Category Archives: දේශපාලනය

ලංකාවේ දේශපාලනය ගැන…

ඒ තිරිසනා මරා දමා අදට හරියටම වසර දෙකකි…


ඒ දිනවල අපි කොළඹ ගියේ හිතේ ඇති අවිනිශ්චිත බවත් දරාගෙනය. එකල පාසැල් සිසුවන් වූ අපට 1993 ජනාධිපති ප්‍රේමදාස ඝාතනයත් සමඟ වඩාත් දැඩිවූ බෝම්බ රැල්ල මහා බලපෑමක් ඇතිකලා මතකය. 1996 මහ බැංකු බෝම්බය පිපිරී ගියේ විශාල කම්පනයක් සමඟය. පැය බාගයක් යනවිට කොළඹ පාසැල් පිරී ගියේ ළමයින් ගන්නට ආ දෙමාපියන්ගෙනි. එදා පාර දිගට තිබූ තදබදය සහ මිනිස්සුන්ගේ හිත්වල තිබූ භීතිය තවමත් මතකය.

ඉන්පසුව , නොයෙක් පාසැල් වලට බෝම්බ තබන බව අසා, කීප විටක්ම දෙමාපියන් පාසැල් වලින් බලෙන්ම දරුවන් අරන් ගියා මතකය. එක් වරක් කොළඹ ප්‍රධාන මල් ශාලාවකට කුඩා මිනී පෙට්ටි 500ක් සූදානම් කරන්නැයි ඕඩරයක් ද ලැබී තිබුණි.

පොදු ජනයා වෙත මේ බලපෑම කොතෙක්ද කිවහොත් හැකි හැම විටම රටේ ප්‍රසිද්ධ ස්ථාන මඟහැර යන්නට බොහෝදෙනා පුරුදුවී සිටියෝය. කොළඹ-කොටුව ස්ටේසමට යන්නේ නොයා බැරිනම් පමණි. කොච්චියෙන්, බස් එකෙන් බිමට බහිනකම් ඉන්නේ රාක්ක වල ඇති පාර්සල් දිහා බලමිනි. වටපිටාවේ ඉන්න හැමකෙනා දිහාම සැකයෙන් බලන්නට අප පුරුදු විය. කොළඹ ප්‍රධාන ගොඩනැඟිලි, පාර්ලිමෙන්තු, රජයේ ආයතන අසලින් යන්නේද හිතේ බයෙනි. දිගටම කියවන්න

දේශපාලනයේ ‘නාකි’ සළකුණ.


ඇමති මණ්ඩලය ගැන විවිධ කතා වටින් පිටින් ඇසේ.

ඒවා කෙසේ උනත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එක හොඳ වැඩක් කර ඇත. මෙවර, වයෝවෘද්ධ වැඩ කිරීමට පණ නැති ඇමතිවරුන් එකතුකොට “සීනියර් මිනිස්ටර්” ලා වශයෙන් වර්ග කර ඇත. මේ කැටගරියට වැටී සිටින්නේ අවුරුදු 65 ඉක්මවාගිය “පරිණත” නමුත් මැරෙනතුරු විශ්‍රාම නොයන දේශපාලඥයන් සමූහයකි.

මේ දේශපාලඥයන් ඔවුන්ගේ ජීවිත කාලය පුරා රටට වැඩ කලා විය හැකිය. එම හේතුව නිසාම කෘතගුණ සළකන්නට දන්නා ලාංකීය ජනයා ඔවුන්ට ඡන්දය දී හැම විටම පාර්ලිමේන්තුවට පත් කර එවයි. ඡන්දය දිනා එන්නට තරම් වැඩ කර නොමැති නම්, මේ “පරිණත” දේශපාලඥයන් කරන්නේ එවකට සිටින නායකයාගේ දෙපතුල සිඹ ජාතික ලැයිස්තුවෙන් මැම්බර් කෙනෙකු වීමය.

මෙවැනි “සීනියර්” දේශපාලඥයෝ සෑම ප්‍රධාන පක්ෂයකම සිටිති. වැඩිමනක් දෙනා වැඩක් නොකරන හෝ වැඩක් කරගන්නට නොහැකි දුර්වල තත්ත්වයකද සිටින්නෝ වෙති. අතීතය දෙස බැලූ විට හොඳම උදාහරණය නම්, දුබලව රෝද පුටුවේ සිටිද්දී, අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරණායක මැතිනියයි. දිගටම කියවන්න

පබා ආණ්ඩුවට ගියේ තර්ජනයක් නිසාද ?


“ඈ බං.. ඇත්තද අර පබා ආණ්ඩුවට ගියේ තර්ජනයක් නිසා කියන්නේ? ආණ්ඩුවේ ලොකු තැනකින් ත්‍රෙට් එකක් ලැබිලලු.”

ඒ හර බර දේශපාලන සංවාදයක මැද එකෙක් අසන ලද ප්‍රශ්නයකි.

“මොන පිස්සුද බං… එහෙම වෙන්න කොහෙත්ම ඉඩක් නෑ…. ”

එසේ තවෙකෙක් විරුද්ධ වෙයි.

“උඹ එහෙම කියන්නේ කොහොමද?”

” ඇයි බං… ඔය වගේ තර්ජනද ඔය කෙල්ලට ආවේ… අර කොල්ලගේ තාත්තා මොනතරම් මරනවා කියල තර්ජනය කරාද ඒකිට.. එහෙව් තර්ජන වලට බය උනේ නැති ගෑණි දැං බය වෙයි කියල මම නම් හිතන්නේ නෑ.. ”

” ඈ..!! මම එහෙම කෙස් එකක් දැනගෙන හිටියෙ නෑනේ.. මොන කොල්ලගේ තාත්තද තර්ජනය කරල තියෙන්නේ? දැන් බැඳලා ඉන්න කොල්ලගේද? ”

” නෑ බං… අර ඉස්සර බඳින්න හිටපු කොල්ලගේ තාත්තා බං….”

“ඒ කවුද බං ඒ…”

“අර ආමන්තයගේ තාත්තා බං.. රෙජිනොර්ල්ඩ් කාරයා.. ඒ යකා ඉස්සර ඔය කෙල්ලව මරන්න හෙව්වා.. එහෙව් එකේ ඔය කෙල්ල ආණ්ඩුවේ තර්ජන නිසා නම් පනින්නේ නෑ…ඒක ෂුවර් ”

අනේ කාලේ විලේ වාසේ…


ඔන්න එකෝමත් එක රටක විලක් තිබුනලු. මේ විල ඉතාම ආශ්චර්‍යමත් විලක් ලු. මේ විලේ ගෙම්බෝ, ඉස්ගෙඩියෝ, කීටයෝ, පොඩි පොඩි මාළු වගේ ජලජ ජීවීන් විසාල ප්‍රමාණයක් අතේ සතේ නැතත් සතුටින් ජීවත්වුනාලු. මේ විලේ බාරකාරයා වෙලා හිටියෙ මැඬියෙක්. බාරකාරයා උනාම ඉතිං ගරු නම්බු දීල කතාකරන්න එපැයි කියල කවුරුත් මැඬිතුමා කියල තමයි කතාකරේ…

ඔය විලේ එක හිතුවක්කාර ඉස්ගෙඩියෙක් උන්නලූ. එකෙක් නෙවෙයි ගොඩක් උන් උන්නාලූ. ඒ උනාට මේ කතාව ඒ ඉස්ගෙඩියා කරපු නොසන්ඩාල වැඩක් නිසා සිද්ද උන අලකලංචියක් ගැනයි ඔන්න.

එකෝමත් එක දවසක අනේ මේ ඉස්ගෙඩියට මොකද්දෝ අසාධාරණයක් වෙලා.

මැඬියො, ගෙම්බෝ, ඉස්ගෙඩියෝ මේ ඔක්කොම ඉතිං පොඩ්ඩක් මෝඩයි නේ.. ඒ නිසා ඔය අසාධාරණේ විසඳගන්න කියලා ඌ කරපු වැඩේ නෙළුම් දණ්ඩක් උඩට ගිහින් හිටගත්තු එකලු. ඌ නෙළුම් දණ්ඩ උඩටම ගිහින් ඉඳගෙන කිව්වලු මට මැඬිතුමා හරි මැඬියුවතුමා හරි හම්බුවෙන්න ඕන එයාලාට තමයි මට වෙච්ච අසාධාරනේ විසඳලා දෙන්න පුලුවන්නේ කියලා… දැං ඒ අහල පහල හිටපු ඉස්ගෙඩියෝ, කීටයෝ සහ ගෙම්බො වට වෙලා බලං ඉන්නවලු මේකා මූ කන්න බොන්නවත් නැතුව නෙළුම් දණ්ඩ උඩ ඉඳං දැං වැටෙයි දැං වැටෙයි කියලා.. රෑ වෙනකනුත් බලාන හිටියලු මූ වැටුනේ නෑලු. ඒ දවස් වල තිබුනා දෙහියුෂ මිශ්‍ර කරලා හදාපු පස් වර්ගයක් ලෙමන් පස් කියලා… මූ ඕවා ටිකකුත් සාක්කුවේ දාගේන් ගිහිං ඒ ලෙමන් පස් කකා තමයි ඉඳලා තියෙන්නේ නෙළුම් දණ්ඩ උඩට වෙලා..

කොහොම හරි ඉතිං කට්ටිය මහන්සිවෙලා රෑ වෙන්න කලියෙන් මේකාව බිමට බස්සගත්තලූ.. හොඳ හොඳ දේවල් වෙන්න පටං ගත්තේ ඊට පස්සේලූ.

දිගටම කියවන්න

පබා සහ බබා


පබාලාට මෙන්ම බබාලාටත් වැඩිපුරම සිදුවන්නේ අසාධාරණයන්ය. පබාලාට ඕනෑ හැටියට ටෙලියක් කරගෙන ඉන්නට නැති අතර බබාලාට ඕනෑ හැටියට වැලි සෙල්ලං කරන්න බලයේ සිටිනා උදවිය ඉඩ දෙන්නේ නැත.

පබා සහ බබා කවදත් කළේ එයට විරුද්ධව නැඟීසිටීමය. වැලි ගොඩින් උස්සා ගෙට දැමූ සැනින් බබා කවදත් දන්නා විදියට ඇඬීමෙන් අසාධාරණයට විරුද්ධව නැගී සිටී. ටෙලියෙන් එළියට දැමූ සැනින් පබා කරන්නේ කවදත් දන්නා රඟපෑමෙන් නැගී සිටීමය. (තිරයේ රඟපෑම් නොවේ).

පබා වැඩියෙන්ම දන්නවා කියන්නේ රඟපාන්නය. ( එහෙම කියල කියමුකෝ දැනට ) බබාලා වැඩිපුරම දන්නේ අඬන්නටය. ඒ කෙසේ වුවත් දෙන්නාම ඒ වැඩ දෙකම හරියටම කරගන්න දන්නේද නැති බව හැමෝම දන්නේය.

කරන්නගිය වැඩේ බැරිවුනා කියා දෙන්නාම නිකන් ඉන්නේද නැත. පබා සහ බබා දෙන්නාම බැරිදේවල් පුලුවන් හැටියට කරන්න උත්සාහ කරති. පබාලා මෙන්ම බබාලාත් බැරි දේ කරන්න ගොස් කවදත් හත්පලේ ගා ගනිති.

ඒ නමුත්, වැඩේ හරියට කරගන්න බැරි උනාට පබාට සහ බබාට බලං ඉන්න උදවියගේ අනුකම්පාව නිතරම ලැබේ. පබා සහ බබාත් අපිට බබා පාට් දාන්නේ මේ අනුකම්පාව ගන්නය.

පබාට මෙන්ම බබාටද බැරි දේ හෙලිවූ පසුවත් කිසි අවුලක් නැත. දෙන්නාටම එක හිනාවකින් ගොඩ යා හැකිය. පබා මෙන්ම බබාත් හිනාවෙන් ඉනාවන් කවන සූත්තරය දැන සිටී.

පබාත් බබාත් ඉතාම ආස පොඩි පොඩි ලොසින්ජර රහ බලන්නය. පොඩි ලොසින්ජරයක් පෙන්වා පබාට කියා සහ බබාට කියා ඕනෑම වැඩක් කරගත හැකිය..

මේ බව දන්නා ලොකු අංකල්ලා ඉස්සෙල්ලාම කරන්නේ පබාලාව සහ බබාලාව අනුන්ට බීඩි ගේන්න කඩේ යැවීමය..

කඩේට ගොස් බීඩිය ගෙනාවිට අංකල්ට තියෙන්නේ ලොසින්ජරයක් පෙන්නා බීඩිය ගන්න විතරය.

කුඩු විකිණීම සහ ජන්දය විකිණීම..


ගමේ රටේ අසාමාන්‍ය ලෙස දියුණුවූ මිනිස්සු දෙස බලා සමහරු කියන්නේ  ‘ඕකා කුඩු විකුනලද කොහෙද ඔච්චර සල්ලි හොයන්නේ ‘ කියලායි. රටේ එක එක ප්‍රදේශවල ඡ්න්ද කාලෙට, කොහේ බැලුවත් උගේම මූන පේන ලෙසට පෝස්ටර් අලවන බලවත්තු දැක මිනිස්සු කියන්නේද එවැනි කතාවකි. ඔවුන්ගේ දේපළ ගැන කවුරුත් නොසොයති. එලෙස වියදම් කරන්නට කෝටි ප්‍රකෝටි ගනන් හොයන්නේ ව්‍යාපාර කිරීමෙන් කියා අපි සැවොම විශ්වාස කරවනු ලැබේ. උන් ඡන්දේ ඉල්ලන්න එන්නේ උන්ගේ ඒ ‘ ව්‍යාපාර ‘ වලට අවශ්‍යය රැකවරණය ගැනීමටය කියන එක දැන දැනත්, ඒ මොණර කොල වලට වශීවී අපේ අය කතිර ගසා උන් උඩින්ම දිනවති. වියදම් කරපු ප්‍රමාණය අනුව උන් මන්ත්‍රීන්, මැති ඇමතිවරු වෙති. වියදම් කර දිනන හැමෝම කුඩුකාරයෝ නොවෙති. නමුත් කුඩුකාර හැමෝම වියදම් කර දිනති. ඔවුන්ට ඡන්දෙට මාකට් කරන්නට ඇත්තේ සල්ලි පමණය.

උන් ලොකු තැන්වල ඉන්න නිසා උන්ට වෙඩි වදින්නේද නැත. වැඩේ නෝන්ඩි වේගෙන එද්දී පොඩි ඉත්තෙක්ව චකබ්ලාස් කිරීම පමණක් සෑහේය.

කුඩු ජාවාරම් කාරයෙක් හසුවිය. පැනයන්නට තනද්දී වෙඩි තබා මියගියේය. කොහෙදී හෝ එය මීට පෙර ඇසී තිබුනා මතකය. මේ සියල්ල පරණ තැටියකි. නමුත් එකෙක් හෝ කම්මුතු වූ එකට මම පුද්ගලිකව කැමතිවෙමි.

ප්‍රශ්නය එය නොවේ. හැමදාමත් අහුවන්නේ මේ ලපටි සිපයි කුඩු ජාවරම් කාරයෝය. වෙඩි වදින්නේද උන්ටය. උන් සතුව තිබූවායැයි කියන මහා දේපල කන්දරා මාධ්‍ය ඔස්සේ පෙන්නයි. ඇත්ත කතාව හැමදාමත් ඇතුලේ ය.

ඕල්කට් සතුව තිබූ සැම යස ඉසුරක්ම අද පුස්සක් වී ඇත. දරු පවුලට කුඩු කාරයෙක්ගේ දරුවෝ යැයි නම්බුනාමයක් වැදී ඇත. ඔවුන් නොදන්නවා වුවද, මේ ගේම් එකේ පිටිපස්සේ ඉන්න ලොකු ලොක්කන්ට වන්නේ ද එයයි.

නිදුකින් සව් ඉසුරු – නො මඳ ලැබෙතත් නුවණ ඇතියෝ
අනුන් නසා ලබන – ඉසුරු වසුරු අයුරු සලකත්

බුද්ධිමත් අය ඉතා පහසුවෙන් සියලු සම්පත් ළඟා කරති. එහෙත් අනුන් වනසා ලබන සම්පත් අශූචී සේ සලකත් [ලෝකෝපකාරය]

මැරිච්ච එකා කුඩු ජාවාරම් කරුවෙකි. ඌ කරන්නේ ඌට දෙන කුඩු ලංකාව පුරා බෙදාහැරීමයි. මේ බෙදාහරින්නා අල්ලා මරාදැමූ පසු හැමදාම ප්‍රශ්නය විසඳේ. ඌට බෙදාහරින්නට කුඩු ගෙනැවිත් දෙන්නේ කවුද කියන වග පොලිසියට ප්‍රශ්නයක් නැත. අත්තඩංගුවට ගත්තු එකාගෙන් උඹට බෙදාහරින්න කුඩු දුන්නේ කවුද කියා අහන්නත් පෙරම ඌ පැන යන්නට උත්සාහ කරන්නේ කාගේ හෝ පිනකට විය යුතුය.

මෙවැනි ළපටියෙක් චුත කෙරූ පමණින් කුඩු ව්‍යාපාරය නවතින්නේ නැත. ඕල්-කට් ගේ තැන ගන්නට තව තව අයියලා එනු ඇත. අවශ්‍යව ඇත්තේ වෙස්මූණු දමා සිටින ‘ගෝඩ් ෆාදර්’ ලා හොයාගැනීමය.

වරද අප අතේය…අපි ඡන්දය මුදලට විකුණා උන්ව පාර්ලිමෙන්තු, පළාත් සභා, ප්‍රාදේශීය සභා වලට පත්කරන තාක් කල් එක කළ නොහැක. අපේ සිරි ලංකාවේ බලය ඇත්තා කවදාවත් චෝදනා වලට වැරදිකරු වන්නේ නැත. අප එය දැනගෙන ජීවත්විය යුතුය.

මතට තිත තියන්නට නම්, තිතට කතිරේ ගහන්නත් පුරුදුවිය යුතුය.

වටිනා පින්තූරය ඉස්සුවේ : http://www.turtleisland.org/photo/drugsigns1.jpg

පොලීසිය පැත්තේ යනවනම්,


අපිට නොයෙකුත් වැඩ වලට පොලීසියට යන්න වෙනවා නේ. වැරැද්දක් කරලා මාට්ටු වුනොත් හරි, කාගේ හරි වැරැද්දකට ලක් වුනොත් හරි, මොකක් හරි අසාධාරණයක් උනොත් හරි විතරක් නෙවෙයි, හොඳ චරිතයක් තියෙනවා කියල සහතිකයක් ගන්නත් යන්න වෙන්නේ පොලීසියටම තමයි. ඉස්සර කාලේ නම් මිනිස්සු බොහොම උජාරුවෙන් තමයි කිව්වේ පොලීසියක් අහලකින් වත් ගිහින් නෑ කියලා..

මමත් පොලීසියට නම් ගිහින් තියෙනවා.. ඒ අර සයිබර් යායේ කෙහෙල් කොටුවේ චූටි මහත්තයා ගියා වගේ චරිත සහතිකයක්, නැත්නම් පොලිස් රිපෝට් එකක් ගන්න.. චූටි මහත්තයා තරම් නස්පැත්තියක් නම් කරගත්තේ නැහැ.. ඒ උනාට ඕක ගන්න යන එක මාර කට්ටක්.. හොඳ චරිතයක් තියාගන්නවට වඩා අමාරුයි පොලිස් රිපෝට් එකක් ගන්න… දැන් නම් ඒවා වෙනස් වෙලාද දන්නේ නැහැ. ඒ දවස් වල නම් පොලිස් රිපෝට් එකක් ගන්න ගියත්, රාළහාමිලා ට අපිව පෙනුනේ නිකන් වැරදි කාරයෝ විදිහටමයි.. බලන්න එපෑ සැර..

ඒක නෙවෙයි..දැන් ඉස්සර වගේ නිවිහැනහිල්ලේ පොලීසී පැත්තේ යන්න බැහැ.. ඒක ජීවිතයත් මරණයත් අතර සටනක් වෙලානේ..

ළඟදි දවසක පොලීසියට එහෙම යන්න ලෑස්තිවෙන කට්ටියට පාවිච්චි කරන්න කියලම හදපු පිරික්සුම් ලැයිස්තුවක් එහෙමත් නැත්නම් චෙක්ලිස්ට් එකක් හැදීම යුගයේ අවශ්‍යතාවක් කියල හිතලාම හදපු පොකට් සයිස් ලැයිස්තුවක් තමයි පහත තියෙන්නේ…

– – – – –

1. අන්තිම කැමති පත්‍රය ලියාතබන්න.
2. දන්නා හඳුනන මල් ශාලාවකට තමන්ගේ අවමංගල්‍යය කටයුතු සඳහා පෙර ගෙවීමක් කරන්න.
3. හොඳ කැඩුම් බිඳුම් වෙඳදුරෙක්ගෙන් තුන්ඩුවක් ලබාගන්න.
4. පොලිසියේදී හදවත් රෝග ඇති නොවීමට එක්කරං යන්න දොස්තර කෙනෙක් හොයාගන්න.
5. තෙල් බේත්, බාම් ටිකක්., පත්තු බැඳීමට අවශ්‍ය්ය දෑ..
6. පත අට එකට සිඳවූ කොත්තමල්ලි, වෙනිවැල් ගැට අඩංගු පස් පංගුව පැකට් කීපයක්.

ඉහත සියල්ල නැතුව පොලීසියට යන්නේ නම්, ඔබට කළ හැකි තවත් එකම එක දෙයක් තිබේ…

පොලිස් සේවය යහමඟට ගැනීම්ට ආදර්ශයක් වීමට ස්ව කැමැත්තෙන්ම ගස් බැඳ ගැනීමට කැමති පොලිස් රාළහාමි කෙනෙක් හොයාගන්න..