මල්ලී, අද මෙයා ජීවත් වෙලා ඉන්නේ ඔයාලා නිසා..


මංගල රථය බාරව තිබුනේ මටයි. පෙරදා මහා රාත්‍රියේ මල් වලින් සරසාගත් කාරය හෝටලයේ පැත්තකින් ගාල් කර මම ගිහාන් ව හොයන්නට පටන්ගත්තෙමි. මගේ කෝට් එක ඌ ගාවය. ගිහාන්ගෙන් කෝට් එක ඉල්ලගෙන මමත් ගිහානුත් කොරිඩෝව දිගේ මංගල ශාලාවට පිය නැඟුවෙමු.

නේක වර්ණ ඇඳුමෙන් සැරසීගත් අය අතරින් එක කෙළවරක තිබුනු මේසයකට ගොස් අපි දෙදෙනා වාඩි වුනද මිතුරාගේ මගුල වෙනුවෙන් කළ යුතු තව බොහෝ දෑ ඉතිරිව තිබුනේය.

නොයෙක් වැඩ වලට ශාලාවෙන් පිටට ගියත්, ජෝඩුව පෝරුවට නඟින ටික හරියට බලාගත්තෙමි…

අප දෙන්නාගේම හොඳම මිතුරෙකු වන මනාල මහත්තයා පෝරුවේ චාරිත්‍ර ටික ඉවර වෙන තෙක්ම සීලිම දෙස බලන් හිටියේ හැමෝම ඌ දෙස බලා සිටින නිසා තිබූ ලැජ්ජාව නිසාද එහෙමත් නැත්තම් පෝරුව චාරිත්‍ර ටික දිග වැඩි නිසා දැයි මම කල්පනා කළෙමි. නොයෙක් වරක් ඌ අප දෙස බැලුවත් නැවතත් අහක බලාගත්තේ ඌට හිනා යන නිසාය. අප දෙදෙනාද හැකි තරමක් කලේ ඌව හිනා ගැස්සීමය. මේ විකාර ඉවර උන පසු මමත් ගිහානුත් නැවතත් කෙලවරේ මේසයක වාඩිඋනේ මහන්සිය නිසාම නොවේ, උගේ පෙරැත්තය නිසාය. ඌට ඒ වන විට හොඳ ලයින් එකක් වැඩ කරමින් තිබුනි. එක මඟුලකින් තව මඟුලක් ගොඩ යා හැකිව තිබූ නිසා මම කිසිවක් නොකීවෙමි.

ටික වෙලාවකින් අප අසළට පැමිණියේ දරුවෙක් වඩාගත් තවමත් තරුණ යැයි කිවහැකි කාන්තාවකි. වටේටම රේඩාර් දමමින් සිටි මට නම් ඇයගේ පැමිණීම පෙනුනත්, වැටී තිබූ ලයින් එක සුසර කරමින් උන් ගිහාන්ට නම් ඒ බව වගක් වූයේ නැත.

” ආ.. සමීර මල්ලිට මාව මතකද දන්නේ නෑ.. කවද්ද ආවේ ලංකාවට ”

මම ඇයගේ මුහුණ හොයන්නට අතීතයන් ටිකක් හාරවුස්සන්නට වුනෙමි. එහෙම කෙනෙක් මතක නැත.

“අනේ සොරි, මතකයක් නෑනේ අක්කේ..”

තමන්ව අඳුරන කෙනෙක් ‘දන්නේ නෑ’ කියන්නට වීම මට එතරම් සිත් දෙන දෙයක් නොවුනද, මම යටහත් පහත්ව එසේ පැවසුවේ මා වැඩි කලක් ලංකාවෙන් පිටත ඉන්නා නිසා එය පවසා ගැලවිය හැකි නිසාවෙනි.

“මතක තියෙන්නේ කොහොමද අපි මුණ ගැහිලා තියෙන්නේ එක දවසයිනේ ”

ඇය පැවසුවේ මා තවත් අපහසුවට පත්කරමිනි. මේ වනවිට ගිහාන්ද ලයින් එක අතැර දමා ඇය දෙස බලාසිටියේය.

ඇය අනෙක් පස සිටි තරුණයෙක් ට අතින් සංඥා කර අප සිටි මේසය වෙත ගෙන්වාගත්තේය. ඔහුත් පැමිනි පසු ඇය අප සිටි මේසයේ වාඩි විය.

” මල්ලී, අද මෙයා ජීවත් වෙලා ඉන්නේ ඔයාලා දෙතුන්දෙනා නිසා… ”

ඇය අර තරුණයා පෙන්වමින් පැවසුවාය. ඔහුද අප වෙත දැක්වූයේ ස්තූතිපූර්වක හිනාවකි.

මමත් ගිහානුත් එකිනෙකාගේ මූණු දෙස බැලුවේ යමක් සිතාගත නොහැකි නිසාය.

අප දෙදෙනා පත්වූ තත්ත්වය ඇයට වැටහුනු නිසාද කොහෙදෝ ඇය නැවතත් හඬ අවදිකලාය.

” ඇයි මල්ලී, ගිය අවුරුද්දේ ඇපලෝ එකේදී ඔයාලා ලේ දුන්නේ.. මේ දරුවට අද තාත්තා කෙනෙක් ඉන්නේ ඔයාලා එදා ඒ කරපු උදව්ව නිසා තමයි.”

ඒ ඇසිල්ලේම මා හිතින් මාස දහයක් පමණ ඈතට ගියෙමි.

— — — — — — — —

“මචං.. ලේ ටිකක් දෙන්න යන්න ඕන, අපේ දුර නෑයෙක්ට. මම එන්නද උඹව අරන් යන්න..”

අද මනාලයෙක් වී සිටින මගේ මිතුරා දුරකතන ඇමතුමක් දී මගෙන් විමසීය. එදින කරන්නට වෙන වැඩක් නොවූයෙන් මම එකඟ වුනෙමි. යනින් ගමන් ගිහාන්වද ගෙදරින් උස්සාගත් අපි කෙලින්ම ගියේ ඇපලෝ රෝහලටයි.

කෙලින්ම අපි ගියේ එම රෝහලේ ලේ බැංකුව වෙතය. සියලු දත්ත ලබාගැනීමෙන් පසුව අපි තිදෙනාම ලේ දන් දුන්නේ අර රෝගියාගේ අංකය සටහන් කරමිනි. ලේ දුන් පසු බීම පැකැට්ටුවක් ද ලැබුණි. ලේ දන් දුන් පළමු වතාව නොවුනද, එය කලායින් පසුව ඉතා සැහැල්ලුවක් දැණුනි.

මනාල මහත්තයාගේ දුරකතනයට ඇමතුමක් දී අප ඉන්නා තැන අසාගෙන අපවෙත ආවේ අද මෙතැන ඉන්නා කාන්තාවයි..

“මල්ලීලාට බොහෝම ස්තූතියි.. අපි යමු මොනවා හරි කාලා එන්න..”

“අනේ ඕන නෑ අක්කේ.. අපි දැන් යන්නම්.. ”

මනාල මහත්තයා එහෙම කිව්නිසා ගිහාන්ගේ මූණ අඳුරු වී ගියේය..ඌ උදේට මොනවත්ම බඩට දාගෙන් තිබුනේද නැත.

“නෑ නෑ යමු යමු.. මම අයියාව කැන්ටිමේ වාඩි කරවලා ආවේ.. ඉක්මනට යන්න ඕන..යමු. ..”

අප හෙමින් හෙමින් පඩි පෙල් බැස පිය මැන්නේ ඇපලෝ රෝහලේ ආපන ශාලාව වෙතය. එක් මේසයක වාඩි වී සිටියේ වයස 34ක් පමණ වූ තරුණයෙක් ය. ඒ තරුණ පියාට දින 2කින් සැත්කමක් කළයුතුව තිබුණි. දුෂ්කර ග්‍රාමීය පෙදෙසකින් පැවත එන්නායි කියන ඔවුන් ඇපලෝ වැනි රෝහලකින් බෙහෙත් ගන්නේ ඇයි දැයි මට සිතුනත් මම එය සඟවාගෙන සිටියෙමි. නමුත් සත්‍ය තත්ත්වය දැනගන්නට අපට වැඩිවෙලා ගත වූයේ නැත. ඔහු වැඩිය කතාකලේ නැත. යන්තම් අතරින් පතර හිනා වුනා පමණි. මුළු ඇඟම වැහැරී ගොස්ය.. අතේ හැමතැනම වාගේ නහර මතුවී තිබුනේ යම්කිසි දරුණු අසනීපයක සේයාවක් කියාපාන්නට විය යුතුය..

ඔහුගේ අසනීප තත්ත්වය ගැන අප සමඟ පැවසූයේ ඔහුගේ බිරිඳයි. ඔහුට වැළදී තිබුනේ දුලබ රෝගයකි. ප්‍රතිකාර කරන්නට ඉන්නේ ඉන්දියාවෙන් මාස 6කට පමණ වරක් ඇපලෝ රෝහලට එන වෛද්‍ය වරයෙකුගෙනි. නැත්නම් පිටරට ගෙනයා යුතුය. ඒ නිසා මේ රෝහලට පැමිණීම කැමැත්තෙන් කල එකක් නොව අසරණ කම නිසා වූ එකක් බව මට පැහැදිලි විය. සෑම මාසයකට වරක්ම ඔහුගේ ශරීරයේ ඇති ලේ ඉවත්කර, අලුතෙන් පාරවිලයනය කර යුතුව තිබුනි. එම සෑම රුධිර පාරවිලයකයකටම පාහේ රෝහලට ලේ ලබාදිය යුතුව තිබුනි. මාස ගණනක් තිස්සේ ලේ ලබා දීම නිසා ඔවුනට දැන් ලේ ගන්න එක්කන් එන්න කිසිම නෑදෑයෙක් නැතිබව ඇය අප හට පැවසුවාය. දින 2කින් කෙරෙන්නා වූ සැත්කමට පෙර නියමිත ලේ ප්‍රමාණයක් රෝහලට ලබාදිය යුතුය. සැනෙකින් අපට තේරුම් ගියේ ඒ සඳහා අඩුම තරමින් තව 10 දෙනෙකු වත් ලේ දිය යුතු බවයි…

විනෝදයට මෙන් කිසිම බරක් පතලක් නැතුව ලේ දෙන්නට පැමිණියත් ඔවුන් සිටිනා අසරණ තත්ත්වය දැක අප තිදෙනාටම බලවත් කණගාටුවකුත්, පොඩ්ඩක් හෝ පිහිට වෙන්නට ලේ දුන්නාය යන හැඟීම නිසා මහත් සැනසීමකුත් සිතුනා නිසැකය.අප තිදෙනා එතැනින් නැගිට තීරණය කලේ කෙසේ හෝ 10 දෙනෙක් වත් ලේ දෙන්න හොයාගෙන එනවා කියා හිතාගෙනය.

කාරයට ගොඩවූ පසු අපි තිදෙනාම කරේ ෆෝන් එකේ ඇති යහළු හිතමිත්‍රාදීන්ට කතා කරමින් ඉන්නා තැන් විමසා ලේ දෙන්නට යන්න කතා කිරීමයි… කොතරම් හොඳ යාලුවන් වුවද එකින් එකා වැඩෙන් මඟහරින්නට නේක විද හේතු කාරණා කියන්නට වීය… වෙනදා වැඩ කරන වෙලාවෙත් එළියට ඇවිත් කෙල්ලත් එක්ක රවුම් ගහන් සමහරුන්ට ඔෆිස් එකෙන් හෙල්ලේන්න බැරි තරම් වැඩය. හවස් වෙන තුරුත් ස්ව කැමැත්තෙන්ම එන්නට ඉදිරිපත් වූයේ දෙදෙනෙකු පමණි… ඔවුන් දෙදෙනාටද කන්න අරන් දී, සිගරට් අරන් දෙන්නත් සිදු විය. ගස් ගල් මෙන් ඉන්නා ඕනෑ වලියකට සෙට් වෙන සද්දන්ත කුලේ ඇත්තු සෙට් ඔක්කොම ලේ දෙන්නට දැක්වූයේ මහත් බියකි. ලේ දුන්නාම දුන්න ලේ නැති වී යන බවක් හැඟී තිබුනු නිසාවෙන්දෝ හැමෝම උත්තර දෙන්නේ අතමාරුවක් කරගන්නට ආ අයෙක්ට උත්තර දෙන පරිද්දෙනි.

හවස් වේගෙන එන නිසා වැඩෙ නොකෙරෙන තැනට වැඩ සිද්ධවී තිබුනි. ඒ නිසා අප තීරණය කලේ ඇත්ත නොකියා කට්ටිය එක්කාසු කරගන්නයි. වැඩ ඇරී යන දෙතුන් දෙනෙක්ට කතා කර යූනියන් ප්ලේස් එකේ පීසා හට් එක ගාවට එන්න කියූ විට එන්නට 3 දෙනෙක් පමණ ඉදිරිපත් විය. සමහරුන් පාසැලෙන් එලියට ආ පසු දැක්කේද අදය.

ඇපලෝ එකට ලං වෙද්දී අපට ඇත්ත කියන්නට සිදුවිය. සමහරකගේ මුවින් අප්‍රසන්න වචන පිටවිය.

“බලු වැඩ කරන්න එපා බං.. ”

“උඹලා නම් මහ හොරු ටිකක් බං..නිකන් තියෙන ලේ ටිකත් හොරකම් කරනවා” … වැනි ඒවා ශිෂ්ඨ අදහස් විය.

අවාසනාවකට වාගේ එක ෆිට් කොල්ලෙක් මසිවිලි නඟමින් අඬන්නටද විය. අපි ඔහුව මරදානෙන් කොච්චියට ඇරලුවේ කුණු කතා අහගත නොහැකි නිසාය. කොහොමින් හරි 6 දෙනෙක් වදෙන් පොරෙන් චාටුවෙන් ගෙන්නාගෙන ලේ දන් දීමට අපට පුළුවන් විය.

හොඳම යාලුවන් දෙදෙනෙක් පසුදා පැමිණ ලේ දන් දෙන්නට පොරොන්දු විය. එක් අයෙක් සිටියේ බදුල්ලේය. ඒ වෙනුවෙන්ම හෙට කොළඹ එන්න තරම් ඔහු හොඳ හිත් ඇත්තේක් විය. කෙසේ හෝ අවසානයේ දින දෙකක් තුළ 11 දෙනෙක් රෝගියා වෙනුවෙන් ලේ දන් දී තිබුණි..

එතැනින් පසු කුමක් වුනි දැයි හොයා බලන්න්ට තරම් විවේකයක් මට තිබුනේ නැත. නිවාඩුව අවසන නැවත ලංකාව ඇතැර ආවෙමි.

— — — — — — —

දැන් ඔහු හොඳින් සිටී.. වැහැරී තිබූ ශරීරයද කෙමෙන් පෘෂ්ඨිමත්ව වැඩී තිබුණි. කට හඬේද ජවයක් තිබූ නමුදු නිර්ව්‍යාජත්වය සහ අහිංසක කම බැහැර ගොස් තිබුනේ නැත.

“දැන් කොහොමද අයියේ..?” ගිහාන් ඇසුවේය.

“දැන් නම් මෙයා හොඳින් ඉන්නවා මල්ල්ලී.. ඔපරේෂ්න් එකෙන් පස්සේ හොඳයි.. ඒත් මේ බෙහෙත්වල පිහිටෙන් තමයි…”

ගිහාන් ඇසූ ප්‍රශ්නයට ඔහු වෙනුවට ඇය පිළිතුරු දුන්නේ හෑන්ඩ් බෑගයේ ඇති බෙහෙත් කන්දරාවද පෙන්වමිනි.

ඔහු අවුරුදු දෙකක් පමණ ඇති කුඩා දියණිය සුරතල් කරමින් සිටී… ඔහුව ඒ තත්ත්වයෙන් දැකීම මගේ හිතේ අප්‍රමාණ සතුටක් ඇති කලේය.මටත් නොදැනීම මගේ මුවඟට මදහසක් නැගී තිබුනේ හිතේ තිබූ සන්තෝසයට විය යුතුය. මම කුඩා දියණියත් ඔහුත් දෙසත් බලා සිටියෙමි..

ලේ බිදක් දන් දී, කුඩා ශ්‍රමයක් සහ කාලයක් කැප කිරීමෙන් කෙනෙකුගේ ජීවිතයට තත්ත්පරයක් වත් එකතු කරන්න ලැබීම මා ලද භාග්‍යයක් විය යුතුය.

Advertisements

12 responses to “මල්ලී, අද මෙයා ජීවත් වෙලා ඉන්නේ ඔයාලා නිසා..

  1. ඔබ හින්දා ජීවිතේ බේරුන කෙනෙක් අහම්බෙන් හම්බවීම ඔබටත් ඔහුටත් මාර සංවේදී අවස්ථාවක් වෙන්න ඇති.

  2. කියන්නට දෙයක් සිතට එන්නේ නැත. ඒ තරමට මම ගොලුවී සිටිමි….

    • ඔව්, උදව්වක් කරලා දැක්කත් අහක බලාගෙන යන රටේ ඒක මතක තියාගෙන කතා කරන්න ආපු එකම කොච්චර එකක්ද නේද

      • ඇත්තටම එහෙමයි… හුඟ දෙනෙක් කලින් උදව්වක් කරපු කෙනෙක්ට එහෙම ආයේ ඇවිල්ලා කතා කරන්නේ බොහොම අඩුවෙන්. නොහොබිනා කමද, ස්වභාවයෙන් ඇතිවන උකටලී කමද කියන්න මම දන්නේ නෑ.. ඒත් මේ කතාව මගේ හිතේ ගැඹුරටම වැදුණා. මොකද මේ වගේම නැතත් මීට සමාන සිදුවීමකට මම මුහුණ දීලා තියෙන නිසා…

        ඔය වගේ අයට වරදින්නේ බොහොමත් කලාතුරකින්. ඔබේ ඒ උතුම් උත්සාහයට මාගේ ආචාරය!!! ඔබට ජය!

  3. අප්පා මට නම් ඕක උණක් ලේ දෙන්නමයි ඕන. අයේ ඕන උනොත් දාන්නකෝ කෙලින්ම මේල් එකක්.

  4. ලේ දුන් සහ ලේ ලබා ස්තුති කළ දෙපාර්ශවයම හොඳ හිතැත්තෝයි!

  5. ඔහොම තමයි දෙයක් වුනාම තමයි බලගන්න පුළුවන් තමන්ට පිහිටට ඉන්නේ කවුද කියලා….

  6. සමීර නොදැන වුනත් කරපු දේ නම් අගෙයි…
    මනෙම් නවදාවග් ලේ දෙන්න බැහැලු මගේ ලේ බර අඩුයි ඒ වලේම මට පොඩි කාළේ Hepatitis හැදිලා තියෙනවා. ඒත් මම, කවුරු හරි ගොඩ දාන්න ඕනම දෙයක් කරනවා…

    “ඔයාල නිසා මගේ මහත්තා ජීවත් වෙනවා“ කියලා අහන්න ලැබුන එකත් ඔයාට ලොකු පිනක්… අර කිව්වා වගේම සමහරු උදව් අරගෙන අහක බලාගන්න කාලේ ඒ වගේ අය ඉන්න එකත් හොඳ කරුණක්….

    සුබ නව වසරක්

  7. කෙනෙකුට මෙහෙම උදව්වක් කරන්න ලැබීමත් විශාල පිනක්…..මමත් මෙ වන විට 6 වතාවක් ලේ පරිත්‍යාග කරලා තියෙනවා.ඩෙංගු හැදුන කෙනෙකුටත් මම ලේ පරිත්‍යාග කරලා තියෙනවා.අදටත් මට ඒ ගැන සතුටුයි………..

  8. අපිත් මේ ළඟදී එහෙම වැඩකට සෙට් වෙලා හෙණට මහන්සි වුණා. ඒ ගැන මාත් පොඩි කතාවක් ලිව්වා. පුලුවන් නම් කියවලා බලන්න අයියේ

    http://aagiyakatha.blogspot.com/2011/05/blog-post.html

  9. සිරා මචො! මෙව්වා කවදාවත් පියවන්න බැරි උදව්!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )