ඒකි උඹට වඩා අඟල් දෙකක් උස ඇති..


“ඕයි…”

මහා කල්පනාවකට මැදිව මුහුඳේ රළ බිඳෙන හැටි බලා උන් මගේ මනෝ ලෝකය බිඳ වැටුනේ උගේ හඬින්ය.

“ඕයි…”

ඌ නැවත එසේ කිව්වේ බිඳුණු හඬකින් නිසා කිසිවක් නොකියා මම මුහුඳ දෙසට බලාසිටි දෙනෙත් හරවා ඔහු දෙස බැලුවෙමි. ඌ ඉන්නේ මම හිඳගෙන ඉන්න ගලට ටිකක් පහළට වෙන්නය. ටික වෙලාවකට කලින් ආ රැල්ලෙන් ඌ තෙමී ඇත. ඒ මුහුඳු වතුර ටික පිසදාගන්නවත් ඌට උවමණාවක් තිබී නැත. පැත්තකින් වෙනම ගලක් උඩ ඇති උගේ කම්බයින් මැත්ස් පන්ති පොතද තෙමී ඇත.

මම පහළට බැස ඌ ළඟින් ඉඳ ගතිමි.

“සමියා, මට දුකයි බං… ”

‘මට තේරෙනව බං ‘ කියලා කියන්න හිතුවත්, නුගේගොඩ ඉඳං බම්බලපිටියට එනකං බස් වල උගේ දුක හදන්න එක එක ඒවා කියූ නිසා, ඌට කතාකරන්නට දී මම බලා සිටියෙමි.

“මට බොන්න ඕන බං… මට අද හොඳට බොන්න ඕන, දුක නැතිවෙන්න..”

“බීලා ප්‍රශ්න විසඳන්න බෑ නේ මචං, අපි ඇත්තට මූණ දෙමු බං..”

මූ දැන් බොන්න ගියොත් එහෙම වෙන විපාකය හැඟුන නිසා මම එසේ කීවෙමි. ඌ උත්තර නොදී ඈත මුහුඳ දිහා බලා සිටී. නිහැඬියාව බිඳින්නට නැවතත් යමක් කියන්නට කට අරිනවාත් එක්කම ගාල්ල පැත්තට යන කොච්චියක් නිසා කියන්නට ආ දේ ගිල ගන්නට මට සිදුවිය. ‘ටකස් ටකස්’, ‘ටකස් ටකස්’ ලෙස කොච්චියේ රෝද පීලි අතර ඇති හිඩැස් වලින් යන හඬ තීව්‍ර ලෙස ඇසුනේ අප ඉන්නා තැනම පීලි දෙකක් එකතුවී ඇති නිසා විය යුතුය. කොච්චියේ හඬ නැතිවූ පසු මම ආයෙත් කියන්න ආ දෙය ඌට කිව්වෙමි.

“ඒකි එහෙම කිව්ව කියලා උඹ අප්සට් ගන්න එපා බං…”

“මේ කොච්චිය මගේ ඇඟ උඩින් ගියා නම් ප්‍රශ්න ඔක්කොම ඉවරයි බං..”

ඌ කිසිම විටෙක සියදිවි නසාගන්නේ නැති බව දන්න නිසා මම ඊට කිසිවක් නොකීවෙමි.

“ඇයි බං, කොට මිනිස්සුන්ට ගෑණු ගන්න බැරිද? අපි පොන්නයෝද.., ඇයි මං පොඩ්ඩක් කොට උනා කියලා ඒකි මට කැමති නැත්තේ..”

බලාපෙරොත්තු සහගතව සම්පූර්ණ අවුරුද්දක් තිස්සේ තිබූ මිතු දම අතරින්, ආදරය ගැන විමැසූ විට ඇය කියා තිබුනේ ඔහු ඇයට වඩා කොට නිසා ඇය අකමැති බවයි.

“එහම එකක් නෑ බං, ඕවා ප්‍රශ්න නෙවෙයි. අනික ඕනිනං ඒකි උඹට වඩා අඟල් දෙකක් උස ඇති..”

මම එසේ කිව්වේ එය ඉතා ලොකු ප්‍රශ්නයක් නොවන බවට ඔහුට ඒත්තු ගන්වන්නටය.

“අනික බලපං අර ‘ලව් කොටා’ කෑල්ලක් දාගෙන ඉන්නේ යසට, ඌ උඹටත් වඩා කොටයි නේ බං..”

අප අතරේ ඉන්නා තවත් අයෙක් උදාහරණයට ගෙන මා ඒසේ කීවේ එය එතරම් විශාල ප්‍රශ්නයක් නොවන බව නැවතත් ඒත්තු ගන්වන්නටය.

“ඒකිට එහෙම කියන්න වටින්නේ නෑ බං… මේක හදාගන්න පුළුවන් දෙයක් නම් මම හදාගන්නවා, මේ මම ලබා උපන් හැටි බං.. මම දුප්පත් කිව්වනම් මම මහන්සිවෙලා සල්ලි හොයාගන්නවා, මම බොනවා කියල කිව්වනම් ඒක නවත්තනවා, ඒත් කොහොමද බං මම උස හදාගන්නේ.. මේක හරිම අසාධාරණ ලෝකයක් බං …”

ඌ ඒ ටික කියන විට මට කල්පනාවූයේ මගේ වාසනාවකට මෙන් මට එසේ වී නැති බවයි, එසේ වූ වා නම් මා ද අද ඉන්නේ ඌ ඉන්නා තත්ත්වයේය. අපි විහිළුවට සහ ආදරයට උනත්, ඌට ‘කොටා’ යැයි කීමෙන් පහුරු ගාන්නේ ඌට වෙනස් කරගත් නොහැකි දෙයක් බවත්, එය ආත්මීය ලෙස කෙතරම් රිදවන්නක් විය හැකිද යන්නත් මට හැඟෙන්නට විය. මින්පසු විහිළුවටවත් ඌට කොටා යැයි නොකියමියි මම හිතා ගත්තෙමි.

මම ඌගේ කරට අත දමා උගේ දෙස බැලුවේ හොරා කා අසුවූ බළලෙකු ලෙසින් විය යුතුය.

Advertisements

13 responses to “ඒකි උඹට වඩා අඟල් දෙකක් උස ඇති..

  1. ” මේ මම ලබා උපන් හැටි බං.. මම දුප්පත් කිව්වනම් මම මහන්සිවෙලා සල්ලි හොයාගන්නවා, මම බොනවා කියල කිව්වනම් ඒක නවත්තනවා, ඒත් කොහොමද බං මම උස හදාගන්නේ.. මේක හරිම අසාධාරණ ලෝකයක් බං … ”

    මෙන්න මේ ටික තමයි වදිනම ටික… මිනිස්සු ඔය ටික තේරුම් අරන් අනිත් අය ගැන කතා කරනවනම් මීට වඩා හුඟක් ලස්සන වෙයි ලෝකේ…

    ලියල තියෙනවා ලස්සනට උබ. මැවිල පේන විදියට.

    අනේ උස බම්බුව. අර අපේ කොටා දාගෙන ඉන්නෙ කෙල්ල… ඉටි රූපෙ වගේ…

  2. අප්පට සිරි… මම දන්න කොටාල දෙන්නෙක් ඉන්නවා.. පට්ට කෑලි දාගෙනෙ ඉන්න..:)

  3. නියමයි සමීර . .

    හරිම අපූරුවට ලියලා තියෙනවා.

    අපෙන් නොදනුවත්ව වෙන වැරද්දක බරපතල කම පපුවට උල් කටුවක් තියලා මිටියකින් ගැහුවා වගේ හොඳින් දැනෙන්න ලියලා තියෙනවා.

    ඒ වගේම තමන්ගේ ස්වභාවික අඩුපාඩුවක් නිසා කෙනෙක් විඳවන විඳවිල්ල අපේ හිත ඇතුලට කාවදින විදිහට ලියලා තියෙනවා.

    නියම නිර්මාණයක්

    උපරිමයි

  4. ඔව් ඔව් මාත් දන්න එකෙක් ඉන්නව ! උටත් කිසිම අවුලක් නැ ! නේද බා… ?
    තැන්ක්ස් !

  5. ඔය උස කොට වීම් කෙල්ලටයි, කොල්ලටයි වඩා පිට අයටයි අවුලක් වෙලා තියෙන්නේ.. ආදරේ තියන තැන මාලිගා හදන එකයි හරි, මොන ප්‍රශ්නේ තිබ්බත්..

  6. ලස්සනට ලියලා.. ආදරේ කරන්න ඔය උස මහත දෙවල් නම් මහ විකාර මනස්ගාත.. සමහර විට ඔය ඔක්කොම දෙවල් තියන මිනිස්සු මනුස්සකම අතින් අන්තිම බිංදුවේ ඉන්නේ…

  7. මේකෙ වැඩේ ඌ සමහරවිට අඟල් හැටක් උස ඇති, ඒත් ඒ හැටටම වැඩිය මේ වෙලාවෙ වැදගත් වෙන්නෙ උගෙ අඩු අඟල් දෙක,ඕක තමයි ඉතිං ලෝක සොබාවෙ, මොකදෑ කොරන්නෙ?

  8. ඉතින් ඊට පස්සේ මොකද වුණේ අයියා ?

  9. උසේ ප්‍රශ්නේ කෙල්ලටත් නෙමෙයි බං. මිනිස්සු කිංඩිය දායි කියලා තමා කෙල්ල උස ගැන හිතන්න ඇත්තේ. මචං ඔය පොර වයස කීයක පොරක්ද? පේන විදිහට ඒ ලෙවල් වගේ. එ ලෙවල් කාලේ මගේ උස දැක්කානං ඌ හිනා වෙයි. යකෝ මං හෙන කොටයි. හිබැයි ජොබකට ගිහිං ටික ටික ප්‍රොෆෙෂනල් වෙනකොට උස ඉබේම හැදෙනවා හෝ කොට බව නොපෙනීයනවා. සත්තයි අද්දුටුවයි. මං මේ අත්දැකීමෙන් සිරා කියන්නේ. ඌට ඒ ලෙවල් ගොඩදාගෙන් හොඳ ජොබක් හොයා ගන්න කියහං, ඔබ බෑ කියන උංළ උගේ පස්සෙන් එන හැටි බලන්න…
    යකෝ මං දන්න කොටාලා කී දෙනෙක් උස කෙල්ලො දාං ඉන්නවද? ඔය වගේම සීන් එකක් වෙච්ච එකෙක් උස කෙල්ල බෑ කිව්වා ඒකිට වඩා ලස්සන ඉටි රූපේ වගේ කොට කෙල්ලෙක් එක්ක සෙට් වුනා. බලන්න එපැයි දැං උජාරුව.

  10. @ All,
    මේක මේ මම උසස් පෙළ කරන කාලේ වෙච්ච සත්‍ය සිද්දියක්. දැනට අවුරුදු 9ක්ට විතර කලින්. මෙතන සමීකරණයෙන් ගෑණු කෙනා සහ ආදරය අයින් කරලා හිතන්න ඕන අපි. එවා විච්ල්‍යයය නේ. එක එක අයගේ අදහස් වෙනස්.

    ප්‍රධාන වන්නේ තමන්ට හදාගන්න බැරි දේවල් කිය කියා ඒ ගැන මිනිස්සුන්ට විහිළු තහළු කිරීමෙන් සහ ඔවුන් පෙළීමෙන් වැළකීමයි.

    කතානායකයා අදටත් හොඳින් ඉන්නවා. දැන් උගේ ආදරයට උස ප්‍රශ්නයක් නොවුනාට වෙනින් ප්‍රශ්න තියෙනවා.

  11. අය්යෝ මමත් කොටයී!!! එත් එක නිසා මට ලාබ මිසක් පාඩු වෙලා නන් නෑ

  12. හැම ඉස්කෝලෙකම හිටිය හැම සෙට් එකකම කොටා කියල එකෙක් ඉඳල තියෙනව. අපෙත් හිටිය කොටා කියල එකෙක්. හැබැයි ඌට ආදරේට කොටා කිවුවට උගේ උස ගැන වෙන අයට නම් ප්‍රස්නයක් කරගන්න දීල නෑ. ඌව පොඩිහිටියන්ට විතරක් පෙන්නන ‍ෆිල්ම් එකක් බලන්න යන්න දෙන්න බැහැ කිවුවම (ඉස්කෝලෙ 10 වසරෙ ඉඳිද්දි) උන්ට තග දාල අපි ඌව ඇතුලට ගත්ත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )