Tag Archives: දේශපාලනය

දේශපාලනයේ ‘නාකි’ සළකුණ.


ඇමති මණ්ඩලය ගැන විවිධ කතා වටින් පිටින් ඇසේ.

ඒවා කෙසේ උනත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එක හොඳ වැඩක් කර ඇත. මෙවර, වයෝවෘද්ධ වැඩ කිරීමට පණ නැති ඇමතිවරුන් එකතුකොට “සීනියර් මිනිස්ටර්” ලා වශයෙන් වර්ග කර ඇත. මේ කැටගරියට වැටී සිටින්නේ අවුරුදු 65 ඉක්මවාගිය “පරිණත” නමුත් මැරෙනතුරු විශ්‍රාම නොයන දේශපාලඥයන් සමූහයකි.

මේ දේශපාලඥයන් ඔවුන්ගේ ජීවිත කාලය පුරා රටට වැඩ කලා විය හැකිය. එම හේතුව නිසාම කෘතගුණ සළකන්නට දන්නා ලාංකීය ජනයා ඔවුන්ට ඡන්දය දී හැම විටම පාර්ලිමේන්තුවට පත් කර එවයි. ඡන්දය දිනා එන්නට තරම් වැඩ කර නොමැති නම්, මේ “පරිණත” දේශපාලඥයන් කරන්නේ එවකට සිටින නායකයාගේ දෙපතුල සිඹ ජාතික ලැයිස්තුවෙන් මැම්බර් කෙනෙකු වීමය.

මෙවැනි “සීනියර්” දේශපාලඥයෝ සෑම ප්‍රධාන පක්ෂයකම සිටිති. වැඩිමනක් දෙනා වැඩක් නොකරන හෝ වැඩක් කරගන්නට නොහැකි දුර්වල තත්ත්වයකද සිටින්නෝ වෙති. අතීතය දෙස බැලූ විට හොඳම උදාහරණය නම්, දුබලව රෝද පුටුවේ සිටිද්දී, අගමැතිනිය වූ සිරිමාවෝ බණ්ඩාරණායක මැතිනියයි. දිගටම කියවන්න

Advertisements

පබා ආණ්ඩුවට ගියේ තර්ජනයක් නිසාද ?


“ඈ බං.. ඇත්තද අර පබා ආණ්ඩුවට ගියේ තර්ජනයක් නිසා කියන්නේ? ආණ්ඩුවේ ලොකු තැනකින් ත්‍රෙට් එකක් ලැබිලලු.”

ඒ හර බර දේශපාලන සංවාදයක මැද එකෙක් අසන ලද ප්‍රශ්නයකි.

“මොන පිස්සුද බං… එහෙම වෙන්න කොහෙත්ම ඉඩක් නෑ…. ”

එසේ තවෙකෙක් විරුද්ධ වෙයි.

“උඹ එහෙම කියන්නේ කොහොමද?”

” ඇයි බං… ඔය වගේ තර්ජනද ඔය කෙල්ලට ආවේ… අර කොල්ලගේ තාත්තා මොනතරම් මරනවා කියල තර්ජනය කරාද ඒකිට.. එහෙව් තර්ජන වලට බය උනේ නැති ගෑණි දැං බය වෙයි කියල මම නම් හිතන්නේ නෑ.. ”

” ඈ..!! මම එහෙම කෙස් එකක් දැනගෙන හිටියෙ නෑනේ.. මොන කොල්ලගේ තාත්තද තර්ජනය කරල තියෙන්නේ? දැන් බැඳලා ඉන්න කොල්ලගේද? ”

” නෑ බං… අර ඉස්සර බඳින්න හිටපු කොල්ලගේ තාත්තා බං….”

“ඒ කවුද බං ඒ…”

“අර ආමන්තයගේ තාත්තා බං.. රෙජිනොර්ල්ඩ් කාරයා.. ඒ යකා ඉස්සර ඔය කෙල්ලව මරන්න හෙව්වා.. එහෙව් එකේ ඔය කෙල්ල ආණ්ඩුවේ තර්ජන නිසා නම් පනින්නේ නෑ…ඒක ෂුවර් ”

පබා සහ බබා


පබාලාට මෙන්ම බබාලාටත් වැඩිපුරම සිදුවන්නේ අසාධාරණයන්ය. පබාලාට ඕනෑ හැටියට ටෙලියක් කරගෙන ඉන්නට නැති අතර බබාලාට ඕනෑ හැටියට වැලි සෙල්ලං කරන්න බලයේ සිටිනා උදවිය ඉඩ දෙන්නේ නැත.

පබා සහ බබා කවදත් කළේ එයට විරුද්ධව නැඟීසිටීමය. වැලි ගොඩින් උස්සා ගෙට දැමූ සැනින් බබා කවදත් දන්නා විදියට ඇඬීමෙන් අසාධාරණයට විරුද්ධව නැගී සිටී. ටෙලියෙන් එළියට දැමූ සැනින් පබා කරන්නේ කවදත් දන්නා රඟපෑමෙන් නැගී සිටීමය. (තිරයේ රඟපෑම් නොවේ).

පබා වැඩියෙන්ම දන්නවා කියන්නේ රඟපාන්නය. ( එහෙම කියල කියමුකෝ දැනට ) බබාලා වැඩිපුරම දන්නේ අඬන්නටය. ඒ කෙසේ වුවත් දෙන්නාම ඒ වැඩ දෙකම හරියටම කරගන්න දන්නේද නැති බව හැමෝම දන්නේය.

කරන්නගිය වැඩේ බැරිවුනා කියා දෙන්නාම නිකන් ඉන්නේද නැත. පබා සහ බබා දෙන්නාම බැරිදේවල් පුලුවන් හැටියට කරන්න උත්සාහ කරති. පබාලා මෙන්ම බබාලාත් බැරි දේ කරන්න ගොස් කවදත් හත්පලේ ගා ගනිති.

ඒ නමුත්, වැඩේ හරියට කරගන්න බැරි උනාට පබාට සහ බබාට බලං ඉන්න උදවියගේ අනුකම්පාව නිතරම ලැබේ. පබා සහ බබාත් අපිට බබා පාට් දාන්නේ මේ අනුකම්පාව ගන්නය.

පබාට මෙන්ම බබාටද බැරි දේ හෙලිවූ පසුවත් කිසි අවුලක් නැත. දෙන්නාටම එක හිනාවකින් ගොඩ යා හැකිය. පබා මෙන්ම බබාත් හිනාවෙන් ඉනාවන් කවන සූත්තරය දැන සිටී.

පබාත් බබාත් ඉතාම ආස පොඩි පොඩි ලොසින්ජර රහ බලන්නය. පොඩි ලොසින්ජරයක් පෙන්වා පබාට කියා සහ බබාට කියා ඕනෑම වැඩක් කරගත හැකිය..

මේ බව දන්නා ලොකු අංකල්ලා ඉස්සෙල්ලාම කරන්නේ පබාලාව සහ බබාලාව අනුන්ට බීඩි ගේන්න කඩේ යැවීමය..

කඩේට ගොස් බීඩිය ගෙනාවිට අංකල්ට තියෙන්නේ ලොසින්ජරයක් පෙන්නා බීඩිය ගන්න විතරය.

කුඩු විකිණීම සහ ජන්දය විකිණීම..


ගමේ රටේ අසාමාන්‍ය ලෙස දියුණුවූ මිනිස්සු දෙස බලා සමහරු කියන්නේ  ‘ඕකා කුඩු විකුනලද කොහෙද ඔච්චර සල්ලි හොයන්නේ ‘ කියලායි. රටේ එක එක ප්‍රදේශවල ඡ්න්ද කාලෙට, කොහේ බැලුවත් උගේම මූන පේන ලෙසට පෝස්ටර් අලවන බලවත්තු දැක මිනිස්සු කියන්නේද එවැනි කතාවකි. ඔවුන්ගේ දේපළ ගැන කවුරුත් නොසොයති. එලෙස වියදම් කරන්නට කෝටි ප්‍රකෝටි ගනන් හොයන්නේ ව්‍යාපාර කිරීමෙන් කියා අපි සැවොම විශ්වාස කරවනු ලැබේ. උන් ඡන්දේ ඉල්ලන්න එන්නේ උන්ගේ ඒ ‘ ව්‍යාපාර ‘ වලට අවශ්‍යය රැකවරණය ගැනීමටය කියන එක දැන දැනත්, ඒ මොණර කොල වලට වශීවී අපේ අය කතිර ගසා උන් උඩින්ම දිනවති. වියදම් කරපු ප්‍රමාණය අනුව උන් මන්ත්‍රීන්, මැති ඇමතිවරු වෙති. වියදම් කර දිනන හැමෝම කුඩුකාරයෝ නොවෙති. නමුත් කුඩුකාර හැමෝම වියදම් කර දිනති. ඔවුන්ට ඡන්දෙට මාකට් කරන්නට ඇත්තේ සල්ලි පමණය.

උන් ලොකු තැන්වල ඉන්න නිසා උන්ට වෙඩි වදින්නේද නැත. වැඩේ නෝන්ඩි වේගෙන එද්දී පොඩි ඉත්තෙක්ව චකබ්ලාස් කිරීම පමණක් සෑහේය.

කුඩු ජාවාරම් කාරයෙක් හසුවිය. පැනයන්නට තනද්දී වෙඩි තබා මියගියේය. කොහෙදී හෝ එය මීට පෙර ඇසී තිබුනා මතකය. මේ සියල්ල පරණ තැටියකි. නමුත් එකෙක් හෝ කම්මුතු වූ එකට මම පුද්ගලිකව කැමතිවෙමි.

ප්‍රශ්නය එය නොවේ. හැමදාමත් අහුවන්නේ මේ ලපටි සිපයි කුඩු ජාවරම් කාරයෝය. වෙඩි වදින්නේද උන්ටය. උන් සතුව තිබූවායැයි කියන මහා දේපල කන්දරා මාධ්‍ය ඔස්සේ පෙන්නයි. ඇත්ත කතාව හැමදාමත් ඇතුලේ ය.

ඕල්කට් සතුව තිබූ සැම යස ඉසුරක්ම අද පුස්සක් වී ඇත. දරු පවුලට කුඩු කාරයෙක්ගේ දරුවෝ යැයි නම්බුනාමයක් වැදී ඇත. ඔවුන් නොදන්නවා වුවද, මේ ගේම් එකේ පිටිපස්සේ ඉන්න ලොකු ලොක්කන්ට වන්නේ ද එයයි.

නිදුකින් සව් ඉසුරු – නො මඳ ලැබෙතත් නුවණ ඇතියෝ
අනුන් නසා ලබන – ඉසුරු වසුරු අයුරු සලකත්

බුද්ධිමත් අය ඉතා පහසුවෙන් සියලු සම්පත් ළඟා කරති. එහෙත් අනුන් වනසා ලබන සම්පත් අශූචී සේ සලකත් [ලෝකෝපකාරය]

මැරිච්ච එකා කුඩු ජාවාරම් කරුවෙකි. ඌ කරන්නේ ඌට දෙන කුඩු ලංකාව පුරා බෙදාහැරීමයි. මේ බෙදාහරින්නා අල්ලා මරාදැමූ පසු හැමදාම ප්‍රශ්නය විසඳේ. ඌට බෙදාහරින්නට කුඩු ගෙනැවිත් දෙන්නේ කවුද කියන වග පොලිසියට ප්‍රශ්නයක් නැත. අත්තඩංගුවට ගත්තු එකාගෙන් උඹට බෙදාහරින්න කුඩු දුන්නේ කවුද කියා අහන්නත් පෙරම ඌ පැන යන්නට උත්සාහ කරන්නේ කාගේ හෝ පිනකට විය යුතුය.

මෙවැනි ළපටියෙක් චුත කෙරූ පමණින් කුඩු ව්‍යාපාරය නවතින්නේ නැත. ඕල්-කට් ගේ තැන ගන්නට තව තව අයියලා එනු ඇත. අවශ්‍යව ඇත්තේ වෙස්මූණු දමා සිටින ‘ගෝඩ් ෆාදර්’ ලා හොයාගැනීමය.

වරද අප අතේය…අපි ඡන්දය මුදලට විකුණා උන්ව පාර්ලිමෙන්තු, පළාත් සභා, ප්‍රාදේශීය සභා වලට පත්කරන තාක් කල් එක කළ නොහැක. අපේ සිරි ලංකාවේ බලය ඇත්තා කවදාවත් චෝදනා වලට වැරදිකරු වන්නේ නැත. අප එය දැනගෙන ජීවත්විය යුතුය.

මතට තිත තියන්නට නම්, තිතට කතිරේ ගහන්නත් පුරුදුවිය යුතුය.

වටිනා පින්තූරය ඉස්සුවේ : http://www.turtleisland.org/photo/drugsigns1.jpg

මේක කොමඩිලන්තයක්!


ලෝකයේ කිසිම රටක කොමඩිලන්තයේ වගේ ෆන් එකක් ලැබෙන්නේ නැත. ඒ නිසාමද කොහෙදෝ කොමඩිලන්තයට ආසියාවේ ආශ්චර්‍යය කියා කියති. මේ ගැන සිංහලෙන්ම කිව්වොත්, It’s never boring here .

කොමඩිලන්තයේ රට වැසියා, ආණ්ඩුව, විපක්ෂය ඇතුලු සියලු සෑම දෙනාම ඇප කැප වී සිටින්නේ මේ ආශ්චර්‍යය රැකගැනීමටය. මේ අසිරිමත් රට ආශ්චර්‍යයක් බවට පත්වී තිබෙන්නේ මෙය සජීවී හාස්‍යොත්පාදක මෙගා ටෙලි නාට්‍යක් ලෙස පවත්වාගෙන යන එකම රට නිසාය…

එහි වැසියෝ සතුටු නොවී ගතකරන කිසිම සතියක් නොමැති තරම් ය…

මේ නාටකය ඉස්සර සිංහල ෆිල්ම් වල වගේ නොව කොමඩි, ෆයිට්, සින්දු වගේ මෙකී නොකී සෑම දේම සහිතව මේ මෙගා ටෙලිය පවත්වාගෙන යන නිසා ඉතා ජනප්‍රිය වී තිබේ.

එක සතියක මාරාන්තික උපවාසයකි…

ඉතාම සංවේදී වතුර පෙවීමේ ජවනිකාවකින් ඒ සතියේ නාට්‍යය කොටස අවසන් වන්නේ දේශප්‍රේමී ජනයා හැඩූ කඳුලේ ගිල්වමින්ය..

ඉන්පසු සතියේ කතාව ඇරඹෙන්නේ මහා බයානක ඩෙංගි නැමැති වසංගතයක් කොමඩිලන්තය පුරා පැතිරයන ලෙසට එරට වැදියා බියේ ගිල්වමින්ය…

ඒ ජවනිකාවේ ප්‍රධාන නළුවාට මේ වසංගතය සමඟ පොර ඇල්ලීමට නොහැකිව නානාප්‍රකාර කතා කියමින් සිටියදී මේ මෙගාටෙලිය බෝරිං එකක් බවට පත්වෙද්දීම වාගේ, ජනප්‍රිය නළුවෙක් තිරයට එන්නේ ගැලරියේ විසිල් හඩ මධ්‍යයේය…

රැජිනි කාන්ත් මෙන් සරම ඇඳගෙන එන මේ නළුවා එක ලනු පොටකින් මේ ඩෙන්ගි වසංගතය පතුරවන දුශ්ඨ සමුර්දියාව ගසකට තබා බැඳ දමා ඩෙන්ගි වසංගතය සුන්නද්දූලි කර හරින්නේ අප ඉතිහාස පොත්වල එන දුටු ගැමුණු රජුගේ විලාසයෙනි…

ඒ සතියේ නාට්‍යයේ අවසානයට කොමඩිලන්තයේ වැසියෝ කොටසක් කැමතිඋනත්, කොටසක් කැමති නොවූහ… ඩෙන්ගි වසංගතය ගස් බැඳීමට විරුද්ධ වුවෝ අධ්‍යක්ෂට විරුද්ධව උද්ඝෝෂණ කරන්නට පටං ගත්තේ පිටපත වෙනස් කරන්න කියා ය..

ආං නියම ප්‍රජාතන්ත්‍රවාදය. කෙලින්ම ඒ නළුවා නාට්‍යයෙන් එලියට ( තාවකාලිකව ) ඇද දැමිණ.

මේ දුටු රට වැසියෝ චිත්තඃ ප්‍රීතියට පත්වන්නාහ…

මෙසේ වැඩිකල් ප්‍රීතියෙන් සිටින්නටද වන්නේ නැත. නාට්‍යයේ අළුත්ම කොටස පටං ගන්නේ කතාවේ අලුත්ම ට්විස්ට් එකකින්ය…

කලක් කොමඩිලන්තයේ ටෙලි සිනමාවේ මහා චෞරයා වූ සක්විත්තා ව හිටිහැටියේ කරළියට ගෙනේ… එතැන් පටන් ඒ සතියේ කතාව යන්නේ ‘Adventure’ එකක් ලෙසිනි.. චෞරයාව අල්ලාගත් හැටි, ඔහු පැනගොස් සිට කර ඇති දේවල්, මුදල් වලට සිදුවූ දේවල් යනාදී දේ එකින් එක රඟ දැක්වෙන්නේ ෂර්ලොක් හෝම්ස් නවකතාවක් ලෙසිනි… මේ රහස් පරීක්ෂක ජවනිකා නිසා පෙර තිබූ වසංගත, ප්‍රශ්න යනාදී සියල්ල අබිරහස් ලෙස සැඟවී යන්නේ තවත් පසු කලකදී කොන්ටිනිවු කරන්නදෝ කියාවත් කොමඩිලන්ත වැසියාට හිතාගැනීමට කල් නොදී ය.

මෙරට, එහෙමත් නැත්නම් ටෙලියේ සටන් ජවනිකා සපයන්නෝ වෙනමය. ඔවුන්ට ජනතා සටන් පෙරමුණ යැයි කියති… ත්‍රාසජනක සටන් රඟ දැක්වීමට මොවුන් හපනුන්ය.. විස්ව විද්දියාල වල ඇතුලේ පැවැත්වෙන මේ සටන් පුහුණු පාඨමාලා එළි දැක්වෙන්නේ ජාතික තලයේ ය. ගල් ගැහිලි පොලු වලින් ගැහිලි ආදී නේක විද සටන් ක්‍රම මොවුන් සතුව ඇත… පාඨමාලා තලයේ ගුටි කන්නේ නේක විස්ස විද්දියාල සිසුන් උනත්, ජාතික තලයේ ගුටි බැට හුවමාරු වලට දායක වන අනිත් පාර්සවයට පොලිසිය යැයි කියති…

කොමඩි ලන්තයේ සිටින අපූරුතම පුද්ගලයෝ මේ පොලිසියට බඳවාගැනේ… ඒ විසේස හේතුවක් නිසාය.

යම්කිසි හෙයකින් අධ්‍යක්ෂට ඒ සතියේ පිටපත ලියාගන්නට බැරිවුනොත් හෙම ක්ෂණික රඟ දැක්වීම් වලට ඇප කැප වී සිටින්නෝ මේ පොලීසියේ ඇත්තෝ වෙති… යම් කිසි සතියක ටෙලිය බෝරිං නම් මොවුන් හනික ක්‍රීයාශීලී වී ජවනිකාවක් රඟ දක්වා රට වැස්සෝ සතුටු කරන්නාහ. මේ නිසා මේ පොලීසියට බඳවාගන්නේ නිර්මාණශීලී රට වැසියෝ පමණි..

මොවුන් හිටි හැටියේ විස්ස විද්යාල වලට ගොස් සටන් පුහුණු පවත්වති. අසරණ තරුණයෝ දියේ ගිල්වති.

චෞර සක්විත්තන්ට ඉනි මං සපයති. ජවනිකාවක් නැතිම විටදී ඒ චෞරයාම අල්ලාගැනෙති…

බැරිම තැන ජීප් එකක්වත් පාලමකින් පහළ ගඟකට ත්‍රාසජනක ලෙස වට්ටා පිහිනා ගොඩට එති.

මේ දිනවල විපස්ස්ය හෙවත් පිටපතට එරෙහි ඈයෝ කිසි සද්දයක් නැත. නළු නිලියන් අඩුව සිටිනා මේ අය කොමඩිලන්ත වැසියන් ත්‍රිල් කිරීමට කොකා පෙන්වීම වෙනුවට වක්කා වක්කා පෙන්වයි, අධ්‍යක්ෂ තුමා දෙන අළුත්ම කාර් වල නැග යයි…මේ විකාර සියල්ල ටෙලිය මැද යන වෙළද දැන්වීම් ලෙස විකාශය වේ. වැඩිමනක් වැසියෝ මේවා බලන්නේද නැත.

මේ සතියේ සිට දිගහැරෙන නවතම කොටස වන්නේ දේශප්‍රේමීත්වය සහ දේශද්‍රෝහීත්වය නොවලහා පිළිබිඹු කෙරෙන්නා වූ කෝට් මාෂල් ජවනිකාවකි… ලොමු ඩැහැ ගැන්වෙන දෙබස් සහිතව මේ ජවනිකාව ටෙලිකාස්ට් වීමට නියමිතය.

මේ බ්ලොග් එකෙන් මට නම් කියන්නේ තියෙන්නේ, මේ ටෙලිය නරඹන්න කියලා හැමෝටම කියන එකයි. එක දෙයක් විතරක් ටක්කෙටම කියන්න පුළුවන්, you will never get bored…

හැබැයි, සීරියස් වෙලා බලන්න ගියොත් ගොඩාක් දුක හිතෙයි. අනේ අම්මපා මේකත් මිනිස්සු ඉන්න රටක් නේද කියලා හිතෙයි. . එහේ ඉන්න මිනිස්සු ගැන දුක හිතෙයි.. රටේ අනාගතය ගැන දුක හිතෙයි…

ගනං ගන්න එපා… ඒ රටේ මිනිස්සුන්ට ඕවා ගානක් නැහැ… කට්ටිය ආතල් පාර්ලිමේන්තුවක් පත්කරලා එව්වේ මේ ටෙලිය බලන්න තමයි.

හිරේ සිටිය යුතු උන්, සහ නොසිටිය යුතු උන්!


අද ලංකාවේ ජාතික පුවත්පත් හැම එකකම වාගේ තිබුනු ප්‍රධාන පුවතක් වූයේ මාධ්‍යවේදී තිස්සනායගම් මහතාට ජනාධිපති පොදු සමාවක් ලබාදී ඔහුට හිමිවීතිබූ බරපතල වැඩ සහිත 20 වසරක සිර දඬුවම අත් හිටුවා ඇති බවකි…

නිදහස් මාධ්‍ය ව්‍යාපාරයට නම් මෙය ඉතා වටිනා ජයග්‍රහණයකි…

ඇමෙරිකාවද යුහුසුළුව මේ ක්‍රියාව අනුමත කරමින් ප්‍රසංසාව පළ කර ඇත.

මීට ටික කළකට පෙර අත් අඩංගුවට ගත් තිස්සනායගම් මහතාව මා නම් දැන සිටියේ ත්‍රස්ථවාදියෙක් ලෙසිනි..

එහෙමත් නැත්නම් ත්‍රස්ථවාදී කණ්ඩායමකට පක්ෂව ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට විරුද්ධව ක්‍රියාකළ අයෙක් ලෙසිනි…

ඔහුගේ ත්‍රස්ථවාදී ක්‍රියාවන් ගැන රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය නිකුත්කළ සවිස්තර වාර්ථාව කියැවූයේ නම්, ඔහු ශ්‍රී ලංකාවට ජාතික ආරක්ෂාවට එරෙහිව ත්‍රස්ථවාදි අරමුණකින් කටයුතු කළ අයෙක් බවට ඕනෑම අයෙක්ට වැටහෙනු නියතය.

ඔහුගේ නඩුවේදී තීරණය වන්නේත් ඔහු ත්‍රස්ථවාදි ක්‍රියා සම්බන්ධයෙන් වැරදිකරුවෙක් වූ බවය. එසේනම්, ලාංකීය අධිකරණයට අනුව ඔහු ත්‍රස්ථවාදියෙකි.

කිසිදු දේශපාලන නැඹුරුවක් නොමැති මට නුරුස්සන එක දෙයක් තිබේ.

ත්‍රස්ථවාදි ක්‍රියාවකට වරදකරු වූ තිස්සනායගම් නිදහස් ය.

වසර 30ක් පමණ ත්‍රස්ථවාදින් සමඟ සටන් කර ත්‍රස්ථවාදය නැතිකර දමන්නට වෙහෙස වූ (ඔහු කියන ලෙස තනියම වෙහෙස වූවා නොවේ) ජෙනරාල් ෆොන්සේකා තවමත් හිරේ ය…

ජෙනරාල් ෆොන්සේකා ඔහුට එරෙහිව ඇති චෝදනා ආකාරයෙන්ම අකටයුත්තක් කළා යැයි මොහොතකට සිතමු.

එය ත්‍රස්ථවාදය තරම් බරපතල එකක්ද?

ත්‍රස්ථවාදියෙක් ට පොදු සමාවක් දිය හැකිනම්, ජෙනරාල් ෆොන්සේකා ඉටු කළා වූ සේවය සළකා ඔහුට පොදු සමාවක් දිය නොහැකිද?

අපේ වැඳීමේ කලාව


මේක ලියන්න හිතුනේ “තනතුරට වැඳීම” කියලා Beyond Frame බ්ලොග් අඩවියේ තිබුන ලියුමක් කියවලා… ඒ ලියුම් කරුගෙ ප්‍රවේශය මම අගය කරනවා…

ලංකාවේ අපි පුරුදුවෙලා ඉන්නේ හැමෝටම වඳින්න… දෙමාපියන්, වැඩිහිටියන්, ගුරුවරුන් ට වඳින්න කියල තමයි අපට පොඩි කාලෙ ඉඳල කියල දීල තියෙන්නේ…

ඒක ඉතාම හොඳ ආචාර ධර්මයක්… ඒ ගැන කතාදෙකක් නැහැ…

මෙතන වැදගත්ම දෙය කියල දෙන්න අමතක වෙලා තියෙන්න… පිදිය යුත්තන්ට පමණක් පුදන්න කියල අපිට කියල දීල තිබ්බට, ඉස්කොලෙ සහතික දෙන්න ගෙන්නන එක එක දේශපාලුවන්ට වඳින්න කියල කියන්නේ අපේ ගුරුවරුන්මයි… පාසැල් වල උත්සව වලට දේශපාලුවෝ ගෙන්න ගන්න එක තරම් අපරාධයක් තවත් නැහැ… අපි ඉගෙන ගන්න කාලෙ සහතික ගන්න වැඳලා තියෙන්න පාසල් අධ්‍යාපනයක් වත් නැති එවුන්ට නේද කියල දැන් බැලුවම හිතෙනවා…

මම ලඟදි පත්තරේක දැක්ක ඉස්කොලේකට එක්තරා දේශපාලුවෙක් ගිහින් තියෙනවා පොඩි ළමයින්ට තෑගි බෙදන්න… මේ පුද්ගලයා ස්ත්‍රී දූෂන චෝදනාවකට ලක් වුන කෙනෙක්… චෝදනාවෙන් වැරදි කරුවෙක් උනේ නැති උනේත් දේශපාලන බලය නිසාලු… මේ වගේ මිනිස්සු ගෙන්නලා පොඩි උන් ලවා වැඳවීම හෙන ගහන අපරාධයක් කියලයි මට නම් හිතෙන්නෙ…

ඒ වගේම වැඩිමනක් අපේ දෙමාපියනුත් ගොඩක් වෙලාවට අහවල් පුද්ගලයාට වඳින්න කියල කියනවා… පොඩි කාලෙ නම් දන්නේ නැති නිසා කියල දෙනවා කියල හිතන්න පුළුවන්, ඒත් ලොකු උනාමත් එහෙමයි ගොඩක් වෙලාවට,

පුතේ මේ අහවල් මාමා ය, අහවල් නැන්දා ය, කියල ඉන්ට්‍රොඩියුස් කරලා කියන අනිත් එක තමයි වඳින්න පුතේ කියල කියන එක… ගොඩක් වෙලාවට ඒක නොකිව්වත් ඒක බලාපොරොත්තු වෙනවා… සමහර වෙලාවට මේ පුද්ගලයා කසිප්පු කාරයෙක්, හොරෙක් වෙන්නත් පුළුවන්… වැඩිමහල් උන පළියට “පිදිය යුත්තෙක්” වෙන්නේ කොහොමද කියන එකයි ප්‍රශ්නෙ…

ඉස්කෝලෙ යන කාලෙ තෑගි ප්‍රධානොත්සවයක් බලන්න අපේ අම්මයි තාත්තයි දෙන්නම ඇවිත් හිටියා… මතක තියෙන විදියට 6 වසරෙද කොහෙද… මට කීප වතාවක් විතර ස්ටේජ් එක උඩට යන්න උනේ විෂය තෑගි කීපයක් තිබුන නිසා… දණ ගහලා වඳින්නේ නැතුව අපිට කියල දුන්න විදියට නැමිලා ආචාර කරලා තෑග්ග සහ සහතිකේ අරන් එන්නයි තිබුනේ… තෑගි ප්‍රධානොත්සවය ඉවර වෙලා අපේ තාත්තා මට එක දෙයක් කිව්වා…

පුතේ, වැන්ඳට ආචාර කළාට කමක් නැහැ.. ඒත් ඔය කාටවත් ඔලුව නමන්න නම් එපා කියල…

පස්සෙ ෆොටෝ දැක්කම තමයි තේරුනේ මම ඔලුවත් නමාගෙන ආචාර කරන හැටි… එදායින් පස්සේ තෑගි අනන්තවත් හම්බුනා.. වඳින්නත් උනා, ඒත් ඔලුව නැමුවේ නම් නැහැ…

අපි වඳින්නේ කාටද, අපේ දරුවන්ට වඳින්න කියන්නේ කාටද කියන එක අපේ පරම්පරාව වත් හරිහැටි තේරුම්ගත්තේ නැතිවුනොත්, ඉස්සරහටත් අපිට ලැබෙන්නෙ දේශපාලුවන්ට සහ සුද්දන්ට වැඳ වැඳ යන නිවටුන් ටිකක් විතරයි…