Tag Archives: ආදරය

රෑ දුරු රට රැඳි තනිකම


මව්බිමෙන් පිටත ගෙවුනු කාලය දශකයකට ආසන්න වෙන්මින් පවතී. ගෙවුනු ඒ කාලයේ මාත් සමඟ නිරතුරුවම සිටි එකම දේ වූයේ තනිකමයි. නේක විද අත්දැකීම් සහ මිනිසුන් ඔස්සේ ගෙවුන ඒ ජීවිතයේ තිබූ තනිකමම ඒ පාසැල් සිසුවාගේ සිට මා අද සිටින ශක්තිමත් මිනිසා දක්වා මා වෙනස් කලා විය හැකිය.

කොතරම් හිත මිතුරන් සිටියත්, දුර බැහැර ඉන්නා සෑම විටම ආදරය නැති අඩුපාඩුව මහා තනිකමක් සේ දැනෙන වග මා මෙන්ම රටින් දුර බැහැර සිටින් සැවොම පිළිගන්නවා ඇත…

රෑ දුරු රට මේ
හිම වරුසා.. සීත පාලුවේ…
මූදු සතකින්, ඈත දේසේ
මා තනිවේ..

කල්පනා ලෝ පෙම් දැහැනේ
ක්ෂිතිජ නිම්නයේ
රෑ තනි යහනේ….

දෑත වෙන්වී පෙම් විහඟුන්
සිහින තොටුපලේ
රාත්‍රි යාමේ….

රෑ දුරු රට මේ…

දුරබැහැර සිටිනා විටෙක මේ ගීතය තරම් හිතට කාවදිනා ගීතයක් සොයාගැනීමට මට අපහසුය.

ක්ෂිතිජය දක්වා දිවෙන නොනිමි නිදිවර්ජිත කල්පනා දුරස් වූ පෙම්වතුන් සැමට උරුම වූවකි… බොහෝමයක් දෙනා මේ කල්පනා ලොව තනිවන්නේ නිදියහනේදීය..

අවසන් දසුන සැමදා පෙම්වතුන් මතකයේ රැඳේ.. නිදි වර්ජිතව බොහෝදෙනා ආවර්ජනය කරන්නේ ඒ සුන්දර දසුන් කිහිපයයි.. අතිනත පටලා සිටි ඒ පෙම් රැහැන, සිහින තොටුපලේදී වෙන්වී ගිය අයුර පෙම්වතුන් නිබඳවම සිහි කරති. මෙහිදී සිහින තොටුපල කියා හැඳින්වූයේ අප සාමාන්‍ය ව්‍යවහාරයේ ගැනෙන ‘ගුවන් තොටුපල’ විය යුතුය. මෙය ඉතා අගනා යෙදුමක් බව මගේ හැඟීමයි.. බොහෝමයක් පෙම්වතුන් සිය ප්‍රියයන්ගේන් වෙන්වී දුරබැහැර යන්නේ සිහින සැබෑ කරගැනීමටයි. ඒ සිහින සහ ආදරය වෙන්කරන තොටුපල සිහින තොටුපලයි.

පණ්ඩිත් අමරදේවයන් තරම් ගීතයක භාව ප්‍රකාශය කළ හැකි ගායකයෙක් තවත් නොමැති තරම්ය. මේ ගීතයේදී පද පෙළට සහ ගීතයේ අරුතට ඈදෙන්නටම අමරදේවයන්ගේ හඞ ද මහා තනිකමක් කියාපායි. එතරම්ම අද්විතීය පද රචනයක් නොවූවත්, ආදරය දුරස්බව සහ තනිකම එකට ඈදා සැදි පේලි කිහිපයකින් ඉතාම සංවේදී පණිවුඩයක් දෙන්නට අජන්තා රණසිංහයන් සමත් වී ඇත. මේ දෙදෙනාටම නොදෙවනි වන සරත් දසනායකයන්ගේ සංගීත නිර්මාණය ගීතයට මනා සාධාරණයක් ඉටුකරයි. දුක සහ තනිකමට වඩාත් සමීප සංගීත භාණ්ඩයන් වන බටනලාව සහ සිතාරය මනාව යොදාගැනුමෙන් සංගීතය ගීයේ අරුත ඔපදමන්නට සමත්වී ඇත.

ගීතය අහන්න මෙතැනින්.

ආදරයට බාධක!


ආදරවන්තයින්ට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි තමන්ගේ ආදරයට බාධා එල්ල වීම. ජාති බේධ, කුල බේධ, පන්ති බේධ, ආගම්, මුදල්, වගේ මෙකී නොකී හැම දේම ආදර සම්බන්ධතා වලට අකුල් හෙලනවා…

වාසනාවකට වගේ මට නම් තවම ඕවා එකක් වත් බලපෑවෙ නැහැ. ඉස්කෝල යන කාලේ, සාමාන්‍ය පෙළ කරන්නත් ඉස්සෙල්ල, ආදරය කරන්න ගත්තු මට බාධා එල්ල උනේ නැත්තේ, ගෙවල් වලින් ඒවා ගැන දැන ගන්නකොට ආදරත් නැති වෙලා ගිහින් තිබ්බ නිසා…

උසස් පෙළ කරන කාලේ වෙනකොට ඔක්කොම හබක්…

ඊට පස්සෙත් කෙනෙක්ට හිත ගියාට ඒවා හරි ගියේ නැහැ…

ඒවා ගැන රස කතා තියෙනවා, ඉඩක් ලැබුන වෙලාවට කියන්නම්…

හැම දේම වෙන්නෙ හොඳටනේ කියන එක ඒ දවස් වල තේරුනේ නැති උනාට එතනින් අවුරුදු 8 -9 කට පස්සෙ දැන් හැරිල බලනකොට හැමදේම වෙලාතියෙන්නෙ හොඳටයි…

උසස් පෙළත් තව පොඩ්ඩෙන් කෙළ වෙනවා.. කොහොම හරි මගේ අවසාන කාලේ උත්සාහය නිසා උසස් පෙළත් ගොඩ… උසස් පෙළින් පස්සේ ඔය හැම එකකම හැබෑ ස්වරූපය තේරුම් අරගෙන මට කල්පනාවුනේ අධ්‍යාපනයෙන් තොර මෙයින් ගොඩවීමක් නැහැ කියලයි… ෆුල් ගට දාලා පාඩම් කරලා ඉහලින්ම උපාධිය ගොඩදාගන්න පුළුවන් උනා..

ඔය ඔක්කොම කරලා රස්සාවකුත් කරන ස්ථාවර මනුස්ස්යෙක් උනාට පස්සේ ඔන්න ආයෙත් මල්සරා හොයාගෙන ඇවිත් විද්දා විදිල්ලක්… දැන් ඉතින් ඒකෙන් ගැලවීමක් නැහැ… මොකද මම බලාපොරොත්තු උනාට වඩා ඉතා හොඳ කෙනෙක් ලැබුනම කොහොම අතාරින්නද? ඉතින් ඒ ආදරයටත් බාධක නම් නැහැ… දෙපැත්තේම දෙමාපියන් එකඟයි…

මාතෘකාවෙ තියෙන, මට කියන්න ඕන කතන්දරේ පටන් ගන්නේ ඒතනින් පස්සේ… ඊට ඉස්සරින් ඔය පත හෑල්ලක් පුළුවන්-කෙටියෙන් ලියන්න හිතුනේ, තමන්ගේ සැබෑ අරමුණ තේරුම් අරගෙන වැඩකරන්න කියන එක සා/පෙළ, උ/පෙළ කරන, ඉගෙන ගන්න නංගිලා මල්ලිලාට කියන්නයි…. මම කරගත්තා වගේ අධ්‍යාපනයයි ආදරයයි අච්චාරු දාගන්න එපා.. ඉගෙන ගෙන ඉවර උනාම ඒවා නිකන්ම ලැබෙනවා…

හරි… බණ ඉවරයි..

කතාව තමයි, දැන් දැන් මගේ ආදරයටත් නිතරම බාධක… මේක කියවන මාව දන්න කියන උදවිය බලනවා ඇති මොකද මේ ළඟදි බඳින්න ඉන්න මනුස්සයාට උනේ කියලා…

කතාව ඇත්ත..බාධක නම් බෝමැයි.. ඒත් අර උඩින්ම ලියලා තියෙනවා වගේ ඒවා නම් නෙවෙයි…

දැන් ටික කලක ඉඳලා ඉස්සර ෆුල් සපො’ට් එකෙන් හිටපු ස්කයිප් එකත් මගේ ආදර‍යට බාධකයක් වී ඇත…

ස්කයිප් නිතරම ඩ්‍රොප් වෙයි….

යාහූ වලින් හරිහැටි ඇහෙන්නේ නැත….

ගුගල් ටෝක් එකට මැසේජ් එකක් වත් හරිහැටි යවාගන්න බැරි‍ය…

මොබිටෙල් බ්‍රෝඩ්බෑන්ඩ් පණ අදින්නා සේය…

දෙපැත්තේ මොබයිල් බිල් ගොඩගැහිලාය…

බලාගෙන ගියාම, “බාධක නැති ආදර නෑ” කියන්නේ ඇත්තය…