Category Archives: විද්‍යා/තාක්ෂණ

ගුවන් අනතුරු වලින් නැතිවන ජීවිත..?


අද දවසේ ප්‍රධානම පුවත උනේ පාකිස්තානයේ අගනුවර ආසන්නයේ සිදුවූ ගුවන් අනතුරයි… තාක්ෂණය මෙතරම් දියුණුව පැවතුනත් දිනෙන් දින නවීනතම පන්නයේ ගුවන් යානා එලිදැක්වූවත්, මේ ගුවන් අනතුරු වළක්වාගන්න තවමත් හැකිවී නැහැ..

පසුගිය දශකය පුරාම වසරකට බරපතල ගුවන් අනතුරු 6 බැගින් සිදුවෙමින්, වසරකට ජීවිත 500-600 ක් පමණ අහිමිවෙමින් පවතිනවා.. මේ අනතුරුවලට ප්‍රධාන හේතුව වන්නේ මිනිස් වැරදියි. ඒ වගේම දුර්වල නඩත්තුකිරීම් සහ විවිධ තාක්ෂණික හේතුනුත් නිසා ගුවන්යානා අනතුරට ලක්වෙනවා…

1998 සිට මේ දක්වා සිදුවූ ප්‍රධාන ගුවන් අනතුරු පිළිබඳ සංක්ෂිප්ත සටහනක් බී.බී.සී අඩවියේ දක්වා තිබුනා..

හැම ගුවන් අනතුරකටම හේතුව පරීක්ෂාකිරීමට සමීක්ෂණයක් සිදුකෙරෙන අතර, ඒ ආකාරයෙන් එම වැරැද්ද යලිත් සිදුනොවීමට වගබලාගැනීමට සැවොම දැනුවත් කෙරෙන අතරම එවන් වැරදි අඩුකරගැනීමට අවශ්‍ය තාක්ෂණික මෙවලම් ද නිර්මාණය කර ගුවන්යානා වලට සවිකෙරෙනවා.. අමෙරිකාවේ National Transportation Safety Board [NTSB] ආයතනය මේ පරීක්ෂණ සහ නිගමන වාර්තා නිකුත්කරන සහ අධ්‍යයනය කරන ප්‍රමුඛතම ආයතනයයි…

මේ අයුරින් කෙරෙන දීර්ඝ සහ අඛණ්ඩ පරීක්ෂණ වල ප්‍රතිඵලයක් ලෙස අද වනවිට ගමන්කෙරන දුරට සාපේක්ෂව ගුවන් ගමන ලොව සුරක්ෂිතම ප්‍රවාහන මාධ්‍යයන්ගෙන් එකක් බවට පත්වී තිබෙනවා…

කෙසේ වෙතත් අනෙක් කවර අනතුරකට වඩා ගුවන් අනතුරකට ලැබෙන ප්‍රසිද්ධිය සහ අවධානය ඉතා වැඩියි… ඒ ප්‍රධාන වශයෙන්ම එක් ගුවන් අනතුරක් හා බැඳී තිබෙන ජීවිත ප්‍රමාණය වැඩි නිසා සහ ගුවන් ගමන් පිළිබඳ කාගේත් සිතේ ඇති චකිතය නිසා වියහැකියි.. කෙසේ වුවත් ගුවන් ගමනේ ඇති වේගය, විභව ශක්තිය ඇතුළුව යානාවක ඇති අධි ගම්‍යතාව නිසා බොහෝමයක් අනතුරු මාරාන්තික වීම වැළක්විය නොහැකියි.

කෙසේ නමුත් සෑම වසරකදීම සිදුවන මේ ගුවන් අනතුරු වලින් අහිමිවන්නේ වටිනා මිනිස් ජීවිතයි.. මේ ජීවිත සුරක්ෂිත කිරීමට මීටවඩා සැලකිලිමත් වියයුතුබව මගේ හැඟීමයි..

ප්‍රහාරක ගුවන්යානා නියමුවන්ට තියෙන්නාවගේ විසර්ජන පුටුවක් [ Ejection Seat] මගී ගුවන් යානාවලටත් හඳුන්වාදිය හැකි බව මගේ මතයයි.. මෙහිදී ගුරුත්වයට එරෙහිව යෑමට ක්ෂණිකව ඇතිකෙරෙන අධි පීඩනය සහ විසර්ජනය නිසා එක් එක පුටුවට මෙවන් පද්ධතියක් සවිකිරීමට පුටු දෙකක් අතර පවතින දුර වැඩිකිරීමට සිදුවීම පාඩුවක් විය හැකියි..

නමුත් මගේ අදහස නම් සියළුම මගීන සහිතව තට්ටුව කොටස් කිහිපයකින් හෝ විසර්ජනය කිරීමට ඇති හැකියාව අහක දැමිය යුතු නැති බවයි… මේ අයුරින් යානය කඩාවැටීමට ආසන්නතම අවස්ථාවකදී ගුවන් නියමුවන්ට මගීන් විසර්ජනය කිරීමට අවස්ථාව සැලසෙනු ඇති..

ප/ලි : ජීවිතය අනිත්‍යය… මා ඔහුගේ හොඳ නරක දන්නේ නැත.. කිසි දිනෙක මා ඔහු දැනගෙන සිටියේද නැත.. මා ඔහුගේ බ්ලොග් සටහන් කියැවූ තවත් එක් පුද්ගලයේක් පමණක් වීමි… එබැවින් ඔහුගේ ගුණගැයුමට මා දන්නේ නැත.. නමුත්, … ‘බ්ලොග් අවකාශයේ අප අතර සිටි හදිසියේ සමුගෙන ගිය කුමුදු පින්තෝ මහතාට නිවන් සුව ලැබේවා!’ යන්න කීමට පමණක් අවශ්‍යයව ඇත.

ඇඳේ අබිරහස


උසස් පෙළට පිකිස් එහෙම නැත්නං භෞතික විජ්ජාව කරපු කට්ටිය දන්නවා ඇති මොකද්ද අනුනාදය කියන්නේ කියල.

අනුනාදය, සින්හලෙන් කියනවා නම් ‘Resonance’ කියන්නේ ඇතැම් සංඛ්‍යාත වලදී යම්කිසි රේඛීය පද්ධතියක් [ a linear system ] අධි විස්තාරයකින් කම්පණය වීමට දක්වන නැඹුරුවයි. එක එක සංඛ්‍යාත පධතියකට ලබා දෙද්දී ඇතිවෙන අනුනාදය එකිනෙකට වෙනස්… සෑම පද්ධතියකටම තියෙනවා ස්වාභාවික සංඛ්‍යාතයක් [ Natural Frequency ] කියල එකක්… මේ අනුනාදය උච්චතම වෙන්නේ අපි ලබාදෙන සංඛ්‍යාතය එම පද්ධතියේ ස්වාභාවික සංඛ්‍යාතයට සමාන වුන වෙලාවේදී… ඒ වෙලාවෙදී තමයි ඒ පද්ධතිය උපරිම විස්තාරයකින් කම්පණය වෙන්නේ…

ඔය සමහර වචන වලට එක එක ගෑණු ළමයි උපරිම විස්තාරයකින් කම්පණය වෙන්නේ එයාලගේ Natural Frequency එකට හරියන Frequency එකක් වැදුනම තමයි…  ගොඩක් පිරිමි අය කනේ පාර කන්නේ අන්න ඒ වගේ වෙලාවට තමයි ..

අපි ඔය හින්දි ෆිල්ම් වල දකිනවා වගේ, කෙල්ලට පොඩි අකරතැබ්බයක් උනාම වෙඩි 10 – 15 උනත් කාගෙන ඇවිල්ලා කෙල්ලව බේරගන්නේ කොල්ලගේ පද්ධතිය උපරිම විස්තාරයකින් කම්පණය වෙන්න පටන්ගත්තු නිසා තමයි.. තේරෙන බාසාවෙන් කිව්වොත් බොක්කට වැදුනම තමයි.. :පී

ඕකට අපේ පිකිස් පොත් වල නම් තිබ්බ උදාහරනය තමයි අර සොල්දාදුවෝ ටිකක් මාච් කරන්ගෙන එන කොට ඒ මාච් එකේ සංඛ්‍යාතය Angers Bridge එකෙ ස්වභාවික සංඛ්‍යාතයට සමාන වෙලා පාලම කඩාවැටීම…

ඔය ඇබිත්තං භෞතික විජ්ජා පාඩම කරන්න උනේ මේ කතා බාගයට පෙර වදනක් විදියට. කතාවට වඩා පෙරවදන ලොකු වීම ගැන සොරි වෙන්න ඕන, මොකද පිකිස් නොකරපු අයටත් පොඩ්ඩක් තේරෙන්න එපැයි සිද්දිය මොකද්ද කියල… කාට හරි ඔය පෙරවදනේ තියෙන කිසි දෙයක් මීටර් උනේ නැත්නම්, බය වෙන්ඩ දෙයක් නෑ, ඒත් කතාව තේරෙයි. (එහෙනම් මොන මගුලකටද කිව්වේ නේද )

කතාව මේකයි… මේක සත්‍ය සිද්දියක් !

මම දන්න කියන යාලුවෙක්ගේ ඇඳ අද්භූත විදියට හෙල්ලෙන්න පටන් අරං… රෑට ඇඳ හෙන හයියෙන් හෙල්ලෙනවාලු…පොරට කෙසේ වෙතත් බිරින්දෑට නම් නිදාගන්න නම් බැහැලු… ඒත් ඉතිං අපේ පොරට නම් කිසි ගානක් නෑලු.. යස අගේට නින්ද යනවලු… ඒ නිසා දැන් උන්නැහේගේ බිරින්දෑ වෙනම කාමරයක තමයි නිදාගන්නේ…

ඇඳ එහෙම උපරිම විස්තාරයකින් කම්පණය වෙන්නේ අනුනාද අවස්ථාවකදී… ඒ කියන්නේ ඇඳේ ස්වාභාවික සංඛ්‍යාතයට සමාන සංඛ්‍යාතයක් එයට ලැබීමෙන්..

මොකද්ද දන්නවද කේස් එක?

අපේ පොර හෙන හයියෙන් ගොරවනවා ලු… මේ ගෙරවිල්ලේ තරම කොච්චරද කියනව නම්, ඒක සංඛ්‍යාතය ඇඳේ සංඛ්‍යාතයට සම වෙලා ඇඳ නිකන් නිව්මෝනියා හැදිච්ච ලෙඩෙක් වගේ වෙව්ලනවාලු..

අනේ අර අසරණ කෙල්ල ඒ නිසා වෙන තැනක නිදාගන්නවා… අපේ එකා නම් සැපට ඇඳ උඩ.. මොකද ඌට නින්ද ගියේ නැත්නම් ඇඳ අනුනාද වෙන්නෙත් නෑනේ !

ප/ලි: උඩ අමුනලා තියෙන පින්තූරේ තියෙන Tacoma Narrows පාලමත් අනුනාදය නිසා කඩාවැටුනා කියල ප්‍රසිද්ධ වෙච්ච පාලමක්.. ඒ උනාට ඒකේ ඇත්ත හේතුව ගගනප්‍රත්‍යාස්ථ ආවරණයක් [ aeroelastic effect ] කියලා පස්සේ නිශ්චිත උනා.

ගෙදර ඉඳන් New York වටේ රවුමක් යමු…


New York බලන්න යන්න කවුරුත් කැමතියි නේ, සල්ලි නැති නිසා ගොඩක් අය ඉතින් Grand Theft Auto: Vice City ගේම් එකවත් ගහල New York බලාගන්නවා..

ඒත් ගුගල් පෘතුවියෙන් [Google Earth] දැන් New York නුවර ත්‍රිමාණව බලන්න පුළුවන්… අපි කාටත් සුප’ර් මෑන් කෙනෙක් වගේ New York වල පාරවල් දිගේ පියඹාගෙන යන්න පුළුවන්..

වැඩි බයිලා ඕන නැහැ.. පහතින් අමුනලා තියෙන වීඩියො එක බලලා ඉන්න.

වැඩි විස්තර ඕන අය මෙතනට ගිහින් කියවන්න….

ව(ර්)ඩ් ලියවිල්ලක් PDF වලට Convert කරන්න ගුගල් යොදාගන්න


කාර්‍යලයේ වැඩ වලදි වගේම අධ්‍යාපන සහ එදිනෙදා වැඩ වලදි අපට නිතරම ඕනෑ වෙන දෙයක් තමයි අපේ ව(ර්)ඩ් ලියවිලි PDF වලට Convert කිරීම.

ඕක කරගන්න මමත් අනේකවිධ මෘදුකාඃග අද වෙනකන් ස්ථාපනය කරල තියෙනව, ෆ්‍රී ඒවා, ක්‍රැක් කරපු ඒවා වගේ එක එක ජාති…

දැන් නම් ඉතින් එච්චර වද වෙන්න ඕන නැහැ ඒක කරගන්න… මොකද අපේ අන්තර්ජාලයේ ගෝඩ් ෆාද(ර්) වන ගුගල් වලින් ඒක ලේසියෙන්ම කරගන්න පුලුවන් නිසා…

කරන්න තියෙන්නෙ පොඩි දෙයයි..

යන්න ගුගල් docs වලට,

ඔබේ ව(ර්)ඩ් ලියවිල්ල “upload” කරන්න ගුගල් docs වලට

ඉන්පසු කරන්න තියෙන්නෙ “File > Print ” එක select කරන්න විතරයි..

කරලා බලන්න…

ඇපල් iPhone OS 4 මෙහෙයුම් පද්ධතිය ගැන


වසරේ වඩාත්ම කතාබහට ලක්වූ ඇපල් අයි-පෑඩ් එළිදක්වා සතියක් යන්නත් පෙර ඇපල් විසින් ඔවුන්ගේ නවතම ඇපල් මෙහෙයුම් පද්ධතිය වන ඇපල් iPhone OS 4 ගැන පොඩි හැඳින්වීමක් මාද්‍යයට ලබා දුන්නා…

කවදත් තමන්ගේ නිල් පාට ඩෙනිමෙන් සහ කළු පාට හයි-නෙක් ට්-ෂර්ට් එකෙන් සැරසුනු ස්ටීව් ජොබ්ස් OS 4 ගැන ලෝකයාට හදුන්වාදුන්නා…

ඇපල් OS 4 මෙහෙයුම් පද්ධතිය ඇපල් අයි-ෆොන්, අයි-පොඩ් ටච් සහ අයි-පෑඩ් වලට වළංගු මෙහෙයුම් පද්ධතියක්…

iPhone OS 4 මෙහෙයුම් පද්ධතියෙන් නව වැඩ කිඩ 100ක් පමණ ඇපල් හදුන්වාදෙන්න නියමිතයි.

ඔබත් ඇපල් අයි-ෆොන් හෝ අයි-පොඩ් ටච් හිමිකරුවෙක් නම් මේක හොඳ ආරංචියක් විය හැකියි…මොකද ක්ෂෙත්‍රයේ විශෙෂඥයන් කියන හැටියට අයි-ෆොන් හෝ අයි-පොඩ් ටච් වලට අළුත් OS 4 i-Tune හරහා නොමිලයේ ස්ථාපනය කරගත හැකිවෙයි ලු.

අළුත් ඇපල් iPhone OS 4 ගැන මෙතනින් ගිහින් කියවන්න…

එළි දැක්වීමේ අවස්ථාව බලන්න මෙතනින්

හිතන්න යමක් : ගුගල් සෙවුමක් නිසා සිදුවන පරිසර හානිය? !!!


ඔබේ ගුගල් සෙවුමක් නිසා සිදුවන පරිසර හානියක් ගැන නිකමට වත් හිතුනද? එහෙම දෙයක් ගැන අපි විහිලුවට වත් හිතන්නේ නැති බව ඇත්ත. මේක ඇහුවම හිතෙනවා ඇති “මළ කෙලියයි… ඔය කියන්න යන්නේ ගුගල් පාවිච්ච්කරන්නත් එපා කියලද” කියලා.

පරිසර හානිය කෙසේ වෙතත්, ගුගල් සෙවුමක් නිසාම මට ලැබුන මේ තොරතුර බෙදාගන්න ඕන කියල හිතුනා.

එක්සත් රාජධානියේ The Times පුවත් පතේ තිබ්බ ලිපියකින් ගුගල් කිරීම ඇතුලු සාමාන්‍ය පරිගනක භාවිතය පරිසර හිතකාමී නැහැ කියල දැඩි ලෙස විවෙචනය කර තිබුනා. Havard විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයෙක් ගුගල් කිරීම නිසා වන පරිසර හානිය ගැන කරපු පරීක්ශනයක ( වෙන වැඩක් නැති කමට කරපු එකක්ද කොහෙද )ප්‍රතිඵලයක් විදියට සොයාගෙන තිබෙන්නේ සාමාන්‍ය ගුගල් සෙවුමක් නිසා කාබන් ග්‍රෑම් 7 පමන පරිසරයට නිකුත්වෙනවා කියලයි. මේ දළ අගයට ඔවුන් පැමිණ තිබෙන්නෙ ගුගල් සෙවුම පටන්ගන්නා තැන සිට එතුලින් තමන්ට අවශ්‍ය දෙය සොයාගැනීම දක්වා පරිසරයට නිකුත්කරන ග්‍රෑම් 1 සිට ග්‍රෑම් 10 දක්වා වන අගය සලකා බලලයි. ඔවුන් කියන විදියට මේ අගය වතුර කේතලයක් උණුකිරීමෙන් නිකුත්වන කාබන් ප්‍රමාණය වගේ දෙගුනයක් කියලයි! මෙයට ගොඩාක්ම වගකිව යුත්තේ ගුගල් ආයතනය බවයි ඔවුන් කියන්නේ. ඒ වගේම ගුගල් ආයතනයේ පරිසර හිතකාමීබව ප්‍රශ්නකෙරුන පළවෙනිවතාවත් මෙය නෙවෙයි.

මේ ගැන ගුගල් බ්ලොග් එකෙන් උත්තර බඳින ගුගල් සමාගම නම් කියන්නේ ඔවුන්ගේ සාමාන්‍ය ගුගල් සෙවුමක් සඳහා වැයවන්නේ කිලෝජූල් 1 (කිලෝවොට් පැය 0.0003) පමන ශක්තියක් කියලයි. මේ අගය කාබන් ග්‍රෑම් 0.2 වෙනවා. සාමාන්‍ය පුවත්පතක් සඳහා වැය වෙන කාබන් ප්‍රමානය ගුගල් සෙවුම් 850කට සමාන බවයි ගුගල් නම් කියන්නේ.

කොහොම උනත් තමන්ගෙන් වෙන පරිසර හානිය අඩු කරන්න විවිධ විදියට ගුගල් උත්සාහ කරන ගමන් විදුලි ශක්ති වෙළදාමටත් අතගහලා…

ළඟදී අමෙරිකාවෙ විදුලි ශක්ති වෙළදාම් කරන්න බලපත්‍රයත් ගුගල් වලට ලැබුනා. ඒ වෙළදාමට සමගාමීව Google PowerMeter කියලා විදුලිය ශක්තිය නිරීක්ශන මෘදුකාංගයක් (Energry Usage Monitoring Software) ගුගල් එළිදැක්වුවා…

ජෙට් ඉන්ධන අයිස් වී…


2008 ජනවාරි මාසෙ ලන්ඩන් වල හීත්‍රෝ ගුවන්තොටුපලේදී සිදුවූ හදිසි ගොඩබෑමකදී අනතුරට ලක්වුන බ්‍රිතාන්‍ය ගුවන්සේවයේ බෝයිං 777 ගුවන්යානය ගැන සමීක්ෂන වාර්තාව ඊයේ නිකුත්කලා.

අපි හැමෝම පුදුමවන විදියට අනතුරට හේතුව වශයෙන් බ්‍රිතාන්‍ය ගුවන් අනතුරු සමීක්ෂන ශාඛාව ( Air Accidents Investigation Branch, AAIB-UK) කිව්වේ ගුවන්යානයේ ඉන්ධන ටැංකියේ සිදුවූ අයිස් කැටි ගැසීමක් නිසා අනතුර සිදුවුනා කියලයි.

ගුවන්යානයේ ඇන්ජින් සියල්ල ක්‍රියාවිරහිත වීම නිසා හදිසියේ ගොඩබෑමට සිදුවූ ගුවන්යානය, ගොඩබෑමෙදී අනතුරට ලක්වුනා. ඒත් වාසනාවකට වගේ ජීවිත හානියක් උනේ නැහැ.

බ්‍රිතාන්‍ය ගුවන් අනතුරු සමීක්ෂකයන්ට විශ්වාස කරනනේ ගොඩබිමින් ඉතා ඉහලදී පවතින උෂ්ණත්වය අනුව ජෙට් ඉන්ධන ටැංකිය ඇතුලේ අයිස් කැටි ගැසී ඒවා ගුවන්යානයට ඉන්ධන සපයන නල ඇතුලත හිරවීම නිසා ඇන්ජින් වලට ඉන්ධන නැතිවී යෑමෙන් අනතුර සිදුවුනා කියලා.

1948 දී බ්‍රිතාන්‍යයේ රාජකීය ගුවන් හමුදාවට අයත් යානයකත් මෙවැනිම දෙයක්වුනා. Attacker FB2 යානයේ ඇන්ජින් දෙකම ක්‍රියාවිරහිත වී තියෙද්දි නියමුවන් ඒ යානය සුරක්ෂිතව ගොඩබෑවා. ඊට පස්සෙ දවසෙ උදෑසන පරීක්ෂා කරද්දී ඉන්ධන ෆිල්ටර් වල වතුර තියෙනවා ඇරෙන්න අනතුරට කිසිම හේතුවක් ඔවුන්ට ලැබුනෙ නැහැ. ඊට පස්සෙ යානය පරීක්ෂන ගමනක සාර්ථකව යෙදුනා. ඒ නිසා නිගමනය උනේ ඉන්ධන වල තිබු වතුර කැටිගැසීමෙන් එය සිදුවුනා කියලයි.

සාමාන්‍ය කාමර උෂ්ණත්වයෙදී ජෙට් ඉන්ධන වල ජලය ප්‍රමාණයක් මිශ්‍ර වෙලා තියෙනවා. ඔවුන්ගේ නිගමනය උනේ උෂ්ණත්වය නිසා ඉන්ධන වලින් මෙම ජල සංඝටක වෙන්වී කැටි ගැසීමෙන් මේක සිදුවුනා කියලයි. ඉන්පසු ඔවුන් කලේ ජෙට් ඉන්ධන වලට මෙතනොල් වැනි antifreeze වර්ගයක් එකතු කිරීමයි. ඉන්පසුව එවන් අනතුරු සිදුවුනේ නැහැ.

කොහොම උනත් බෝයිං 777 ගුවන්යානයේ ඉන්ධන අයිස් උනේ කොහොමද කියලා පරීක්ෂණ වාර්තාව කියන්නේ නැහැ.

බෝයිං 777 ගැන ඒ වගේම තවත් වැදගත් නිගමනයක්වුනේ, එහි “ගොඩබෑමේ රෝද පද්ධතිය” [Landing Gears] ලන්ඩනයේ දී සිදුවුනා වගේ රළු ගොඩබෑමකට සුදුසු විදියට නිපදවා නොමැති බවයි. මේ ගොඩබෑමේදී ගුවන්යානයේ ඉදිරි රෝද පද්ධතිය ( සිදුවිය යුතු ලෙස ) කැඩී ඉවත්වී ගිය අතර පසුපස රෝද පද්ධතිය කැඩී ගියේ නැහැ. පසුපස රෝද පද්ධතිය යානයේ ඇමිණී තිබීම නිසා කැඩී ගිය කැබලිවලින් යානයේ ඉන්ධන ටැංකි වලට සහ බඳට දැඩි හානි සිදුවුනා.

බෝයිං 777 ගැන පරීක්ෂණ වාර්තාවේ නිගමනයවුනේ සෑම රළු ගොඩබෑමකටම සුදුසු විදියට එමගොඩබෑමේ රෝද පද්ධතිය නැවත නිර්මාණය කලයුතුයි කියලයි.

කොහොමින් කොහොම වෙතත්, 141,000 විතර දැනට ධාවනයේ යෙදෙන බෝයිං 777 ගුවන්යානා අනතුරේද කියන එකට නම් තවම පිළිතුරු නැහැ….