පුද්ගලික අන්තරේ සහ විශ්ව විද්‍යාල


පුද්ගලික විශ්ව විද්‍යාල ගැන ලොකු කතිකාවක් දැන් ඇතිවීතිබේ. පමාවී හෝ එවැන්නක් ඇතිවීම අගයකල යුතුය. නමුත් මේ කතිකාවේ දෙපාර්ශවයේම කිල්ලෝට වල හුණු ටික ටික තිබෙන බව පැහැදිලිය. ක්‍රමවත් නීති පද්දතියකින් යුතුව පමණක් පටන් ගත යුතුව තිබෙන පුද්ගලික විශ්ව විද්‍යාල හිටිහැටියේ හතු පිපෙන්නාක් මෙන් පටන්ගැනීමට සැරසීම අනුමත කළ නොහැකි වනවා අතරම කිසිම පදනමක් නොමැතිව “පුද්ගලික විශ්ව විද්‍යාල” යන සංකල්පයට විරුද්ධව කෑමොර දෙන “සිසුන් ගේ” හැසිරීමද අනුමත කල නොහැකිය. පුද්ගලික විශ්ව විද්‍යාල යනු නිදහස් අධ්‍යාපනය බිලිගැනීමට ආ රකුසෙක් නොව, රටක සංවර්ධනයට අවශ්‍යයම බුද්ධි යාන්ත්‍රණය බිහිකරන්නා වූ ආයතන සමූහයකි. ලොව බොහෝමයක් රටවල පුද්ගලික විශ්ව විද්‍යාල ඇතිඅතර එයින් රටකට වූ පාඩුවක් ගැන මම අසා නැත. නමුත් අන් රටවල මෙන් නොව ලංකාවේ නිදහස් අධ්‍යාපන ක්‍රමයක් ඇති බැවින් එම යාන්ත්‍රණය තුළ පුද්ගලික විශ්ව විද්‍යාල ඇතිකිරීම ඉතාමත් සැළකිල්ලෙන් කැළ යුතු යුගයේ අවශ්‍යතාවකි.

මෙහිදී රජයේ විශ්ව විද්‍යාල වලට සහ පුද්ගලික විශ්ව විද්‍යාල වලට සිසුන් ඇතුලත් කර ගැනීම සඳහා ක්‍රමවත් යාන්ත්‍රණයක් සැකසිය යුතු අතර, පුද්ගලික විශ්ව විද්‍යාලවල උගන්වන පාඨමාලා සහ විෂ‍ය නිර්දේශයන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හෝ වෙනත් රජයේ ආයතනයක් තුළින් පාලනය කල යුතු බව මම විස්වාස කරමි. මෙය කියන තරම් ලෙහෙසි කටයුත්තක් නොවන අතර විධිමත් නීති පද්දතියක් සැකසිය යුතුමය. ලංකාවේ ඇරඹීමට බලාපෙරොත්තුවන පුද්ගලික විශ්ව විද්‍යාල  සඳහා පිළිගත් මූලික සුදුසුකම් සාධන මට්ටමක් (Pre Qualification Assessment) සැකසිය යුතු වන අතර එහි මූලික අරමුණ විය යුත්තේ ප්‍රමිතියකින් යුතු අධ්‍යාපනයක් ලබාදෙන පුද්ගලික විශ්ව විද්‍යාල  පමණක් තෝරා ගැනීමයි. මෙමඟින් ටියුෂන් කඩ වැනි පුද්ගලික විශ්ව විද්‍යාල වලට මඟ ඇසීරීම අනිවාර්‍යයෙන්ම කල යුතු දෙයකි. පුද්ගලික විශ්ව විද්‍යාල ඇරඹීමට පෙර මෙකී නොකී නොයෙකුත් දෑ රජය විසින් සම්පාදනය කර තිබිය යුතුය. එවැන්නක් ජනතාවට සහ පාර්ලිමෙන්තුවට ඉදිරිපත් නොකර “පුද්ගලික විශ්ව විද්‍යාල පටන්ගනිමි” යි පැවසිමෙන් ජනතාව (ජවිපෙ ) කුලප්පු වීම මිස වෙනත් කිසිවක් සිදුවනේ නැත.

මෙහි අනෙක් පස ගැනද කතාකල යුතුය. තම අයිතීන් දිනාගැනීම උදෙසා මොර නැඟීමට පෙර තම යුතුකම් ඉටුකර තැබීමට අවශ්‍යය බව ශිෂ්ඨ සමාජ තත්ත්වයක පිළිගත් රීතියකි. ඕනැම සිසුවෙක් තම ශිෂ්‍ය අයිතීන් දිනාගැනීමට පෙර ශිෂ්‍යයෙකු වශයෙන් තමන් සතු යුතුකම සහ වගකීම ඉටු කර සිටිය යුතුය. අවම වශයෙන් එසේ කරමින් සිටිය යුතුය. මුලින්ම, ලාංකීය විශ්ව විද්‍යාල ශිෂ්‍යයාගේ මූලික වගකීම කුමක්ද යන්න පහදාගත යුතුය. ලාංකීය විශ්ව විද්‍යාල ශිෂ්‍යයා එතැනට එන්නේ නිදහස් අධ්‍යාපනයට පින්සිදුවන්නට ය. ඒ නිසා එය රැක ගැනීම ඔවුන් සතු වගකීමක් බව අවිවාදයෙන් පිළිගත යුතුය. එ ලෙසම ඔවුන් එතැනට එන්නේ දස ලක්ෂ ගනනකින් එකෙක් ලෙසය. පිළිගත් සාධන මට්ටම සපුරා තිබුනද එතැනට එන්නට නොහැකිව ළත වෙන තවත් ලක්ෂ ගණනක් සරසවියෙන් එපිට සිටින බවද ඔවුන් දත යුතුය.

A සාමාර්ථ තුනක් සහිතවද සරසවියක වෛද්‍ය පීඨයකට යාගත නොහැකිව ළතැවෙන සිසුන් කොතරම් ප්‍රමාණයක් සිටීද යන්නත් සරසවි සිසුන් දත යුතුය. එවන් පරිසරයක් තුළ ලාංකීය විශ්ව විද්‍යාල ශිෂ්‍යයා යනු වරප්‍රසාද ලාභියෙකි. ඒ හේතුව නිසාම, සරසවි සිසුවා තමන්ගේ අධ්‍යාපන කටයුතු හොඳින් කරගැනීමේ හෝ අවම වශයේන් සම්පූර්ණ කර ගැනීම යන සමාජ වගකීමක් හිසේ දරාගත් අයෙක් බවට පත්වේ. මන්ද, යම් සිසුවෙක් සරසවියට පැමිණ ඉගෙන ගන්නේ නැත්නම්, ඔහු කරන්නේ ඔහුගේම සුදුසුකම් ඇති ඉගෙන ගැනීමට අවැසි තවත් අයේක් වෙත නිදහස් අධ්‍යාපනය ලැබීමේ මූලික සිසු අයිතිය අහෝසි කිරීමයි. එලෙස, ලාංකීය විශ්ව විද්‍යාල ශිෂ්‍යයා සතු අනේක් මූලික යුතුකම සහ වගකීම වනුයේ තමන් ලද නිදහස් අධ්‍යාපනයෙන් හොඳින් ඉගෙන ගැනීමයි.

පුද්ගලික විශ්ව විද්‍යාල වලට එරෙහිව සහ සිසු අයිතීන් වෙනුවෙන් හඬ නගන ‘සිසු’ නායකයා ගැන මොහොතක් සිතන්න. ඔහු දන්ත වෛද්‍ය විද්‍යාව ඉගෙන ගැනීමට වරප්‍රසාද ලත් සුදුසුකම් සැපූරූ ලක්ෂයකින් එකෙකි. එතැනට පැමිණි පසු ඔහු දෙවන වසරට වත් ඉගෙන ගන්නේ නැත. කාලය ශ්‍රමය වැයවන්නේ ඉගෙන ගන්නට නොව පිකටින් යන්නට සහ පෝස්ටර් ඇලවීමටය. වෛද්‍ය විද්‍යාව ඉගෙන ගෙන වෛද්‍යවරයෙක් වෙතැයි සිතා නිදහස් අධ්‍යාපනයෙන් මුදල් වෙන්කන ළදුව ඒ මුදල් පරිහරණය කර ඔහු වෙද නලාව වෙනුවට පෝස්ටරය අතට ගන්නේ නිදහස් අධ්‍යාපනයේ ඇති නිවට බව නිසා විය යුතුය. ඔහුට වෛද්‍යවරයෙක් නොවීමට අවැසිනම් එතැනට නෑවිත් දුක් මහන්සියෙන් ඉගෙන ගෙන එක ළකුණකින් වෛද්‍ය පීඨයට යා ගත නොහැකි වූ අසරණ ගොවියෙක්ගේ දරුවෙක්ට එම අවස්තාව ලබාදිය යුතුය. ඒසේ වූවා නම් අද එම සිසුවා දැනටමත් වසර 5ක් වෛද්‍යවරයෙක් ලෙස වැඩ කරමින් නිදහස් අධ්‍යාපනය විසින් ඔහු වෙත වැය කරාවූ මුදල මෙන් දහ ගුණයක්වත් රජයට උපයා දී හමාරය.

දැනුවත්ව හෝ නොදැනුවත්ව මේ ‘සිසු’ නායකයා කර ඇත්තේ වෙනත් සිසුවෙකුට වෛද්‍ය වරයෙක් වීමට තිබූ අවස්ථාවක් පැහැරගැනීමකි. අනෙකුත් නිදහස් අධ්‍යාපනය ලබන සිසුන්ගේ සිසු අයිතීන් බිඳ දැමීමකි. ක්‍රමයක් තිබුනා නම් ඔහු වෙනුවට විශ්ව විද්‍යාලේ යන්නට තිබූ අය ඔහුට විරුද්ධව නඩු පවරණු නිසැකය. ඔහු ඔහුගේ රජයේ මුදල් කා දමා (මහපොල ද ගත්තා විය හැකිය ) ඔහුගේ සහ අනෙක් සිසු සිසුවියන්ගේද අනාගතය අඳුරු කර ඇත. එය විශ්ව විද්‍යාල සිසුවෙක් ලෙස තමන්ගෙන් සමාජයට ඉටුවිය යුතු යුතුකම පැහැර හැරීමක් ය. යුතුකම් පැහැර හැරි පුද්ගලයා අයිතිවාසිකම් වෙනුවන් කෑ ගැසීම විහිලුවකි.

ශිෂ්‍යයෙකු වශයෙන් රටට තම වගකීම් ඉටු කිරීමට නොදන්නා අය පිටුපසට වී පුද්ගලික විශව විද්‍යාල වලට එරෙහිව කෑ ගැසීමට වඩා කල හැකි බොහෝ දෑ සරසවි සිසුවාට ඇති බව මගේ හැඟීමයි. අවම වශයෙන් නොමිළයේ ලැබෙන්නාවූ අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන ඉවර කරන්නේ නම් එයම වටිනේය.

Advertisements

7 responses to “පුද්ගලික අන්තරේ සහ විශ්ව විද්‍යාල

  1. සමීර මහත්මයාගෙන් මේ සම්බන්ධව හිතට නැගුන ප්‍රශ්න කීපයක් ඇසුවොත් පිළිතුරු ලැබේයැයි සිතමි.

    1) විරැකියාවෙන් පෙලෙන උපාධිධාරීන් දහස් ගණනක් බිහිකරන ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතියේ,ඒ හිඩැස වසා නවීන ලෝකයට ගැලපෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් ඇති කිරීම පසෙක තබමින්,හෙට දවසෙත් මේ ආකාරයටම රැකියා නැති උපාධිධාරීන් බිහිකරන පාඨමාලා තවදුරටත් පවත්වා ගනිමින්,පුද්ගලික විශ්ව විද්‍යාලම පටන් ගැනීමට බලධාරීන් සම්පූර්ණ බරම යොදවන්නේ ඇයි?

    2)මූලික සහ ප්‍රමුඛ කාර්යය විය යුත්තේ පවත්නා සරසවි අධ්‍යාපන රටාව සංශෝධනය කර බී ඒ කාරයාටත් රස්සාවක් ලැබෙන ව්‍යුහයක් සැකසීමද,පවත්නා තුවාලය කකුල කපන තුරුම වැඩෙන්නට ඉඩහැර, පුද්ගලික සරසවි ආරම්භයද?

    2)අධ්‍යාපන ධවල පත්‍රිකාවට එරෙහිව පාරට බැස, රනිල් වික්‍රමසිංහ අධ්‍යාපන ඇමතිගේ සැලසුම් හකුලාගන්නතුරුම සටන් කිරීමට ශිෂ්‍යයාට හැකියාවක් ලැබුනේ නිදහස් අධ්‍යාපනයේ ඇති නිවට බව නිසාද?

    3)දැනුවත්ව හෝ නොදැනුවත්ව ක්‍රියා කරන මේ ‘සිසු’ නායකයා ,පස් වසරකින් පසුව වෛද්‍යවරයෙක් වී තමන්ට ලැබෙන අනාගත නියත සුඛිත මුදිත ජීවිතය හැරපියා , ජයග්‍රහණය අනියත සටනක් වෙනුවෙන් පෝස්ටර් ඇලවීමට මාරු වෙන්නේ බාහිර අදිසි බලයකට යටවෙන මැට්ටෙක් නිසාද?

    • සිතුවිලි මණ්ඩිය මිතුරාට මෙලෙස කෙටි පිළිතුරක් ලබාදෙමි.

      ප්‍රශ්න අංක 1 සහ 2, පවතින රජයේ පුද්ගලික විශ්ව විද්‍යාල ඇරඹීමට දරන වෑයම ගැන මගේද පැහැදීමක් නැති බව නැවත වරක් කියෙව්වොත් ඔබට පැහැදිලි වනවා ඇත. මන්ද යත්, එය ඉතාමත් සීරුවෙන් සහ අවධානයෙන් කළ යුතු කාර්‍යකි. පුද්ගලික විශ්ව විද්‍යාල ඇති සමාජයක් තුළ රජයේ මේ සම්බන්ධයෙන් රජය දරන උත්සාහය කිසිම නිර්ව්‍යාජත්වයක් නැති බව මම පැවසුවෙමි. ඔබ කියන අයුරින් අධ්‍යාපන කරමය සංශෝධනය කල යුතු බවට යම්තාක් දුරට මම එකඟවෙමි. නමුත්, ඒ සියල්ල පටලා ගත යුතු නැත. “පුද්ගලික විශ්ව විද්‍යාල” මෙරටේ තිබිය යුතුය යන සංකල්පයට මගේ කැමැත්ත පමණක් නොබියව කියමි.

      3) අයිතීන් දිනාගැනීම පිණිස සටන් කිරීම, උද්ඝොෂණ කිරීම සිසු අයිතිය බව මම පිලිගෙන තිබේ. හොඳින් කියවා බලන්න.
      නිදහස් අධ්‍යාපනයේ නිවට කම වන්නේ අයිතීන් දිනාගැනීමට සටන් කිරීම නොව, අනික් කෙනෙකුට වෛද්‍යවරයෙක් වීමට නොදී, නිදහස් අධ්‍යාපනයේ නාමයෙන් සරසවියට ඇවිත්, කිසිම වගතුවක් නැතුව අනිත් සිසුන්ටද ඉගෙන ගන්න නොදී සරසවි වනසන එවන් කාලකන්නි උදවිය සරසවි එන එක වලක්වන්න නිදහස් අධ්‍යාපනයට බැරි වීමයි.

      4) තමන්ට කැමති දේශපාලනයක් කිරීමට හැමෝටම අයිතිය තිබේ. ඒ ගැන විවේඡනයක් නැත. අවුරුදු 35කට ආසන්න යැයි සැළකිය හැකි මේ සිසු නයුවා කරන්නේ තමන්ගේ ජවිපෙ (අන්තරේ, ) දේශපාලනය වෙනුවෙන් ලාංකීය විශ්ව විද්‍යාල ශිෂ්‍යයා දං ගෙඩියට දැක්කීමය. විශ්ව විද්‍යාලයක් මසක් වසා තැබීම යනු කොතරම් අපරාධ‍යක් ද යන්න තේරෙන්න තරම් ජවිපෙ (හරි, අන්තරේ) දේශපාලනය ළදරු වීම කණගාටුයි. මම දන්නවා කොච්චර පැහැදිළි සත්‍යයක් වුවත් ඔබ ඇතුලුව අනෙක් ජවිපෙ ක්‍රියාකාරීන්ද අන්තරේ යනු ජවිපෙ අතකොලුවක් බව පිළිගන්නේ නැති බව. කොහොම කිව්වත් අර කිව්ව සිසු නායකයා පෝස්ටර් ඇලවීමට මාරු වෙන්නේ ජවිපෙ අදිසි බලයකට යටවූ මැට්ටෙක්ම වූ නිසාය.

      • 1)පුද්ගලිකව මගේ විරුද්ධත්වය පවතින්නේ පුද්ගලික විශ්වවිද්‍යාලවලට නොව,ඒවා පිහිටුවීමට රටේ අනිසි කාලයක ගෙනයන තුච්ඡ ක්‍රියා පටිපාටියටයි.(එය එසේයැයි නැවත මගේ කමෙන්ටුව කියවුවහොත් වැටහෙනු ඇත.)ඔබගේ ස්ථාවරයත් මේ හා සමපාත වේනම් අපගේ මේ අදහස තවදුරටත් විසංවාදයක් නොවේ.

        2)සිසු නයුවන් මැට්ටන් වීම පිලිබඳ කතාබහට කොමෙන්ටු තීරයේ ඉඩ පටු බැවින් ඒ පිලිබඳ පොස්ට් එකක් අනාගතයේ දැමීමට බලාපොරොත්තු වෙමි.

        3)”ඔබ ඇතුලුව අනෙක් ජවිපෙ ක්‍රියාකාරීන්ද” යන ඔබගේ ප්‍රකාශයට මාගේ විරෝධය.

  2. මේව දකිනකොට අපේ පරණ දුක අලුත් වෙනවා, ඒව මෙහෙමවත් පිට කරමු,

    විදු නැණ දිරියෙන් කළමුත් අවසන්
    ජයගත් කඩඉම් පසුකර ඉහලින්
    වරනට විය තුන් වසරක් විකලින්
    හද කළ අන්තරෙ මකබෑ පලයං

    තෙවසර මා හට නැති වී අවසන්
    පසුකර මා අද කම්මැළි සලෙළුන්
    මතු පරපුර ගලවනු මේ උගුලෙන්
    අදිනු නොහැක කාලය ලා තුරඟුන්

    දෙවුරු, දෙ අත් වෙහෙසා ගත සොයනා
    දනෝ රැගත් ආවුද ගෙන සොරෙනා
    පවුරු තනා සරසවි මං වසනා
    අවැසි කාට පිලිලුන් වින කරනා?

    හැකිනම් පවසනු තෙපි කළ සේවය
    සසඳා අඩ සිව් වස් පෙර කාලය?
    කරනු, මරනු මදිවිට මැර සාපය
    සරණ නොවිද සැමදා තොපෙ ලෝකය?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )