රුසියානු සාහිත්‍යය – රුසියානු ගමනක මතක සටහන් -3


රුසියාවේ ගත කළ සති කිහිපයේ දුටු සිත් අලවන දසුන නම්, රුසියානු ජාතිකයන්ගේ ඇති සාහිත්‍යය නැඹුරුවයි.

බොහෝමයක් රුසියානුවෝ පොත් කියවති. සෑම ප්‍රධාන වෙළඳ සංකීර්ණයකම වාගේ පොත් කඩ විශාල ප්‍රමාණයක් ඇත. සාප්පු සංකීර්ණයේ ඇති කාර්ය‍යබහුලම ස්ථානය මෙතැනයි. ලංකාවේ අපි රෙදි කඩ වලට රිංගන්නා සේ ඔවුන්ගේ ඉල්ලුම ඇත්තේ පොත් කඩ වලටය. පොඩි පොඩි කඩවල වුවත් විශාල ප්‍රමාණයේ පොත් සංඛ්‍යාවක් විකිණීමට ඇත. බොහෝමයක් ඇත්තේ රුසියන් බාසාවෙනි. ඇතැම් පොත්කඩ දුටුවිට මට සිහිවන්නේ මරදාන ගාමිණී හෝල් එක අසල ඇති පරණ පොත් කඩ කිහිපයයි… පාසැල් යන කාලයේ කොච්චියට වෙලා තිබූ විට එතැනට ගොස් පොත් බැලීම කලක් මගේ විනෝදාංශයක්ව තිබුනි.

රුසියාවේදී දුටු එක් දෙයක් නම්, ලොව සෑම ප්‍රධාන බසකින්ම වාගේ පළවූ නවතම කෘතීන් වල රුසියානු පරිවර්තනය එසැනින් වෙළඳපලේ තිබීමය.  ඒලෙස ලොකයේ පළවන සෑම කෘතියක්ම වාගේ පරිවර්තනය කර වෙළඳ පලට දැමීමට තරම් එයටම කැපවූ වෘත්තිකයන් සිටීමෙන් පැහැදිලි වන්නේ පාඨකයන්ගේ ඇති ඉල්ලුමයි..

මඟ තොටේ දකිනා සෑම දහ දෙනාගේන් දෙදෙනෙකුවත් කුමන හෝ යමක් කියවති. මෙට්‍රෝ එකේ යෑමට escalator එකේ හිටන් සිටින කාලයද ඔවුන් වැය කරන්නේ යමක් කියැවීමටය. බස් රථ සහ මෙට්‍රෝ වලද මෙය සුලබ දසුනකි.

එක අතකින් බැලූ විට රුසියාව වැනි සාහිත්‍යයෙන් ආඪ්‍යය වූ ජාතියකට මෙය පුදුමයක් නොවේ. පළවැනි පීටර් රජතුමාගේ සහ කැතරින් රැජිනගේ පාලන සමයේ සිට ඇරඹි සාහිත්‍ය පුනරුදය විසින් ටික කලකදී ඇලෙක්සැන්ඩර් පුෂ්කින් වැනි මහා කවියෙකු බිහිකිරීම දක්වා වර්ධනය වීම පුදුම සහගතය. අදටත් නූතන රුසියානු සාහිත්‍යයේ ආරම්භකයා වශයෙන් පිළිගැනෙන්නේ ඇලක්සැන්ඩර් පුෂ්කින් ය.

St. Petersburg නගරයට නුදුරින් පිහිටි  සුන්දර පුෂ්කින් නගරයට ඇතුල්වීමේ දොරටුව අසල ඇති ඇලෙක්සැන්ඩර් පුෂ්කින්ගේ ප්‍රතිමාව

එතැනින් ඇරඹි ගමන තුළ රුසියානු සාහිත්‍යය යන්නේ අද්විතීය ගමනකය. මහා ලේඛකයින් සහ ලොව ප්‍රකට ගද්‍ය නිර්මාණ කිහිපක් රුසියාවෙන් බිහිවේ.

නිකොලායි ගොගල් ගෙන් පසුව ඇන්ටන් චෙකොව් දක්වා ගද්‍ය සාහිත්‍යය ද පුෂ්කින් ගෙන් ඇරඹි කාව‍ය සාහිත‍යට සමානව වර්ධනය විය. ඇන්ටන් චෙකොව්ගේ චෙරි උයන [The Cherry Orchard] සහ ලියෝ ටොල්ස්ටොයි ගේ යුද්ධය හා සාමය [War and Peace] වැනි සම්මානලාභී නිර්මාණ රුසියාවෙන් එළිදැක්වෙන්නේ මේ පුනරුදයේ ප්‍රතිඵලයක් ලෙසය.

සෝවියට් පාලන සමය වනවිට මැක්සිම් ගොර්කිගේ අම්මා [The Mother] වැනි ලෝ ප්‍රසිද්ධ නිර්මාණද බිහිවන්නේ ජාතියක් වශයෙන් ඔවුන් සතුව සාහිත්‍යයට තිබූ ලැදියාව නිසා විය යුතුය.

පසුකලෙකදී මාක්ස් වාදයත් ඇතුළුව සමාජවාදය රුසියාව පුරා ප්‍රචලිත වී, වැඩවසම් හා ධනවාදී ක්‍රමයට එරෙහිව ජනයා එක් රොක් වන්නේද ඔවුන්ගේ මේ පොත් කියැවීමේ සහ සාහිත්‍යය නැඹුරුව බව මගේ හැඟීමයි. කාල් මාක්ස් ලියූ පොත් සහ ඔහුගේ මතවාදයන් රුසියාව පුරා ව්‍යාප්ත වූයේ ඔවුන්ගේ මේ පොත් කියැවීම තුළිනි. වැඩවසම් ක්‍රමයට විරුද්ධව ඔහුගේ චින්තනයන් තුළින් ගොඩනැඟුනු කොමිනිස්ට් ප්‍රතිපත්ති ප්‍රකාශය [ The Communist Manifesto] ජනතාව අතර ජනප්‍රිය වූයේද ඔවුන් කියැවීමට දත් නිසාය. පසුකලෙකදී ලෙනින් විසින් උපයෝගීකරගන්නා ලද්දේ ද එනිසා විවර වූ මාර්ගයයි.

කෙසේ වෙතත් මගේ පුද්ගලික හැඟීම නම්, මෙවත් සාහිත්‍ය සහ පොත පත කියැවීමේ නැඹුරුවක් රටකට වටිනා සම්පතක් විය හැකි බවයි, රටක දේශපාලනමය වෙනසක් වුව ඇතිකිරීම්ට හැකියාවක් ඇති බව මේ රුසියානු උදාහරණයද සාක්ෂි සපයයි.

කොළඹ පැවති පොත් ප්‍රදර්ශනයට සහභාගීවූ ජන සමුදාය ගැන හිතෙන විට එක් අතකින් සතුටක් දැනෙන්නේ මෙපමණක් දෙනා තවමත් කියවනවා නේදැයි සිතීමෙනි.

සැ/යුතු : රුසියානු සාහිත්‍ය ගැන මා හට ඇති දැනුම ඉතා සීමිතය. වඩා තතුදත්තෝ ඇති බවට මම විශ්වාස කරමි. මෙහි ඇති අඩුපාඩු පිරවීමට හැකි අයෙක් වෙතොත් ඒ පිළිබඳව සතුටු වෙමි.

Advertisements

2 responses to “රුසියානු සාහිත්‍යය – රුසියානු ගමනක මතක සටහන් -3

  1. ඔක්තෝබර් විප්ලවයට රුසියානු සාහිත්‍යය කරපු මෙහෙවර විශාලයි.සාර් පාලනයෙන් පීඩිත පුරවැසියන් සංවිධානය කිරීමට රුසියානුවන්ගේ කියවීමේ පුරුද්ද ලොකු පිටුවහලක් වුනා.ගෝර්කිගේ “අම්මා” බලන්න.අතිශය දුෂ්කර යුගයන්හිදී තම අරමුණට නොසැලී යාමට නීලව්නා අම්මා පාර පෙන්නනවා.1919 ට පස්සේ කාලයේදී විප්ලවයේ ඉදිරිගමනටත් පොත් දෙන්නේ ලොකු තල්ලුවක්.නිකොලායි ඔස්ත්රෝවුස්කි විප්ලවයෙන් බිහිවූ සමාජයේ පරමාදර්ශී කම්කරුවා ගැන ලියද්දී ,මීහයිල් ශෝලහෙව් හඳුන්වා දෙන්නේ පරමාදර්ශී ගොවියාව.ස්ටාලින්ට විරුද්ධ මතධාරී ලේඛකයන්ගේ කෘති සමාජගත නොකිරීමට ඔහු ලොකු ආයාසයක් දරන්නෙත්,ලේඛන රුසියානුවාට ලොකු බලපෑමක් කරන හින්දා.

    ලංකාවටත් අද ඕනේ කරන්නේ “පබළු “බලන කාලය පොතට ගෙවන පරපුරක්.ඒකට දෙමාපියන්ටත් තියෙන්නේ ලොකු වගකීමක්.හැබැයි අම්මත් “පබළු”බලනවානම් සොරිම තමයි.

  2. මම නම් රුසියානු පරිවර්තන වලට එතරම් කැමත්තක් නැහ.

    සිත් මන්ඩිය කිව්ව කතාව නම් හරි.. ඒත් අම්මයි අප්පයි ඔක්කොම එක්ක මහ ගෙදර බලන රටක මොන පොත් ද බන්… අනික දැන් ලංකාවෙ තියෙන පොත් මොනවද… සින්දුර් 1 -4 කියයි… අරක කියයි.. බඩ දගලන එව්වනේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )