Category Archives: ලංකාව ගැන

ඒ තිරිසනා මරා දමා අදට හරියටම වසර දෙකකි…


ඒ දිනවල අපි කොළඹ ගියේ හිතේ ඇති අවිනිශ්චිත බවත් දරාගෙනය. එකල පාසැල් සිසුවන් වූ අපට 1993 ජනාධිපති ප්‍රේමදාස ඝාතනයත් සමඟ වඩාත් දැඩිවූ බෝම්බ රැල්ල මහා බලපෑමක් ඇතිකලා මතකය. 1996 මහ බැංකු බෝම්බය පිපිරී ගියේ විශාල කම්පනයක් සමඟය. පැය බාගයක් යනවිට කොළඹ පාසැල් පිරී ගියේ ළමයින් ගන්නට ආ දෙමාපියන්ගෙනි. එදා පාර දිගට තිබූ තදබදය සහ මිනිස්සුන්ගේ හිත්වල තිබූ භීතිය තවමත් මතකය.

ඉන්පසුව , නොයෙක් පාසැල් වලට බෝම්බ තබන බව අසා, කීප විටක්ම දෙමාපියන් පාසැල් වලින් බලෙන්ම දරුවන් අරන් ගියා මතකය. එක් වරක් කොළඹ ප්‍රධාන මල් ශාලාවකට කුඩා මිනී පෙට්ටි 500ක් සූදානම් කරන්නැයි ඕඩරයක් ද ලැබී තිබුණි.

පොදු ජනයා වෙත මේ බලපෑම කොතෙක්ද කිවහොත් හැකි හැම විටම රටේ ප්‍රසිද්ධ ස්ථාන මඟහැර යන්නට බොහෝදෙනා පුරුදුවී සිටියෝය. කොළඹ-කොටුව ස්ටේසමට යන්නේ නොයා බැරිනම් පමණි. කොච්චියෙන්, බස් එකෙන් බිමට බහිනකම් ඉන්නේ රාක්ක වල ඇති පාර්සල් දිහා බලමිනි. වටපිටාවේ ඉන්න හැමකෙනා දිහාම සැකයෙන් බලන්නට අප පුරුදු විය. කොළඹ ප්‍රධාන ගොඩනැඟිලි, පාර්ලිමෙන්තු, රජයේ ආයතන අසලින් යන්නේද හිතේ බයෙනි. දිගටම කියවන්න

Advertisements

දැන් ඔවුන්ව අමතක කරමුද?


මේ ගැන මට ලියන්නට සිත් වූයේ පරිගනකයේ තිබී හමුවූ පින්තූරයක් දැක මතකය අලුත් වූ නිසාවෙනි. පින්තූරය රණවිරු සෙවනේදී ගත් එකකි.

ඒ 2008 වසරේ තෙවැනි කාර්තුවයි.. කුරිරු කොටි ත්‍රස්තවාදීන්ට එරෙහි යුද්ධය ඉතා සාර්ථකව සහ වේගයේන් ඇදී යමින් තිබුනි.. එකල අප සැවොම කලේ  ආරක්ෂක අමාත්‍යංශයේ වෙබ් අඩවේයේ තිබූ සිතියම දිහා දිනපතා බලා සිටීමය…පැයෙන් පැයට එය රී ෆ්‍රෙෂ් කිරීමය… අහල පහල තියෙන තුංමං හන්දියට වඩා පුදුමාතලන් හන්දිය ගැන එකල අප දැන සිටියෙමු.

යුද්ධය කෙරීගෙන යන ආකාරය පිළිබඳව කාගේත් සිත්වල කැමැත්තක් තිබුණි. මෙදා පාර කොටියා කම්මුතුයි යන බලාපොරොත්තුව කාගෙත් හිත්වල දළුලමින් තිබුණි.

මේ අතරතුර අප කාර්‍යාලයේ සේවය කරන 25කට ආසන්න ශ්‍රි ලාංකික පිරිස තීරණය කලේ යුද්ධය වෙනුවෙන් අපිත් යමක් කළ යුතු බවයි.

ඒ සඳහා එක් රැස්වී අපි මුලින්ම කලේ අපේ අරමුණ පිලිබඳව දන්වා, උදව් උපකාර කළහැකි අයුරු විමසා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයට ලිපියක් යැවීමය.. ලිපිය ෆැක්ස් කර දින කීපයක් ගතවෙද්දී මගේ දුරකතනයට ඇමතුමක් ලැබුනි. අනෙක් පසින් කතාකලේ මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතායි. එවකට මගෙ මතකයේ හැටියට ඔහු ආරක්ෂක අමාත්‍යංශයේ ඉහල පෙලේ නිලධාරියෙකි. ඔහු කතාකර ආධාර උපකාර කළ හැකි ආකාරය ගැන මා දැනුවත් කර, රාගම රණවිරු සෙවනට ද මා යොමු කරන ලදී.

ඉන්පසු අප විසින් කළ හැකි දෑ කවරේදැයි මම රාගම රණවිරු සෙවන බාර නිලධාරී කර්නල් තමාරා මහත්මියගෙන් දුරකතනයෙන් විමසා සිටියෙමි. ඇය එතැනට අවශ්‍යය කරන නොයෙකුත් දෑ පිළිබඳව සහ කෙරීගෙන යන ව්‍යාපෘති කිහිපයක් පිළිබඳව මා දැනුවත් කරන ලදී. එහිදී ඇය ප්‍රකාශ කල එක් දෙයක් වූයේ වාට්ටු වලට රූපවාහිනී යන්ත්‍ර නොමැති බවත්, හැකිනම් රූපවාහිනී යන්ත්‍ර කිහිපයක් ලබාදෙන ලෙසත්ය. එමෙන්ම වාට්ටු වල බෙහෙත් ගබඩාකිරීමට ශීතකරණ යන්ත්‍ර නොමැති බවත් ඇය පවසන ලදී…

මෙම අවශ්‍යයතාවන් අපි සියලුදෙනා එකතුව සාකච්ඡා කරද්දී සැමගේම අදහස වූයේ රූපවාහිනී වැනි දෑ සුපොඛභෝගී අයිතම බවත්, ඒවා අවශ්‍යය නැති බවත්ය.  එවැනි සුපෝඛභ්හෝගී දෑ විමසීම පිළිබඳව අප පුදුමයට ද පත්වූයෙමු.  කෙසේ වෙතත් අපගේ ප්‍රධාන අරමුණ වී තිබුනේ කෘත්‍රිම පාද ලබාදීමයි. ඒ නිසා අප ඒ පිළිබඳ වැඩි අවධානය යොමුකොට අනෙක්වා බැහැර කරන ලදී..

ඒ අතරතුර අප අතරින් අයෙක් නිවාඩුවකට ලංකාවට ගිය බැවින්, අප ඔහුගෙන් විමසා සිටියේ හැකිනම් රණවිරු සෙවනට ගොස් සොයාබලන ලෙසයි.

ඔහු එහිගොස් පැවසූ දෙයින් අප සැවොම ඉතා කම්පාවට පත්වූවා මට මතකය.

වාට්ටු වල සිටින ආබාධිත සෙබලුන් බොහෝමයක් දෙනා බලාගත් අත බලාසිටී. අයෙක්ගේ කකුල් දෙකම අහිමිව ගොස්ය. සමහර අය සදාකාලිකවම ඇඳ උඩට සීමා වී සිටී. ඔවුන් ගෙවන්නේ දුඛ්ඛිත ජීවිතයකි. අද අප ඉන්නවාක් මෙන් සැප විඳීමට ඔවුනටද හැකියාව තිබුණි. ඒ වෙනුවට ඔවුන් කලේ යුද්ධය තෝරා ගැනීමයි. අපේ සහ රටේ අනාගතය තකා ඔවුන් ඔවුනගේ අනාගතය ආබාධිත කරගන්නා ලදී.

වාට්ටු කිහිපයක ( මට මතක ඇති ලෙස 2ක පමණ ) රූපවාහිනී යන්ත්‍ර තබා තිබේ.. වාට්ටුවේ සිටි වැඩිමනක් දෙනා කළේ එය දෙස බලාසිටීමයි. තුවාල වල සහ අබ්බගාත ජීවිතයේ වේදනාව ඒ රූපවාහිනිය බොඳ කර හරින්නා සේය… දුර ඈත ඇඳවල් වල සිටි අයට හරි ලෙස රූපවාහිනිය පෙනෙන්නේ නැත. කකුල් දෙකම නැති වුනත් දෑතේ වීරියෙන් ඉස්සී ඉස්සී රූපවාහිනිය බලන සෙබලුන් සහ ඔවුන්ගේ මානසික තත්ත්වය ගැන ඔහු එසේ කියද්දී අප සැවොම කලින් සිතූ දේ ගැන සිතින් දහස් වරක් සමාව අයැද සිටියෙමු..

එම නිසා අප තීරණය කරේ කෙසේ හෝ දැනට එකතුවූ මුදලින් මේ ඕනෑ එපාකම් ඉක්මනින්ම සපුරාලිය යුතු බවයි. ඒ වන විට අප සතුව රුපියල් ලක්ෂ දෙකක් පමණ එකතුවී තිබුනි. ඒ වියදමෙන් අප තීරණය කලේ රණවිරු සෙවනට අවශ්‍යය රූපවාහිනී යන්ත්‍ර දෙකක් සහ ශීතකරන යන්ත්‍රයක් ලබා දීමටයි. බිත්තියේ එල්ලිය හැකි පරිදි LCD වර්ගයේ ඒවා ගැනීමට තීරණය කලේ වාට්ටුවේ සැවොටම පේන ලෙසින් එය තැබීමටය.
එම විදුලි උපකරණ ගුවන්තොටුපල තීරුබදු රහිත සාප්පු වලින් ගැනීමට ඒ දිනවල නිවාඩුවට ලංකාවට ගිය මහත්ම මහත්මීන් දෙපලක් අපහට උදව් කරන ලදී. ඉන්පසුව සංවිධානය කෙරුන කුඩා උත්සවයකදී ඒවා සියල්ල රණවිරු සෙවනට බාරදෙන ලදී. එවකට ලංකාවේ සිටි අපගේ සොහොයුරන් කිහිපදෙනෙකුත් අනෙක් අයගේ පවුල් වල උදවියත් පැමිනියේ සෙබලුන්ට අවශ්‍යය පළතුරු ටිකක් ද රැගෙනය.

එලෙස අපගේ ආධාරයේ පළමු අදියර නිම විය..

ඉන්පසුව වූයේ දෙවන අදියර ලෙස කෘත්‍රිම පාද ලබා දීමයි. අප සතුව ඒ වනවිට තවත් රුපියල් ලක්ෂ 7.5 පමණ එකතුවී තිබුණි. අපවෙත කෘත්‍රිම පාද අවශ්‍යය ආබාධිත සෙබලුන්ගේ ලැයිස්තුවක්ද ලැබී තිබුණි. එයින් පාද දෙකම අහිමි අය ප්‍රථමවත්, ආබාධයට ලක්වී ගෙවී ඇති දිනප්‍රමාණය දෙවනුවත් වශයෙන් අපේ අතැති මුදල් වලට අනුව සෙබලුන් 30කට අධික ප්‍රමාණයක් තෝරාගන්නා ලදී. ඉන් පසුව තිබුනේ මේ මුදල බාර දීමයි. අප කිහිප දෙනෙක් ගේ අදහස වූයේ තවත් කීයක් හෝ දමා ලක්ෂ 8ක් එකතුකර තවත් සෙබලුන් දෙදෙනෙක් එකතුකළ යුතු බවයි. නමුත් ඒ වෙනුවෙන් නැවත මුදල් එකතු කිරීමේ හැකියාවක් තිබුනේ නැත. ආයතනයේ අයට අමතරව මගේ පුද්ගලික හිතවත්කම මත මගේ හොඳම යහළුවන් කිහිපදෙනෙකුද මුදල් දී තිබුනි. ආයතනයේ සිටි කිහිප දෙනක් මුදල් දෙන්නට ප්‍රතික්ශේප කරන ලදී. මාගේ හොඳම යහළුවන් කිහිප දෙනෙක් ද කර ඇරියේය. එවන් පසුබිමක් තුළ අන් අයගෙන් මුදල් ඉල්ලීමෙන් පලක් නොවන බැවින් අප දෙතුන්දෙනෙකු ඉතිරි මුදල දමා අරමුදල සම්පූර්ණ කරන ලදී..

ඉන්පසුව ලංකාවට නිවාඩු යන සහෝදරයන් අත ඒ මුදල යවන ලදී. ඔවුන් ආරක්ෂක අමාත්‍යංශයේ සහයෝගය ඇතිව, යුධ හමුදා මූලස්ථානයට ගොස් ඒ මුදල කෘත්‍රිම පාද වෙනුවෙන් පරිත්‍යාග කරන ලදී.

එලෙස ආධාරය නිම විය…නොයෙක් අයුරින් ආධාර සහ උපකාර කළ අයට අදත් අපගේ ස්තූතිය පිරිනැමේ…. එය අවසන් වූ පසු අප කාහටත් දැනුනේ රටක් රාජ්‍යක් ලැබුවාක් මෙන් සතුටකි. අපේ රට වෙනුවෙන් අපිත් යමක් කරා ය යන හැඟීම නිරතුරුව අප කාගේත් හිත්වල තිබුණි.

එදා අප කාහටත් මේ පිළිබඳ ප්‍රචාරයක් අවශ්‍යය නොවීය. ඒ නිසාම අප එය කිසිම මාධ්‍යයකට පැවසුවේද නැත. ආරක්ෂක අමාත්‍යංශයේ වෙබ් අඩවියේ පමණක් ආධාරය ගැන පුවතක් පලවිය. එදා කිසිම ප්‍රචාරයක් අවශ්‍යය නොවී, අද මා මෙය මෙලස කීවේ එක හේතුවක් ඇතිවය. අප මේ කළ කුඩා දෙය ආදර්ශයට ගෙන තවත් එක් අයකු හෝ ඔවුනගේ දුක සැප බැලීමට යා නම්, එය අති මහත් පුණ්‍යකරිමයක් වීම එම හේතුවයි. තවත් එක දෙයක් වන්නේ අප සංවිධාන වුවහොත් බොහෝමයක් දෑ කල හැකි බව වටහා දීමත් ය.

එදා මෙන් අද ලාංකීය ජනයා ඒ අසරණ සොල්දාදුවන් දෙස නොබලති. එදා යුද්ධය ගැන, සොල්දාදුවන් ගැන තිබූ හැගීම අද නැත. එදා මාධ්‍ය පිරිවරා ආධාර කරන්නට ගිය උදවිය අද ඒ පැත්ත වත් බලන්නේ නැත.

එම සොල්දාදුවන් රැක බලා ගැනීම ආණ්ඩුවේ සහ යුධ හමුදාවේ වගකීම බව ඇත්තය. ඒ දෙපිරිස එය හැකි උපරිමයෙන් ඉටු කරනු ඇත. නමුත් ඒ සෙබලුන්ගේ ඒ උදාරතර කැප කිරීම නිසා ඔබේ පවුලේ උදවිය අද සුවෙන් සතුටින් සිටී. ඔවුන් එසේ නොකරන්නට අපගේ හිතවතුන් පවා බෝම්බ වලට බිලි වන්නට හැකිව තිබුණි. එනිසා ඒ කළ ගුණ සැලකීම අපගේ ද වගකීමය. අන් අයට බනින්නට පෙර අප අපගේ වගකීම ඉටු කර සිටිය යුතුය.

ඒ සඳහා මහා පරිමාණයෙන් ආධාර උපකාර කළ යුතු නැත. ඒ සොල්දාදුවන් සියල්ලට පළතුරු ටිකක් රැගෙන ගොස් දුක සැප බලා ඒමත්, කියවන්නට පොත් පත්තර ටිකක් අරන් දීමත් ඔවුනට ඉතා විශාල දිරියක් විය හැකිය.

මගේ නිහතමානී ඉල්ලීම නම් ආයතන මට්ටමින් හෝ මිතුරු මිතුරියන් හෝ එකතුවී යම් කිසි දෙයක් ඔවුන් වෙනුවෙන් කරන ලෙසයි. එය අසීරු කටයුත්තක් නොවේ.

ඔවුන් වෙනුවෙන් අපි අපේ යුතුකම් ඉටු කරමු!

We Salute our war heroes!

– – – – – – – – – –

ප/ලි : ලිපිය හිතුවාට වඩා දිග විය. වැඩිමනක් දෙනා දිගු ලිපි කියවන්නේ නැති බව මම දනිමි. නමුත් මෙතැනට ආ ඔබ මෙය සම්පූර්ණයෙන් කියවාවී කියා මම සිතමි. කියවා, ඔවුන් වෙනුවෙන් යමක් කරන්න. පහත ඇති වීඩියෝ දෙකත් හැකිනම් නරඹන්න.

එක එක නමින් ගන්නට ඇති “සිලෝන් ටී” ..


ශ්‍රී ලංකාව තේ නිශ්පාදනයට ප්‍රචලිත රටක්. තේ යනු ලංකාවේ ප්‍රධාන අපනයන ද්‍රව්‍යක් වගේම ප්‍රමුඛ ආදායම් මාර්ගයක්. දශක ගනනාවක අනර්ඝත්වයේ ප්‍රතිඵලක් ලෙස ශ්‍රී ලාංකීය තේ විවිධ රටවල් වල ඉතා ජනප්‍රියයි… මේ නිසාම ” සිලෝන් ටී” [Ceylon Tea] යන වෙළඳ නාමය දසත පැතිරී ගිය එකක්.. මෑතක සිටන් ලංකාවේ තේ කර්මාන්තය පසුබෑමකට ලක්වී ඇති බව නොරහසක්.. කෙන්යාව වැනි රටවල් ලංකාව අභිබවා තේ අපනයනය කරන්නට සමත් වෙලා.. ඒ පසුබෑම ගැන කතාකිරීම් වෙනම මාතෘකාවක්.. මොකද තේ සඳහා වෙනම පර්යේෂණාගාර සහ අනෙකුත් සියලුම පහසුකම් තිබියදී අංක එකෙන් බිමට වැටුනේ කියන එක ලොකු ප්‍රහේලිකාවක්…

මම කියන්න යන්නේ අද කටාර් වල එක්තරා වෙළඳසැලකට මම ගිය වෙලාවෙ දැක්ක දෙයක්…

ගෙදර තේ ඉවරවෙලා නිසා මම ගියා තේ තියෙන රාක්ක පෙදෙසට…

එක පාරටම මට පුරුදු සිංහයෙක් ගේ සංකේතයක් ඇහැ ගැටුනා.. බැලින්නං ” සිලෝන් ටී” !!

ඩිල්මා වගේ තේ වර්ග දැකල තිබුනට මේ තේ වර්ගය පුරුදු එකක් නොවෙන නිසා හොදින් විපරම් කරල බැලුවා…

එක රාක්කයක් පුරවලාම “සිලෝන් ටී”…. !!!!

එක එක වර්ගයෙන් සිලෝන් ටී… කවදාවත් අහල නැති නම් වලින්…

ඉතාම බාල තත්ත්වයේ ඇසුරුම් වලින්…රාක්ක පුරෝලා…

මම එකින් එක අතට අරන් බැලුවා…

ලෙබනනයේ, ජොර්දානයේ, වගේ තැන්වලින් තමයි පැක් කරලා තියෙන්නේ.. නමුත් ලේබලය ” සිලෝන් ටී” ….

ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ ලියාපදිංචි අංකයක් හෝ “සිලෝන් ටී” ප්‍රමිති සහතිකයක අංකයක් හෝ ගහලා නැහැ…

ඒ රාක්ක පුරෝලා තිබ්බ ” සිලෝන් ටී” වල පින්තූර ටිකක් පහත අමුනලා තියෙනවා…

[සැ/යුතු: එක් පිතූරයක කොනකින් දැක්වෙන Stassen තේ වර්ගය නම් ලංකාවේ ප්‍රචලිත ව්‍යාපාරික හැරී ජයවර්ධන මහතාගේ  Stassen ව්‍යාපාරයට අයත් එකකි. ඒ පිළිබඳ ගැටලුවක් නැත. ]

” සිලෝන් ටී” සිංහ ලකුණ ගහන්න අවශ්‍ය කරන කරුණු මෙතන ලියලා තියෙනවා…එතන කියන විදියට පිටරටවල් වල සිටින ආනයන කරුවන්ට සිංහ ලකුණ යොදන්න බැහැ ඒවා ලංකාවේ දී පැක් කරලා නැත්නම්…

මේ නානාප්‍රකාර තේ වර්ග නිසා දැන් එම වෙළඳ සැල් වලට Mlesna, Dilmah වැනි නමගත් තේ වර්ග ගේන්නේ නැහැ…මට නම් හිතෙන විදියට මේක අපේ “සිලෝන් ටී” කීර්ති නාමය නම විකුනලා කරන කූට ව්‍යාපාරයක්…

තේ අපනයනය පහත වැටෙන්න මේ වගේ හේතුත් බලපාන්න ඇති කියල හිතෙනවා….

වගකිවයුත්තෝ මේ ගැන හොයලා බලත්වා කියල විතරයි කියන්න තියෙන්නේ…

මුහුඳු මහා විහාරය සහ එහි අනාගතය


දැනට මාස කීපයකට උඩදි ලංකවට ගිය වෙලාවක මට යාළුවෝ කිහිපදෙනෙක් එක්ක පොතුවිල් පැත්තෙ යන්න ලැබුන. විනෝද චාරිකාවක් විදියට පටන් ගත්තත්, පොතුවිල් / ආරුගම් බේ වල පිහිටලා තියෙන ඉතා වටිනා ඓතිහාසික නටඹුන් ඇති මුහුඳු මහා විහාරය දැකලා අපි බොහොම කම්පාවට පත්වුනා.

වසර 2000ක පමන ඉතිහසයක් ඇති මුහුඳු මහා විහාරය හෙවත් සමුද්‍ර මහා විහාරයෙ අද ඉතිරිවෙලා තියෙන්නෙ හිටි පිලිම 3ක් වැනි පොඩි නටඹුන් ටිකක් විතරයි. මෙහි තිබී සොයගන්නා ලද සෙල් ලිපියකට අනුව, විහාර මහා දේවිය කැලණි පුරවරයේ ඉඳන් ගොඩ බැහැපු ස්ථානයේ මුහුඳු මහා විහාරය ඉදිවෙලා තියෙනවා. විහාර මහා දේවි ගොඩ බැස්සේ කිරින්දට කියල අපි විශ්වාස කරත්, ඒ පිළිබඳ සැලකිය යුතු සාධක හමුවෙලා නැහැ. ( History: http://www.nation.lk/2009/03/01/eyefea1.htm ) මෙහි තිබෙන හිටි පිළිම තුනෙන් එකක් බුදු පිළිමයක්. අනිත් දෙක බුදු පිළිමය ඩිහාට වැඳගෙන ඉන්න කාවන්තිස්ස රජු සහ විහාර මහා දේවියයි.

වරක් රුහුණු මහා විහරය යනුවෙන් හඳුන්වපු මේ විහාර භුමිය අද ඒ වටේට බිහිවි ඇති මුස්ලිම් ජනාවාස විසින් ගිල ගෙන තිබෙනවා.  මින් පෙර අක්කර 200 ගනනක්ව තිබුන මේ විහාරය අද වෙනකොට අක්කර 1ක් වත් නැති තරමටම මුස්ලිම් ජනාවාස විසින් ගිලගෙන තිබෙනවා… මෙහි අමුනා ඇති පරණ පුවත් පත් වාර්ථාවට අනුව, 2005දි අක්කර 7ක පමණක් තිබු විහාරය 2009 වන විට අක්කර 1කට කුඩා වී තිබේ. මෙම විහාරයට යන්නට පාරක් නැත. සිංහල දන්නේ නමුත් සිංහල කතා නොකරන විශාල මුස්ලිම් කොලොනියක් මැදින් ඉතා අමාරුවෙන් හොයාගත්තු පොඩි කොලු ගැටයෙක් බයිසිකලේකින් අපිට පාර පෙන්නුවා.
මුලු විහාරයම බලාගන්න ඉන්නෙ එකම හාමුදුරු නමයි. ඒ ස්වාමින් වහන්සේටත් අවට තිබෙන ගම්මුන්ගෙන් ඉතාමත් කරදර බව උන්වහසේ අපිත් එක්ක කතා කරනකොට කිව්වා. උන්වහන්සේව පන්සලෙන් එලවලා දමන්න කෑමට වස දැමීම, විදුලිය කම්බි දොර අගුලට ඇමිනීම, රාත්‍රියේදි ගල් ගැසීම, සොරකම් කිරිම වැනි දෙවල් නිතරම සිදුවෙනවා. උන්වහන්සේට දානයක් දෙන්නවත් බෞධයෙක් අහල ගම් 7කවත් නැතුව උන්වහන්සේ ඒ කරන සේවය දෙකල අපි ඔක්කොටම විශාල දුකක් හිතුනා.  අවාරෙට පොල් වැටෙන්නා වගෙ අමාරුවෙන් හොයාගෙන විහාරයට එන අපි වගේ බැතිමතුන් දෙන මුදල් ටික එකතු කරගෙන තමයි උන්වහන්සේ දානයක් හරි සපයාගන්නෙ.

 

රාත්‍රියට විහාරයට ආරක්ශාව දෙන්න හමුදාවෙන් හෝ ග්‍රාමාරක්ෂක බටයින් එන නිසා දැන් නම් කරදර අඩු බවත් උන්වහන්සේ අපිත් එක්ක පැවසුවා. නමුත් මේ විහාරය ගැන හොයල බලන්න කවුරුත් නැහැ. මන්ත්‍රී  සහ දිසාපතිතුමාගෙ ඉඳල ඒ පලාතෙ ඉන්න සියලුම දෙනා මුස්ලිම් භක්තිකයින් නිසා විහරයට කිසිම දෙයක් ඉටු නොවන බව අපිට පැහැදිලිවුනා.
මේ සටහන දකින ඔබත් පොතුවිල් / ආරුගම් බේ පැත්තෙ ගිය වෙලාවක එහේ ගිහින් සිද්ධවෙලා තියෙනදේ පොඩ්ඩක් බලල එන්න.

 

මට නම් කියන්න තියෙන එකම දේ… මෙම විහාරය සහ නැගෙනහිර පලාතෙ විසිරී ඇති පැරණි නටඹුන් රැක ගෙන සංරක්ෂණය කරන්න වගකිවයුත්තන්ගෙ අවධානය යොමු වෙවා කියන එක විතරයි.

   

ප.ලි:  මේ සටහනේ අරමුණ කිසිම ජාතියකට හෝ ආගමකට පහර ගැසීම නොවේ;  ඉතා වටිනා මෙම විහාරය රැක ගැනීම පමණකි.

මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න… !


ලංකාවෙ අපි ගොඩක් දෙනා උපන්නෙ යුද්දෙත් එක්ක.. ජීවත්වුනේ යුද ගිනි මැද. කොහොමින් කොහොම හරි යුද්දය කියන එක ලංකාවෙ අපිට සාමන්‍ය දෙයක්වුනා. ඒ නිසාමද කොහෙද ලංකාවෙ මිනිස්සු ඉස්සරට වඩා හිතින් දැඩි වෙන්න ඇති.1983 දි 13 දෙනෙක් මැරුනම ලංකවෙ මිනිස්සු ගොඩක් කලබලවුනේත්, අද 500ක් මැරුන කිව්වත් එච්චර ගානක් නැත්තෙ ඒ නිස වෙන්න ඇති.

පොඩි කාලෙ ඉඳලම මම දැක්ක හීනයක් තිබ්බා… ඒ දියුණු සිරි ලංකාවක් දැකීම. මගේ විතරක් නෙවේ, ලංකාවට ආදරේ හැමගෙම තිබ්බ හීනයක් වෙන්න ඕන ඒක. ‍යුද්දෙ ඉවරවුනොත් ඒ හීනය හැබෑවක් වෙයි කියලා මට පොඩි කලෙ ඉඳලම හිතිලයි තිබුනෙ. ඒ නිසාම තමයි මම යුද්දෙ ජයට යනකොට ඒකට මුලු හදවතින්ම උදව් උපකාර කරේ. අපේ මිතුරන් ගොඩක් එකතු වෙලා, ලොකු මුදලක් එකතු කරල රණ විරුවන් වෙනුවෙන් ලංකාවට යැවුවෙ අපෙන් ඒ සඳහා වෙන්න තියෙන යුතුකම ඉටු කරන්න ඕනා නිසා…

‍යුද්දෙ ඉවරවුන ගමන් අපිට බොහොම සැහැල්ලුවක් දැනුනෙ, අපි ගොඩක් කාලෙක ඉඳන් දැකපු ඒ හීනය හැබෑ වෙයි කියල හිතට දැන්නෙන්න ගත්තු නිසා. දේශපාලන නායකත්වයට වගේම, හමුදා නායකත්වයට අපි ඔක්කොම ආශිර්වාද කළේ අපේ ලංකවට පිළිලයක් වෙලා තිබුන ඒ යුද්දෙ ඉවර කරපු නිසා.එතනින් පස්සෙ සේද මාවතක් වෙයි කියල හිතපු සංවර්ධන ගමන ටිකෙන් ටික නාය යන කන්දකට අහු වෙලා යට යන අඩි පාරක් උනේ ගොඩ කාලෙක ඉඳල ලංකාවෙ තියෙන දේශපාලන කුළල් කාගැනීම් එක්ක. ජන්මයට වඩා අපේ ලංකාවෙ දේශපාලකයින්ට ඒක ලොකු වෙච්ච නිසා, මට නම් හිතෙන විදියට අපේ රටට ලැබුන හොඳම අවස්ථාවක් ගිලිහිලා ගියා කියල. නිකන් නෙවේ , අපි හැමෝගෙම හීනයත් අරගෙන. යුද්දය ඉවර කිරීමේ “ක්‍රෙඩිට් එක” ගන්න දෙපැත්තම උත්සාහ කරපු ජනාධිපතිවරනයෙන් පස්සෙ, ක්‍රෙඩිට් කවුරු ගත්තත්,  ඒක නිසා ලොකුම පාඩුවවුනේ රටට ආදරෙ කරපු මද්‍යස්ථ ජනතවට කියල තමයි  හිතෙන්නෙ.  කිසිම දේශපාලන පක්ශයකට ගැති නොවි  මැදිහත් විදියට හිටපු මට ඒක හොදින් තේරෙනව. කොහොමින් හරි ඒ දෙවනි යුද්දය නිස පැරදුනේ අපේ රටට ආදරේ කරපු මිනිස්සු තමයි.

මේ කුළල් කාගැනීම් නිසා වෙච්ච පාඩු ටිකක් ලියන්න හිතුනා…

 

අ:  මහින්ද රාජපක්ෂ, ගෝඨාබය රාජපක්ෂ, සරත් ෆොන්සේකා යන වීර චරිත නැති වීම.

යුද්දය ඉවර වෙනවත් එක්කම මහින්ද රාජපක්ෂ, ගෝඨාබය රාජපක්ෂ සහ සරත් ෆොන්සේකා කියන නම් තිබ්බෙ අපේ කාලයේ නූතන වීරයන් ගෙ ලැයිස්තුවේ.  බොහොමයක් හේතු නිසා මේ සියලු දෙනා ගැන මගෙ හිතේ තිබුන ගෞරවය අඩු වැඩි වශයෙන් නැති වෙලා ගිහින්. මට හිතෙන විදියට ගොඩක් අයට ඒ හැගීම තියෙනවා.
ප්‍රශ්නය: වීර චරිතයක් නැවතත් ඇතිවෙන්න කොච්චර කල්යයිද?

 
ආ: යුද හමුදාව ඇතුලු ත්රිoවිධ හමුදාව දේශපාලනීකරනය වීම.


දේශපාලන කුළල් කාගැනීම් නිසා සිද්දවුන ලොකුම විනාශයක් තමයි ත්රි විධ හමුදව දේශපාලනීකරනය වීම. ඉස්සර කාලෙදි නම්, හමුදාවෙ පුද්ගලයින්දේශපාලනය කලේ නැහැ. දේශපාලකයින් හමුදාව ගැන දෙන comments වලට උත්තර දුන්නෙත් දේශපාලයකින් තමයි. මට හිතෙන විදියට මේකපටන් ගත්තෙ ජෙනරාල් ෆොන්සෙකා හමුදාපති වෙලා ඉද්දි මංගල සමරවීර මහතාගෙ comment එකකට උත්තර දෙන්න ගිය ජෙනරාල් සරත්ෆොන්සෙකා මහත්මයා මයි.

ඊට පස්සෙ ජෙනරාල් ෆොන්සෙකා මහත්මයාගේ දේශපාලනයට පැමිණීමත් එක්ක, හමුදාවෙ කට්ටියත් දේශපාලන පිල් දෙකකට බෙදීම වලක්වන්නබැරිවුනා. ඒකෙන් උනේ හමුදව තුල මෙතෙක් හැංගි හැංගිවුන දේශපාලන ලේබල් ඇලවීම සහ පලිගැනීම එළිපිටම වෙන්න ගත්තු එක කියල එළියෙඉඳන් බලන් ඉන්න අපිට හොඳට පෙනුනා.

ප්‍රශ්නය: කාගෙ උවමනාවට වෙච්ච දෙයක්ද?

ඇ: හමුදාව කෙරෙහි ජනතාවගෙ තිබුන වීර හැඟීම නැති වී යාම.

උඩින් ලියල තියෙන හේතු නිසා, රටෙ ජනතාවගේ හිත් වල හමුදාව කෙරෙහි තිබ්බ අප්රතිහත ගෞරවය පොඩ්ඩ පොඩ්ඩ අඩුවුනා. ඉස්සර වගෙ වීර හමුදා සෙබලු වෙනුවෙන් සල්ලි කැට අරන් සල්ලි එකතු කරපු අය වාෂ්ප වෙලා ගිහින්. සටන් වලින් ආබාධිතවුනු සෙබලු ගැන කත කරන අය නැති වෙල ගිහින්. ඔක්කොම කත කලේ “ ක්රෙඩිට් එක” කාගෙද කියල මිසක්, ඒ ක්රෙඩිට් එක ගන්න උදවුන හිනි මඟේ හිටපු සෙබලු ටික ඔක්කොටම අමතකවුනා. නහය උසට වතුර ගලල තියෙද්දිත්, මරාගෙන මැරෙන මිනිස් බොම්බ ඉස්සරහදිත් පස්සට නොගිහින් සතුරන් එක්ක සටන් කරපු වීර චරිත අපිට අමතකවුනා.

ප්‍රශ්නය: කාගෙ වරදින්ද?

ඈ: දේශප්රේමී ජනතාව දෙපිලකට බෙදීම.

යුද්දය ඉවරවුන ගමන්, ලංකාවෙ හිටපු ඔක්කොම මිනිස්සු හිට්යෙ එකා වගෙ. ජාති භේද, ආගම් භේද විතරක් නෙවෙයි, පක්ෂ භේද පවා ඔක්කොටම අමතක වෙලා තිබ්බෙ. යුද්දෙ ඉවර වෙලා අවුරුද්දක් යනන්ත් ඉස්සෙල්ල අද වෙනකොට කට්ටිය ආයෙත් බෙදිල. අපි ඔක්කොම ලංකවෙ මිනිස්සු කියන එක අමතක වෙලා… මම නිල්, මම කොල, මම රතු කියාගෙන තමන් කිසිදාක නොදැකපු කෙනෙක් වෙනුවෙන් ඔක්කොම කඩේ යනවා.

ප්‍රශ්නය: මොකක් ලබාගන්නද?

ඉ: බෙදුම්වාදී කාක්කන් ට නැවත තටු ලැබීම.

කොටි ත්රස්තවාදය පරාජය කරන කොට තමන්ගෙ නැට්ට අධෝ මුඛයෙ ගහගෙන හැන්ගිලා හිටපු බෙදුම් වාදී කාක්කො ටික අයෙත් කෑගහන්න පටන් අරන්. ආයෙත් උන්ට පිට රටවල් වලින් සල්ලි එන්න පටන් අරන්. එක එක දේශපාලන පක්ෂ වලින් වාසි හොයාගෙන උන්ට offers දෙන්න පටන් අරන්. ඉස්සර අපේ මිනිස්සුන්ට එපා වෙල තිබ්බ සමහරක් දැන් හරිම හොඳ මිනිසුන් වෙලා. මූ යුද්දෙ කාලෙ මොනවද කිව්වෙ කරේ කියල අමතක වෙලා.

ප්‍රශ්නය: අපි මුන් කවුද මොකටද එන්නෙ කියල දන්නවද?

ඊ: ලොඅක ජනමාද්යට ලංකව ගැන කතා කරන්න තව හොද ටොපික් එකක් ලැබීම.
ඉස්සර ලංකාව ගෙන websites පිරෙන්න නිව්ස් දාපු ජාත්යන්තර මාද්ය, යුද්දෙන් මාස කීපයකට පස්සෙ සද්ද නැතිවුනා. BBC, CNN, Al Jazeera වගේ channel වල සහ websites වල ලංකාවෙ නිව්ස් එකක් හොයන්නත් බැරිවුන. ඒත් අයෙත් ඔන්න ලොකු ලොකු නිව්ස් එන්න පටන් අරන්, අරක වුනා මෙක වුනා කියල. මේ නිව්ස් නිසා ලංකාවෙ ප්රතිරූපයට වන හානිය ගැන අපේ දේශපාලකයින්ට අවබෝධයක් නැහැ වගේ.

ප්‍රශ්නය: ඒවට කවුද වග කියන්නේ? කවුද ඒ ප්රතිරූපය නැවත හදන්නේ?

උ: කැඩී සුනු විසුනු වෙලා ගිය යුරෝපීය සහ උතුරු අමෙරිකානු ද්රවිඩ කොටි ජාලයට නැවතත් පණ ලැබීම.
යුද්දෙ තියනකොට ඇඟට ගිනි තියාගත්තු, තැන තැන කෑ ගහපු කොටි ටික, ප්රභාකරන් බල්ලෙක් වගේ මැරුනට පස්සෙ කටවල් ටික වහ ගත්තා. කාගේ හෝ වරදින් මුන් ටික ආයෙත් එකතු වෙලා.

ප්‍රශ්නය: ආයෙ මුන් ටිකගෙ කටවල් වහන්න කියල මරල දාන්නවත් ප්රභාකරන් කෙනෙක් නැති වීම.

ඔයවගේ කී නොකී කරුනු නිසා… සහ…අපේ දේශපාලකයින්ගෙ හා තීරන ගන්නා පුද්ගලයන්ගේ අත්තනොමතික වැඩ නිසා අපි හැමෝගෙම හීන බොඳ වෙලා යයිදෝ කියල හිතෙනවා.

තීරණ ගන්නා වැදගත් තැන් වලට ( රාජ්ය ආයතන – සංස්ථා, බැංකු වගේ දේශපාලන පුලුවන් කාරයො නැතුව, වෞත්තීය සුදුසුකම් සහිත සහ පලපුරුදු පුද්ගලයින් දැමීම අපිට තියෙන ලොකුම අවශ්යතාව වෙලා තියෙනවා.
එහෙම නැතිවුනොත් ඒ ලස්සන සිහිනය අපිට බලන්න වෙන්නෙ නැති වෙයි.

මට හිතෙන විදියට රටට ආදරේ කරන මිනිස්සු අපේ දේශපාලකයන්ගෙන් ඉල්ලන්නෙ එක දෙයයි.. බෙල්ල ගහල ගියත් ජාතික අවශ්යතාව වෙනුවෙන් වැඩ කරන්න ( Work for National Interest). අපේ රටට යහපත් මොකද්ද කියල හිතලා වැඩ කරන්න…

කොහොම හරි කරලා….

මගේ සිහිනය මට දකින්න ඉඩ හරින්න …

ප.ලි: ගොඩක් කාලෙකට පස්සෙ සිංහලෙන් ලිව්වේ.. ව්යානකරන වැරදි තිබේනම් සමා වෙන්න, නමුත් පෙන්වා දෙන්න….