Category Archives: පරිසරය සුරකිමු

වඳුරෝ සහ ගස්ලබු යුෂ …


ඩෙංගු රෝගය ගැන හැම තැනම කතා වෙනවානේ දැන්. ලංකාවේ ප්‍රශ්නයක් ඇතිවෙලා ඒක උපරිමයටම යන්න ඕන ඒකට හරියන පිළියමක් යොදන්න. සුනාමිය ඇවිත් ඔක්කොම කාබාසිනියා කරලා දානකන් අනතුරු ඇඟවීමේ පද්ධතියක් තිබුනේ නෑ.. ඒකනම් කමක් නෑ කියමුකෝ, මොකද හදිසි ආපදාවක් නේ. ඒත් ඩෙංගු එහෙමද? ඒක වළක්වන්න කිසිදෙයක් කළ පාටක් නම් පේන්න නැහැ…

කොහොම හරි  ‘කට කහන කතා‘ ලියන අපේ ‘ දුමී ‘ නම් ඩෙංගු උවදුරෙන් මිදෙන්න යස පිළියමක් ගැන ලියල තිබුනා.. ඒ ලිපිය කියවන්න බැරි උන අය ඔතනින් ගිහින් කියවන්න… එදාම වගේ ලංකාවේ ප්‍රසිද්ධ වෙබ් අඩවි වලත් ඒ ගැන සටහන් කරලා තිබ්බා..

ඩෙංගු සුව කරන්න පුලුවන් මේ ගස්ලබු කොල යුෂ පානය ගැන වැඩිදෙනා දැනුවත් කරන්න කියලා අපේ බ්ලොග් ලියන සහෘදයෝ දුමී ගේ අර ලියමන කොපි කරලා තමන්ගේ බ්ලොග් එකෙ දාගෙන තිබුනා.. මොකද එක්කෙනෙක් හරි ඒක කියවලා හොඳ සුවය ලබනවානම් ඒකත් මසුරං වටින නිසා… මේ වගේ බ්ලොග් වලින් කරන්න පුලුවන් සමාජ සේවය විශාලයි…ඒ වගේම බ්ලොග් කියැවීමේන් ලැබෙන දැනුමත් විශාලයි… බ්ලොග් ලියන්න පටං අරං තාම වැඩි කාලයක් නැති වුනාට මම සෑහෙන කාලෙක ඉඳලා බ්ලොග් කියවලා හොඳ තෘප්තියක් ලැබුවා…

ඒක නෙවෙයි….කියන්න ආපු දේ නෙවෙයි ලියැවුනේ…

මම අද මේ පැත්තේ ආවේ මේ ඩෙංගු ගැන කතාවක් ලියන්න… වෙන දේවල් තමයි ලියැවුනේ…

මේක අද අපේ කන්තෝරුවේ වෙච්ච කතාවක්… අපේ කට්ටියත් ඉතින් දවල්ට කෑම ගන්න ගමන් ඩෙංගු සුව කරන්න පුලුවන් කියන මේ ගස්ලබු යුෂ ප්‍රතිකාරය ගැන කතාකර කර හිටියා..

කවුද ඇහුවා ‘ ඉතිං ගස්ලබු කොල යුෂ මාර තිත්ත ඇතිනේ කොහොමද බොන්නේ?’ කියලා.. ඒකට කට්ටිය තම තමන්ගේ අය්ඩියාස් දෙන අතර තුරේ තවත් කවුද කිව්වා ‘වඳුරෝ නම් ගස්ලබු කොල කනවා’ කියලා…

මමත් ඉතිං දන්නේ නැති නිසා ඇහුවා ඇත්තටම වඳුරෝ ගස්ලබු කොල කනවද කියලා..

මොකද ගස්ලබු කොල කන සතෙක් මම නම් තාම දැකලා නැති නිසා.

වඳුරෝ ගස්ලබු කොල කන නිසා වඳුරන්ට නම් ඩෙංගු හැදෙන්නේ නෑ කියල තමයි කට්ටියගේ තර්කය.

ඒත් එක්කම අපේ කසුන් මහත්තයා පැනලා කිව්වා ‘ ඒක තමයි…ඇත්ත වෙන්න ඇති… මම බෙහෙත් ගන්න ගියපු එක වෙලාවකවත් බෙහෙත් ගන්න ආපු වඳුරෙක් නම් දැකල නෑ…’ කියලා…

මේක අහපු ගමන් වැඩිය කතා බහ නොකරන අනුර අයියා පැනලා කියපි, ‘ ඇයි කසුන් මෙච්චර කල් බෙහෙත් ගන්න ගියේ සත්තුන්ට බෙහෙත් දෙන තැනකට ද..’ කියලා..

දීපංකො උත්තර…

ප/ලි: මමත් සූටි කාලේ තියෙන විසේට සබං බෝල පුම්බන්න ගිහින් ගේම දීල තියෙන්නේ රටක් වටිනා අවුසදේකට නේද? අපේ ගෙදරින් ඒ වැරැද්දට මට බරපතල ගුටි සහිතව සිර දඩුවමක් දුන්නේ මේක මේ තරං වටිනා අවුසදයක් කියල දැනං හිටපු නිසාද මන්දා….

Advertisements

හරිත ඉලෙක්ටොනික් බඩු…


පරිසරය සුරකින්න කැප වෙලා ඉන්න ග්‍රීන්පීස් සංවිධානය මේ ලඟදි අපූරු වාර්තාවක් ගෙනාවා. ලොකයේ ප්‍රමුඛ ඉලෙක්ටොනික් භාණ්ඩ නිශ්පාදකයන් අතරින් වඩාත් හරිත එහෙමත් නැත්නම් වඩාත් පරිසර හිතකාමී ඉලෙක්ටොනික් නිශ්පාදකයා කවුද කියල බලන්න වාර්තාවක් සකස්කළා.

මයික්‍රොසොෆ්ට්, සෝනි, නොකියා, ඇපල්, ඩෙල්, එච්.පී වගේ සුපතල සමාගම් වල නිශ්පාදන කටයුතු අධ්‍යයනය කෙරුනා… ඒ හැම සමාගමකම නිශ්පාදන වල සහ ක්‍රියාදාමයන් හි, රසායනික ද්‍රව්‍ය කළමනාකරණය, ප්‍රතිචක්‍රීකරණය, කාබන් දහනය අඩු කිරීම, හරිතාගාර වායු මුදාහැරීම වගේ කරුනු විශාල ප්‍රමාණයක් සළකා බැලුනා…

අවාසනාවකට වගේ කවුරුවත් ලකුණු 10ම ගන්න බැරිවුනත්, සමහර සමාගම් විවිධ අංශවලින් ඉදිරියෙන් ඉන්න බව පෙනුනා. මේ අතරින් නොකියා සහ සෝනි එරික්සන් යන සමාගම් ප්‍රමුඛයි.

ඒ වාර්තාවෙ ප්‍රතිඵලය තමයි පහතින් අමුනලා තියෙන පින්තූරෙ තියෙන්නේ. ඒක උපුටල ගත්තෙත් ඒ වාර්තාවෙන්ම තමයි.

සම්පූර්ණ වාර්තාව කියවන්න ඕන අය මෙතන කොටල බලන්න….

කොහොම නමුත් මේ නිසා වඩා හරිත ඉලෙක්ටොනික් ගන්න පාරිභෝගිකයා පෙළඹෙයි කියල තමයි ග්‍රීන්පීස් සංවිධානය විශ්වාස කරන්නේ…

හිතන්න යමක් : ගුගල් සෙවුමක් නිසා සිදුවන පරිසර හානිය? !!!


ඔබේ ගුගල් සෙවුමක් නිසා සිදුවන පරිසර හානියක් ගැන නිකමට වත් හිතුනද? එහෙම දෙයක් ගැන අපි විහිලුවට වත් හිතන්නේ නැති බව ඇත්ත. මේක ඇහුවම හිතෙනවා ඇති “මළ කෙලියයි… ඔය කියන්න යන්නේ ගුගල් පාවිච්ච්කරන්නත් එපා කියලද” කියලා.

පරිසර හානිය කෙසේ වෙතත්, ගුගල් සෙවුමක් නිසාම මට ලැබුන මේ තොරතුර බෙදාගන්න ඕන කියල හිතුනා.

එක්සත් රාජධානියේ The Times පුවත් පතේ තිබ්බ ලිපියකින් ගුගල් කිරීම ඇතුලු සාමාන්‍ය පරිගනක භාවිතය පරිසර හිතකාමී නැහැ කියල දැඩි ලෙස විවෙචනය කර තිබුනා. Havard විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයෙක් ගුගල් කිරීම නිසා වන පරිසර හානිය ගැන කරපු පරීක්ශනයක ( වෙන වැඩක් නැති කමට කරපු එකක්ද කොහෙද )ප්‍රතිඵලයක් විදියට සොයාගෙන තිබෙන්නේ සාමාන්‍ය ගුගල් සෙවුමක් නිසා කාබන් ග්‍රෑම් 7 පමන පරිසරයට නිකුත්වෙනවා කියලයි. මේ දළ අගයට ඔවුන් පැමිණ තිබෙන්නෙ ගුගල් සෙවුම පටන්ගන්නා තැන සිට එතුලින් තමන්ට අවශ්‍ය දෙය සොයාගැනීම දක්වා පරිසරයට නිකුත්කරන ග්‍රෑම් 1 සිට ග්‍රෑම් 10 දක්වා වන අගය සලකා බලලයි. ඔවුන් කියන විදියට මේ අගය වතුර කේතලයක් උණුකිරීමෙන් නිකුත්වන කාබන් ප්‍රමාණය වගේ දෙගුනයක් කියලයි! මෙයට ගොඩාක්ම වගකිව යුත්තේ ගුගල් ආයතනය බවයි ඔවුන් කියන්නේ. ඒ වගේම ගුගල් ආයතනයේ පරිසර හිතකාමීබව ප්‍රශ්නකෙරුන පළවෙනිවතාවත් මෙය නෙවෙයි.

මේ ගැන ගුගල් බ්ලොග් එකෙන් උත්තර බඳින ගුගල් සමාගම නම් කියන්නේ ඔවුන්ගේ සාමාන්‍ය ගුගල් සෙවුමක් සඳහා වැයවන්නේ කිලෝජූල් 1 (කිලෝවොට් පැය 0.0003) පමන ශක්තියක් කියලයි. මේ අගය කාබන් ග්‍රෑම් 0.2 වෙනවා. සාමාන්‍ය පුවත්පතක් සඳහා වැය වෙන කාබන් ප්‍රමානය ගුගල් සෙවුම් 850කට සමාන බවයි ගුගල් නම් කියන්නේ.

කොහොම උනත් තමන්ගෙන් වෙන පරිසර හානිය අඩු කරන්න විවිධ විදියට ගුගල් උත්සාහ කරන ගමන් විදුලි ශක්ති වෙළදාමටත් අතගහලා…

ළඟදී අමෙරිකාවෙ විදුලි ශක්ති වෙළදාම් කරන්න බලපත්‍රයත් ගුගල් වලට ලැබුනා. ඒ වෙළදාමට සමගාමීව Google PowerMeter කියලා විදුලිය ශක්තිය නිරීක්ශන මෘදුකාංගයක් (Energry Usage Monitoring Software) ගුගල් එළිදැක්වුවා…

අත්‍යාවශ්‍ය නම් පමණක් ප්‍රින්ට් කරමු.


ඔබේ කන්තෝරු කාමරය හරි ඔබ දැන් ඉන්න තැන ගැන පොඩ්ඩක් හිතන්න. කඩදාසි වලින් හදපු කොපමණ දේවල් තිබේද? වැඩිය දුර යන්නේ නැතුව හිතුවොත්, අපි දිනකට කොපමන කඩදාසි ප්‍රමාණයක් භාවිතා කරනවාද? උදෑසන පත්තරය, ටොයිලට් පේපර්, වතුර බෝතලයේ ලේබල් එක, බස් ටිකට් එක, සල්ලි, ටිෂු, කියවන පොත, කඩදාසි බෑග්, රිසිට්, කෑම එක ඔතාගෙන ආ කඩදාසිය, … මේ වගේ ලොකු කඩදාසි ප්‍රමාණයක් අපි දිනකට භාවිතා කරනවා.

කඩදාසි කරමාන්තය ලොව වැඩිම බලශ්තිය භාවිත කරන කර්මාන්ත අතරින් ඉන්නෙ 5වැනි තැන. කඩදාසි කරමාන්තය තමයි ලොව වැඩියෙන්ම වතුර භාවිතා කරන කර්මාන්තය. කඩදාසි ටොන් 1 ක් නිපදවන්න වතුර ගැලුම් 2000ත් 10,000ත් අතර ප්‍රමාණයක් වැය වෙනවා. මේ විශාල ජල පරිභෝජනය නිසා පරිසර අර්බුද රැසක් හටගෙන තිබෙනවා. උදාහරනයක් වශයෙන් මැද පෙරදිගට කඩදාසි නිපදවන ලෙබනනයේ ඇති ගංගා සියල්ලකම පාහේ ජල මට්ටම අඩුවී සිඳීයෑමේ තර්ජනයට ලක්වී තිබෙනවා. ඒ වගේම දළ වශයෙන් 10ත් 17ත් අතර අතර ගස් ප්‍රමාණයක් අවශ්‍යවනවා කඩදාසි ටොන් 1ක් නිපදවීමට. කඩදාසි කර්මාන්තය නිසා සිදුවන පරිසර හානිය වැඩි නිසා කඩදාසි අඩුවෙන් භාවිතා කරන්න අප සියලුදෙනා පුරුදුවිය යුතුයි.

ඔබට යමක් අත්‍යාවශ්‍ය නම් පමණක් ප්‍රින්ට් කරන්න. අපේ ඔෆිස් එකේ ගොඩාක් අය පුරුදු වෙලා ඉන්නවා තමන්ට එන ඊ-මේල් සියල්ල ප්‍රින්ට් කරල ගොණු කරල තියන්න. ඒක දැකල තමයි මේක ලියන්න ඕන කියල හිතුනෙ. එය ඇත්තෙන්ම කළයුතු දෙයක් නෙවෙයි. ඔබට අවශ්‍ය වෙලාවක ගන්න ඊ-මේල් එක පරිගණකයේ තිබෙනවා. ප්‍රින්ට් කරලා ගොණු කරනවාට වඩා තමන්ගේ ඊ-මේල් එක ඇතුලෙ ගොණු හදාගෙන ඊ-මේල් වර්ගකිරීමෙන් ප්‍රින්ට් කිරීමෙන් වළකින්න පුලුවන්.

ඒ වගේම ටෙස්ට්-ප්‍රින්ට් ගන්න එකත් හැකිපමණින් අඩුකරන්න පුරුදුවීම ඉතාවැදගත්. හරිහැටියට “Print-Preview” function එක භාවිතා කරන්න දැනගෙන සිටීමෙන් ටෙස්ට්-ප්‍රින්ට් වලට නිකරුනේ කඩදාසි නාස්තිකිරීමෙන් වළකින්න පුලුවන්.

ඒ වගේම ගොඩාක් දෙනා කරන දෙයක් තමයි තමන්ගාව soft-copy වශයෙන් තිබෙන පොත් ප්‍රින්ට් කර කියැවීම. මෙයත් හැකි තරම් අවම කළයුතු දෙයක්. ඔබට හැකිනම් ඒවා පරිගණකයේම කියවන්න පුරුදුවෙන්න.

අප සියලු දෙනාටම කඩදාසි අත්‍යාවශ්‍යයි, එක ලෝකයේ ස්වභාවය. මොකද රාජකාරී වශයෙන් වලංගු වන්නේ ලිඛිත සාක්ෂි (Documented-proof) නිසා. නමුත් කඩදාසි අවම වශයෙන් භාවිතාකිරීමෙන් පරිසරය සුරකින්න එක්වෙන්න.

විදුලිය පිරිමැසීම


විදුලිය පිරිමැසීම ගැන ආයෙත් කතා කරන්න හිතුනා. මොකද ඒක ඉතාම කාලීන මාතෘකාවක් නිසා සහ මම කලින් ලිව්ව සටහනට හොඳ ප්‍රතිචාර ලැබුන නිසා. 😀

විදුලිය සුරැකීම සොබා දහම සුරැකීමකි. ගොඩක් දෙනා මේක අහන්න කැමති නැති වෙන්න පුලුවන්, ඒත් අපි යම්කිසි විදුලි උපාංගයක් ප්ලග් කරන හැම වෙලාවෙම පරිසර දූෂනයක් සිදුවෙනවා. අපේ ගෙදර ප්ලග් එක හොද පිරිසිදුවට තිබුනට, ඒ හානිය වෙන්නෙ අපිට විදුලිය දෙන විදුලි බලාගාරයේ. ඉතින් එහෙම කියලා ඒවා පාවිච්චි නොකර ඉන්න බැරි බව ඇත්ත. නමුත් ප්‍රශ්නය තියෙන්නෙ මේ සම්පත් සදාකාලිකව අපිට තියෙන්නෙ නැතිවීම තුලයි. ඒ නිසා විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චි කිරීම අපේ වගකීමක් වෙනවා.

පරිසර හානිය ගැන කතාකරාම හැමෝම කියන්නෙ එක වෙන්නෙ පාරෙ දුවන වාහන වලින් සහ කර්මාන්ත වලින් කියල. නමුත් ඇත්තටම බැලුවොත්, සාමාන්‍ය වාහනයක් සිදු කරනවාට වඩා වැඩි පරිසර හානියක් සාමාන්‍ය නිවසකින් සිදුවෙනවා.විදුලිය සුරැකීම සහ ගොලීය උණුසුම්වීම ගැන මුලින්ම කත කරපු 80 දශකයේ හිටපු විද්‍යාඥයෙක් වන James Hansen මහත්මයා තමඉ මේගැන කියලා තිබ්බෙ. මේ දත්ත ලොකයේ සාමාන්‍ය අගයක් නිසා ඒ අයුරින්ම ලංකාවට ඇත්ත නොවෙන්න පුලුවන්. මොකද ලංකාවෙ අපි වායුසමීකරන සහ හීටර් පාවිච්චි නොඅකරන නිසා. නමුත් ඒක ආසන්න අගයක් වෙනබවට කිසි සැකයක් නැහැ. ඒ නිසා විදුලිය සුරැකීමෙන් සුරැකෙන්නෙ ඔබේ පොකට් එක විතරක් නෙවෙයි කියන එක තේරුම්ගැනීම තමයි වැදගත්වෙන්නෙ.

සූර්ය්‍ය බලශක්තිය විසඳුමක්ද? ඛනිජ ඉන්ධන වල ආයුකාලය ඉතා ඉක්මනින් අඩුවේගෙනයන අතර ඒ නිසාම න්‍යෂ්ටික බලශක්තිය යොදාගන්න මිනිසා උනන්දුවෙලා තියෙනවා. ඉන්ධන අර්බුදයට සූර්ය්‍ය බලශක්තිය ඉතා හොඳ විසඳුමක්. නමුත් ප්‍රශ්නය තියෙන්නෙ ඒ සඳහා දැරියයුතු මූලික වියදම ඉතා වැඩි වීමයි. කොහොමටත් ගෘහස්ත විදුලි පරිභෝජනය අඩු කරන්න සූර්ය්‍ය බලශක්තිය යොදාගැනීම ප්‍රායෝගික නැහැ තවම ලංකාව වගෙ රටකට. (උණු වතුර සඳහා සූර්ය්‍ය බලය යොදාගැනීම වෙනත් ආකාරයකින් සූර්ය්‍ය ශක්තිය පරිවර්තනය කරන ක්‍රියාවක් නිසා මෙහිදී ගනන් නොගැනේ) ඒ නිසා ගෘහස්ත විදුලි පරිභෝජනය අඩු කරන්න අඩු කරන්න කළහැකි හොඳම දෙය ජනතාව දැනුවත්කිරීම බවයි මගේ නම් අදහස.

ඇත්තටම හිතල බැලුවොත් විදුලිය සුරැකීම ඉතා ලෙහෙසිදෙයක්. වෙලා තියෙන්නෙ උවමනාවක් නැතිකම, කම්මැලිවීම සහ අනවබෝධයයි.

දැන් අපි බලමු කොහොමද විදුලිය පරිභෝජනය අඩු කරගන්නෙ කියලා…

වතුර කෝප්පයක් උණු කරගන්න විදුලි කේතලය භාවිතාකිරීමද, microwave එක භාවිතා කිරීමද වඩා පිරිමැසුම්දායක වෙන්නෙ කියලා හිතනවාට වඩා වඩා වැදගත් ගෙදරක ලොකුම පාරිභෝජකයා හොයාගන්න එක.

ගෙදරක ලොකුම විදුලි පරිභොජනය කරන්නේ මොනවාද?
1. වායුසමීකරණ යන්ත්‍ර
2. Heaters.
3. Domestic Water Heaters
4. Electric Clothes Dryer
5. විදුලි ලාම්පු ( ඔබ CFL ලාම්පු භාවිතා නොකරනවානම්)
6. ශීතකරනය( 2001 ට පෙර නිශ්පාදිත නම්)

කොහොමද ඉතිරිකරගන්නේ?

1. නිවසේ වායුසමීකරණ සහ හීටර් යන්ත්‍ර භාවිතා කරන්නේ නම් එය එක් කාමරයකට පමනක් සීමකරන්න උත්සාහ කරන්න. සමහර රටවල් වල පවතින කාලගුණික තත්වයන් නිසා මෙය කරන්නට අසීරු දෙයක් වෙන්න පුලුවන්. නමුත් උත්සාහ කිරීම වැදගත්.
2. වායුසමීකරණ වෙනුවට හැකිනම් විදුලිපංකා භාවිතාකරන්න.
3. භාවිතානොකරන හැම විදුලි පහනක්ම නිවාදමන්න.
4. ඔබ රෙදිසෝදන යන්ත්‍රයක් භාවිතා කරනවා නම් උණු වතුරෙන් රෙදි සෝදනවා වෙනුවට ඇල්වතුරෙන් සෝදන්න.
5. භාවිතා නොකරන වේලාවට ඔබේ පරිගණකය “ස්ලීප්” කරන්න. CRT මොනිටරය නිවා දමන්න.
6. රෙදි වේලීම සඳහා විදුලිය භාවිතාකිරීමෙන් වලකින්න.
7. හැකි පමනින් CFළ් විදුලි ලාම්පු භාවිතා කරන්න.
8. ඔබේ රෙදිසොදන යන්ත්‍රය Top-Loading එකක් නම්, එය Front-Loading එකකට මාරු කරන්න
9. ඔබේ ශීතකරනය 2001 ට පෙර නිශ්පාදිත එකක් නම්, එය මාරු කරන්න.
10. කිසියම් විදුලි උපකරනයක් ගන්නා විට එහි විදුලි පරිභෝජයන ගැන සලකා බලන්න. සැමවිටම අඩු විදුලිධාරිතාවක් ඇති උපකරන භාවිතාකරන්න.

මෙහි ලියා ඇති සමහර උපදෙස් ඉතා ලෙහෙසියෙන් කල හැකිවුවත් සමහර ඒවා එක්වරම කලනොහැකි ඒවා වන්නට පුලුවන්. උදාහරණයක් විදියට ශීතකරනය මාරු කිරීම වගේ දේවල්. නමුත් කෙනෙක් අලුතින් උපාංගයක් ගන්න යනවානම් වෙය වැදගත් වේවි.

මේ ගැනත් හිතල බලලා අපි අප නිසා ලෝකයට ඇතිවී ඇති බර පොඩ්ඩක් අඩු කරමු.