Tag Archives: කාන්තාරෙ

මේ තිරිසන් ක්‍රියාව හෙලා දකිමු..


අධික වැඩ මධ්‍යයේ උවද එක් කරුණක් නිසා මේ සටහන තැබීමට අවශ්‍යය විය.

සෞදි අරාබියේ රැකියාවකට ගිය ශ්‍රී ලාංකික කාන්තාවකගේ සිරුරට යකඩ ඇන රත්කර ඇතුලුකිරීමේ සිද්ධිය දැක බලවත් කම්පාවට පත්වුනෙමි. ඒ පිළිබඳව ඩේලි මිරර් වෙබ් අඩවියේ පුවත [1] [2] දැකීමෙන් ශෝකයක් මෙන්ම තරහක් ද උපදී..  එම ගෘහ සේවිකාව කුමන වැරැද්දක් කරත් ( එසේ කර ඇත්නම්),  මෙවන් පාපතර ක්‍රියාවක් කිරීමට තරම්  ඒ සේවා දායකයා කෙතරම් තිරිසනෙක් විය යුතුද යන්න මනුසත්කම දන්නා  කා හටත් නැගෙන ප්‍රශ්නයක් විය යුතුය.

සෞදි අරාබියේ රැකියාවට යන ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන්ට මෙවන් අඩන්තේට්ටම් සිදුවූ පළමු සහ අවසාන අවස්ථාව මෙය නොවිය හැකියි. ඒ කෙසේ වෙතත්, මෙතෙක් සිදුවී ඇති කරුණු සළකා බලන විට යම්තාක් දුරකට මෙවන් සිදුවීම් සෞදි මිනිසුන්ගේ පහත් මානසිකත්වයේ කැඩපතක් ලෙස යමෙක් සළකන්නේ නම් එය වැරැද්දක් විය නොහැකිය. තමන් යටතේ වැඩකරන අයට වහලුන්ට මෙන් සැළකීම පහත් මානසිකත්වයේන් පෙළෙන්නන්ගේ ලක්ෂණයකි.

මෙය මින් පෙර වාර්තාවූ රිසානා ගේ සිද්ධිය හා සසඳන්නට මම ඉක්මන් නොවෙමි. නමුත්, මෙවන් සිදුවීම් දකිද්දී සිතෙන්නේ ලාබාල රිසානා වුවත් එතරම් දරුණු ක්‍රියාවක් කරන්නට පෙළඹවූ කරුණු මෙවන් සිදුවීම් අස්සේ රහසේ සොයාගත හැකි බවයි.. රත් කළ යකඩ ඇන වරින් වර සිරුරට ඇතුල් කරද්දී එයට එරෙහි වීමට තබා බෙහෙතක් ලබා ගැනීමටවත් හැකියාවක් මෙවන් ගෘහ සේවිකාවන්ට නොමැති වීමෙන්, ඔවුන් සිටිනා තත්ත්වය ගැන දළ වැටහීමක් ලබාගත හැකිය. ඔවුන් කෙතරම් අසරණද? මේ සිදුවීම තුළින්ම රිසානා සෞදියේ සිටින්නට ඇති තත්ත්වයත් ඇය තුළ තිබෙන්නට ඇති මානසික පීඩනයත් හඳුනාගත හැකිය. එක් අතකින් මේ කාන්තාවට මේ සක්කිලි වද හිංසා විඳ දරාගැනීමට තිබූ දිරිය සහ ආත්ම ශක්තිය ගැන අප පුදුම විය යුතුය.

මේ පිළිබඳව විදේශ නියුක්ති කාර්‍යංශය සහ සෞදි තානාපති කාර්‍යාලය ඇතුලුව විදේශ අමාත්‍යංශය ගන්නා පියවර ගැන අපි සෝදිසියෙන් සිටිමු.. සිදුවූ වරද නිවැරදි කළැ නොහැක. නමුත් විපතට ලක්වූ ඒ කාන්තාවට සරිලන වන්දි මුදලක් සහිතව යුක්තිය ඉටුකරදිය හැකියි. එමෙන්ම මේවන් සිදුවීම් යළි නොවන්නටත් වග බලාගත යුතුය.

ප/ලි : සෞදි අරාබියට දන්න කියන කාටවත් යන්න කියල කියනවද?

මැද පෙරදිග දහම්පාසල…


මෙහේ, ඒ කිව්වෙ මේ කාන්තාරෙ, තියෙනවා පුංචි දහම් පාසලක්. සිකුරාදා දවස් වල තානාපති කාර්යාලයේ තියෙන මේ දහම් පාසලේ ඔක්කොම ගුරුවරු උගන්වන්නෙ ස්වේච්චාවෙන්.
පුංචි පුංචි ළමයි 20ක් විතර එනව දහම්පාසලට. සිකුරාදා කියන්නෙ මෙහේ නිවාඩු දවස නේ. සතිය තිස්සෙම වැඩ කරලා මහන්සි වෙලා ඉන්න ගොඩක් අය සිකුරාදත් කලින් නැගිටින්න වෙන නිසා ළමයි දහම්පාසල් එවන්නේ නැහැ. ඒත් හැමදාම වාගේ එන අයත් ඉන්නවා..

ලංකාවෙන් පිට හිටියත් පොඩි උන්ට අපේ ආගම උගන්නන එක ඉතා අවශ්‍ය දෙයක්.

මේ කාන්තාරයක් මැද අපිට නුපුරුදු රටක ඉඳගෙන පොඩිඋන්ට ආගම දහම කියල දෙන්න තමන්ගේ නිවාඩු දවස කැප කරන ඒ ගුරු මහත්වරුන්ට පින් සිද්ධවෙන්න ඕන.

පහුගිය අවුරුද්දෙ දවසක මම ඔය දහම්පාසලට ගිය වෙලාවක වෙච්ච පොඩි දෙයක් මට තාම මතකයි…

දහම්පාලෙ උගන්වන ගුරුතුමිය අවුරුදු 5 ට අඩු බට්ටි පැටවු ටිකකට සිදුහත් කුමාරයාගෙ උපත ගැන කියල දෙනවා… ලංකාවෙන් ගෙන්න ගත්තු දහම්පාසල් පොත් වල තියෙන චිත්‍ර පෙන්න පෙන්න සිදුහත් කුමාරයා මෙලොව එළිය දුටු හැටි ඉංග්‍රීසි සිංහල මික්ස් කර කර කියල දෙන්නෙ පොඩි උන්ට හොඳින් තේරෙන්න… මේ චුටි ළමයින්ට වැඩිය සිංහල බැහැ… ඒක ඒ අහිංසක උන්ගෙ වරද නෙවේ…

පොඩි එවුන් කොහොමත් කැමතියි නේ චිත්‍ර අඳින්න. චිත්‍ර අඳින්න දුන්නෙ නැත්නම් පොඩි එවුන් ටික අනිත් දවසෙ දහම් පාසල් ගෙන්න ගන්නව බොරු. ඒ නිසා ගුරුතුමිය දුන්න පොඩි උන් සෙට් එකට සිදුහත් කුමාරයාගෙ උපත ගැන චිත්‍රයක් අඳින්න කියලා.

අපි කවුරුත් අහලා තියෙන කතාවක් නේ සිදුහත් කුමාරයා ඉපදිල නෙළුම් මල් හතක් උඩින් ඇවිදලා ” මම ලොවට අග ( අග්‍ර ) වෙමි” කියල කිව්වා කියලා…

ඒක ගැන පොඩි එකෙක් ලස්සන චිත්‍රයක් ඇඳල තිබ්බා….

සයිබර් යායේ බුද්ධි ට වගේ මට චිත්‍ර අඳින්න බැරි හින්දා මම ඒකෙ තිබ්බ දේ කියන්නම්.

ඒ පොඩි බට්ට තමන්ට පුළුවන් විදියට මල් ටිකක් පාගා ගෙන ඇඟිල්ලක් උස්සගෙන ඉන්න මනුස්සයෙක් ව ඇඳලා තිබ්බා….

චිත්‍රය විස්තර කරපු ඒ කොලු පැටිය කිව්වෙ මෙන්න මෙහෙම:

” බුද්ධ අංකල් කේම් ටු දිස් වර්ල්ඩ් ඉන් අ වෙසක් ඩේ. ඊට පස්සෙ බුද්ධ අංකල් සෙවන් ස්ටෙප්ස් තිබ්බා ෆ්ලවර්ස් උඩ…. ඊටත් පස්සේ…. බුද්ධ අංකල් සේඩ් හී ඉස් ග්‍රේට් කියලා….”

ඒ පුංචි පැටවුන්ගේ අහිංසක බවයි…

ශ්‍රී ලාංකිකයන්ට පුප්පන අපේ ජාතික ගුවන් සේවය…


මෑතකදි මට අහන්නට ලැබුනේ අපේ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සේවය ගිය වසරේ පාඩු ලැබූ ආයතනයක් වූ බවයි. වැරදි නම් තතු දත්තෝ කමා වී මා නිවැරදි කරත්වා…

මේ ලිපියේ අරමුන ශ්‍රීලංකන් ගුවන් සේවයේ පාඩු ගැන කථා කිරීම නොවේ, ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් සිදුවන විශාල අඩුපාඩුවක් පෙන්වා දීමයි. සමහර විටෙක පාඩු ලැබීමට මෙයත් හේතුවක් වියහැකි නිසා පාඩුව ගැන කියලම ලිපිය පටන්ගන්න හිතුනා. එහෙම නැතුව කිසිම දේශපාලන පරමාර්ථයකින් එහෙම කිව්ව නෙවේ.

දැන් වසර ගනනාවක සිට ලංකාවෙන් පිටත ජීවත්වූ මම ශ්‍රී ලාංකිකත්වය කවදත් අභිමානයක් කොට සිතුවෙමි. හැකි හැම විටම අපේ ජාතික ගුවන් සේවයෙන් ගමන් කරන්න පුරුදුවුනේ ඒ හැම සතයක්ම කෙසේ හෝ ලංකාවට යන නිසාය. ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපේ ගුවන් සේවයේ ගමන් කිරීම අප සතු වගකීමක් වුවත්, කණගාටුවෙන් උනත් කියන්නට සිදුව ඇත්තේ මා ඇතුලුව වැඩිමනක් මගේ යහලුවන් දැන් ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් ගමන් කිරීම නවතා ඇති බවයි. ඒ වෙනත් හේතුවක් නිසා නොවේ. අපේම ජාතික ගුවන් සේවයේ ගුවන් සේවිකාවන් ශ්‍රී ලාංකිකයන් වන අපට පුප්පන හැටි බලාසිටින්නට නොහැකි නිසාය.

මේ තත්ත්වය මැද පෙරදිගට ගමන් ගන්නා ගුවන් යානා වල ඉතා දැඩි වශයෙන් දක්නට ඇති බව කනගාටුවෙන් යුතුව කිව යුතුව ඇත.

පළමුවෙන්ම, මේ ගුවන් සේවිකාවන් සිතාසිටින්නේ මැද පෙරදිග සිටින සියලුම දෙනා එක්කෝ ගෘහ සේවිකාවන් හෝ රියදුරන් බවයි. එම නිසාද කොහෙදෝ ඔවුන් අප ශ්‍රී ලාංකිකයන්ට කතාබහ කරන්නේ සහ සලකන්නේ ඒ අයුරිනි. එම නිසා මුල් කාලයේ ශ්‍රීලංකන් හි ගමන් කරන විට කෝට් බෑයක් වත් ඇඟ ලා යෑමට මම පුරුදුව සිටියෙම්. ඒ විශේෂ අවධානයක් ගන්නට නොව, ඔවුන්ගේ රළු කතා බහින් වැලකී සිටීමටය. නමුත් අවට සිටින අයට ලැබෙන සැලකිල්ල මම දුටුවෙමි. මේ නිසා ශ්‍රීලංකන් යානය තුල ගුවන් සේවිකාවන්ගේ උදහසට ලක්නොවී සිටීමට නම් එක්කෝ ඔබ ඉංග්‍රීසියෙන් කතා කල යුතුය, නැත්නම් උත්සවයකට යන්නාක් මෙන් හැදපැළඳ සිටිය යුතුය.

ගුවන් සේවිකාවක් යනු ඉතා වගකිව යුතු රැකියාවකි. ගුවන් යානයේදි මගීන්ට සැළකිලි කරනවාට අමතරව හදිසි අවස්ථාවකදි ඔවුන් සතු වගකීම් බොහෝ ය. ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් සේවිකාවන් බොහොමයක් (හැමෝම නොවේ ) සිතා සිතින්නේ ඔවුන් හරි “බඩු” කියාය. ඒ නිසාමද කොහෙදෝ ඔවුන් අනිත් ගුවන් සේවාවල අය මෙන් නොව ඉතා ආඩම්බරය. (ඒ තත්ත්වය විස්තර කිරීමට මට සොයගත හැකි වූ සංවරම වචනය “ආඩම්බර” යන්නයි ) . යමෙක් ඔවුන්ට කතා කළහොත්, විශේෂයෙන් ශ්‍රීලාංකිකයෙක් කතා කළහොත්, එය ඔවුන් හා flirt කිරීමක් ලෙස ඔවුනට හැඟෙන අතර ඔවුන්ගෙ උදහසට ලක් වීමට ඇති ඉඩකඩ වැඩිය.

වෙනත් රට වල මෙන් නොව ගුවන් සේවිකාවක් වීමට බුද්ධියට වඩා රූපය අවශ්‍යයව ඇති විටෙක මෙය සාමාන්‍ය දෙයක් බව ඔවුන්ගෙ උදහසට ලක්වන උදවිය නිතර සිතන දෙයකි.

ඕනෑම ජාතික ගුවන් සේවයක ප්‍රධාන ගමන් කරුවන් වන්නේ එම ජාතිකයින් ය. එම සමාගම ලාභ ලබන්නේ ඔවුන් ගමන් කරන නිසාය. එම නිසා ගුවන් සමාගමක් සතු වටිනාම ධනය තම ජාතිකයන්ගේ විශ්වාසයයි. ඔවුන් හට හරි හැටි සැලකීම (ගෘහ සේවිකාවක් හෝ රියදුරෙක් වුවත්) සමාගම සතු වගකීමකි. මැද පෙරදිග සිට ශ්‍රීලංකන් හි ඉන්දියානුවන් බොහෝ දෙනෙක් ගමන් කරති. ඒ අඩුවෙන් ඉන්දියාවට යෑමටය. ශ්‍රීලංකන් හි ගමන් කරන මලබාරි හෝ වෙනත් ඉන්දීය ජාතිකයෙක්ට අපට ලැබෙනවාට වඩා ලොකු සැලකිල්ලක් ලැබේ. ඔවුනට හොඳින් සළකා ආකර්ෂනය කරගන්නට උත්සාහ කරන ශ්‍රීලංකන් සේවය හට ඉතා වැදගත් යමක් අමතක වී තිබේ. ඒ ශ්‍රී ලාංකිකයන් ය.

මේ ගැන මට ලියන්නට හිතුනේ මේ අත්දැකීම ලැබු අයෙක් හොඳටම කළකිරී කිවු කතාවක් නිසාය. මැද පෙරදිග සමාගමක ඉහලම පෙලේ විධායක තනතුරක් දරන, වයස අවුරුදු 50 ඉක්මවූ ඔහු, එක් ගුවන් සේවිකාවක් හා වාදයකට පැටලී ඇයට අවසානයට කියා තිබුනේ මේසේ ය…

” Look young lady, you’re not more than a waiter in a restaurant. “

ගුවන් සේවිකාවක් වැනි වගකිව යුතු රැකියාවක් වේටර් තත්වකට දැමු ඔහු මට කීවේ නැවත කිසි දිනෙක ශ්‍රීලංකන් හි ගමන් නොකරන බවයි.

මේ ගැන ශ්‍රීලංකන් කළමනාකාරීත්වය ඉතා සැලකිල්ලෙන් බැලිය යුතු බව මගේ හැඟීමයි.

—   —
ප.ලි: සියලු දෙනාම මතක තබා ගත යුතු අනෙක් කරුන නම්, දැනට ලංකාවේ ප්‍රධාන ආදායම වී තිබෙන්නේ මැද පෙරදිගින් ලැබෙන විදේශ විනිමයයි.බොහෝ දෙනා සිතා සිතින්නේ ගෘහ සේවිකාවන් නිසා මෙය ලැබෙනවා කියායි.

විදේශ විනිමය ලැබෙන්නේ ගෘහ සේවිකාවන් වැනි නොපුහුනු ශ්‍රමිකයින්ගෙන් නොව ලක්ෂ ගනනක් වන මැද පෙරදිග සිටින ඉංජිනේරුවරුන්, ප්‍රමාණ සමීක්ෂකයන්, ගණකාධිකාරීවරුන්, බැංකු නිලධාරීන් සහ නේක විධ වූ පුහුණු ශ්‍රමිකයින්ගෙන් ගෙනි. යුරෝපයේ, ඇමරිකාවේ සිටින බොහෝ අය මැදපෙරදිග සිටින ශ්‍රී ලාංකිකයන් මෙන් තම පඩිය ලංකාවට එවන්නේ නැත….

කාන්තාරෙට නිවාඩු …


අද සිකුරාදා…. කාන්තාරෙට නිවාඩු … හැම සිකුරාදාම උදේ පාන්දරින් කොල්ලො ටිකත් එක්ක ක්‍රිකට් ගහන්න ගිය මට කනගාටුවෙන් උනත් ගෙදර ඉන්න සිද්ධවුනේ හෙට මට පොඩි විභාගයක් තියෙන නිසා. පොඩි කිව්වට ඒක පොඩිම නැහැ.

වෙනදා පුරුද්දට උදේ පාන්දර නැගිටලා, බඩගින්නක් දැනුන නිසා මම ගියා කෑමට දෙයක් හොයාගෙන. කොහොමත් සිකුරාදා උදේ එළියට යන එක මාර කික්. මුළු කාන්තාරෙම නිදි නිසා පාරවල් ඔක්කොම හිස්. පුදුම නිස්කලංකයක් තියෙන්නෙ. කාන්තාරෙ ඉන්න අයටනම් මේක ලොකු දෙයක්. සිකුරාදා උදේ එළියට යනවා කියන්නෙ හරියට ලංකවේ ඉන්නකොට ඉරිදා උදේක එලියට බැස්සා වගේ තමයි. කුරුල්ලො කෑගහන සද්ද කාන්තාරෙ ඉන්න අයට අහගන්න ඕන නම් මේක තමයි හොඳම චාන්ස් එක. ළඟදි වැටුන වැස්ස නිසාද කොහෙද කාන්තාරෙ උනත් පොඩ්ඩක් වෙනස් වෙලා.