාම තමයි තේරෙන්න ගත්තේ.

ඉතිං මට හිමිවුන දඬුවම ගැන කියන්න ඕන නැහැනේ…

කොහොම හරි අපේ අම්මලා අන්තිමටම බෝතල් 120කටද කොහෙද සල්ලි දීල තිබ්බා බලෙන්ම වගේ… හොඳ හිත නම් පළුදු උනේ නෑ හොඳ වෙලාවට.

මම නම් අදටත් හිතන්නේ අපි සෙට් එක එච්චර බෝතල් ගානක් බිව්වේ නෑ කියලා.. අනේ මන්දා..

Advertisements

8 responses to “ස්ප්‍රයිට්: පොඩිකාලේ කරපු තවත් වැඩක්

  1. මේ කොලුවගේ මොළේ හොඳා ඇළේ දාන්න 🙂

  2. කොරල තියන ඒවයේ හැටියට ඔහොම ඉන්න එකත් ලොකු දෙයක් වගේ

  3. ස්ප්‍රයිටුත් බීමක්ද ? මම හිටියනම් වැඩේ දෙන්නෙ අර සිංහයා හිටපු බෝතල් වලට.

  4. ඉඳල ඉඳල හොඳ හොඳ වැඩ කරල තියෙනව….
    අපිට නම් ඔය වගේ ආතල් ගන්න තියෙන කාලෙ අඩුයි..
    කතාව නම් ලස්සනයි. තව මේ වගේ ලස්සන කතා ගොඩාරියක් ලියන්න.

  5. කිව්ව වගේ මමත් අර නාකි සිංහයට තමා ගේම දෙන්නෙ හික් හික්.

    බට්ට පනින එක.. අයිස් පයිස්.. ටිං කැඩීම… අපොයි දැන් එව්වො ඔව්ව අහලවත් නැහ බන්… උන්ට කොහේ තියෙන වෙලාවක්ද.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )