Tag Archives: පරිසරය සුරකිමු

හරිත ඉලෙක්ටොනික් බඩු…


පරිසරය සුරකින්න කැප වෙලා ඉන්න ග්‍රීන්පීස් සංවිධානය මේ ලඟදි අපූරු වාර්තාවක් ගෙනාවා. ලොකයේ ප්‍රමුඛ ඉලෙක්ටොනික් භාණ්ඩ නිශ්පාදකයන් අතරින් වඩාත් හරිත එහෙමත් නැත්නම් වඩාත් පරිසර හිතකාමී ඉලෙක්ටොනික් නිශ්පාදකයා කවුද කියල බලන්න වාර්තාවක් සකස්කළා.

මයික්‍රොසොෆ්ට්, සෝනි, නොකියා, ඇපල්, ඩෙල්, එච්.පී වගේ සුපතල සමාගම් වල නිශ්පාදන කටයුතු අධ්‍යයනය කෙරුනා… ඒ හැම සමාගමකම නිශ්පාදන වල සහ ක්‍රියාදාමයන් හි, රසායනික ද්‍රව්‍ය කළමනාකරණය, ප්‍රතිචක්‍රීකරණය, කාබන් දහනය අඩු කිරීම, හරිතාගාර වායු මුදාහැරීම වගේ කරුනු විශාල ප්‍රමාණයක් සළකා බැලුනා…

අවාසනාවකට වගේ කවුරුවත් ලකුණු 10ම ගන්න බැරිවුනත්, සමහර සමාගම් විවිධ අංශවලින් ඉදිරියෙන් ඉන්න බව පෙනුනා. මේ අතරින් නොකියා සහ සෝනි එරික්සන් යන සමාගම් ප්‍රමුඛයි.

ඒ වාර්තාවෙ ප්‍රතිඵලය තමයි පහතින් අමුනලා තියෙන පින්තූරෙ තියෙන්නේ. ඒක උපුටල ගත්තෙත් ඒ වාර්තාවෙන්ම තමයි.

සම්පූර්ණ වාර්තාව කියවන්න ඕන අය මෙතන කොටල බලන්න….

කොහොම නමුත් මේ නිසා වඩා හරිත ඉලෙක්ටොනික් ගන්න පාරිභෝගිකයා පෙළඹෙයි කියල තමයි ග්‍රීන්පීස් සංවිධානය විශ්වාස කරන්නේ…

හිතන්න යමක් : ගුගල් සෙවුමක් නිසා සිදුවන පරිසර හානිය? !!!


ඔබේ ගුගල් සෙවුමක් නිසා සිදුවන පරිසර හානියක් ගැන නිකමට වත් හිතුනද? එහෙම දෙයක් ගැන අපි විහිලුවට වත් හිතන්නේ නැති බව ඇත්ත. මේක ඇහුවම හිතෙනවා ඇති “මළ කෙලියයි… ඔය කියන්න යන්නේ ගුගල් පාවිච්ච්කරන්නත් එපා කියලද” කියලා.

පරිසර හානිය කෙසේ වෙතත්, ගුගල් සෙවුමක් නිසාම මට ලැබුන මේ තොරතුර බෙදාගන්න ඕන කියල හිතුනා.

එක්සත් රාජධානියේ The Times පුවත් පතේ තිබ්බ ලිපියකින් ගුගල් කිරීම ඇතුලු සාමාන්‍ය පරිගනක භාවිතය පරිසර හිතකාමී නැහැ කියල දැඩි ලෙස විවෙචනය කර තිබුනා. Havard විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයෙක් ගුගල් කිරීම නිසා වන පරිසර හානිය ගැන කරපු පරීක්ශනයක ( වෙන වැඩක් නැති කමට කරපු එකක්ද කොහෙද )ප්‍රතිඵලයක් විදියට සොයාගෙන තිබෙන්නේ සාමාන්‍ය ගුගල් සෙවුමක් නිසා කාබන් ග්‍රෑම් 7 පමන පරිසරයට නිකුත්වෙනවා කියලයි. මේ දළ අගයට ඔවුන් පැමිණ තිබෙන්නෙ ගුගල් සෙවුම පටන්ගන්නා තැන සිට එතුලින් තමන්ට අවශ්‍ය දෙය සොයාගැනීම දක්වා පරිසරයට නිකුත්කරන ග්‍රෑම් 1 සිට ග්‍රෑම් 10 දක්වා වන අගය සලකා බලලයි. ඔවුන් කියන විදියට මේ අගය වතුර කේතලයක් උණුකිරීමෙන් නිකුත්වන කාබන් ප්‍රමාණය වගේ දෙගුනයක් කියලයි! මෙයට ගොඩාක්ම වගකිව යුත්තේ ගුගල් ආයතනය බවයි ඔවුන් කියන්නේ. ඒ වගේම ගුගල් ආයතනයේ පරිසර හිතකාමීබව ප්‍රශ්නකෙරුන පළවෙනිවතාවත් මෙය නෙවෙයි.

මේ ගැන ගුගල් බ්ලොග් එකෙන් උත්තර බඳින ගුගල් සමාගම නම් කියන්නේ ඔවුන්ගේ සාමාන්‍ය ගුගල් සෙවුමක් සඳහා වැයවන්නේ කිලෝජූල් 1 (කිලෝවොට් පැය 0.0003) පමන ශක්තියක් කියලයි. මේ අගය කාබන් ග්‍රෑම් 0.2 වෙනවා. සාමාන්‍ය පුවත්පතක් සඳහා වැය වෙන කාබන් ප්‍රමානය ගුගල් සෙවුම් 850කට සමාන බවයි ගුගල් නම් කියන්නේ.

කොහොම උනත් තමන්ගෙන් වෙන පරිසර හානිය අඩු කරන්න විවිධ විදියට ගුගල් උත්සාහ කරන ගමන් විදුලි ශක්ති වෙළදාමටත් අතගහලා…

ළඟදී අමෙරිකාවෙ විදුලි ශක්ති වෙළදාම් කරන්න බලපත්‍රයත් ගුගල් වලට ලැබුනා. ඒ වෙළදාමට සමගාමීව Google PowerMeter කියලා විදුලිය ශක්තිය නිරීක්ශන මෘදුකාංගයක් (Energry Usage Monitoring Software) ගුගල් එළිදැක්වුවා…

අත්‍යාවශ්‍ය නම් පමණක් ප්‍රින්ට් කරමු.


ඔබේ කන්තෝරු කාමරය හරි ඔබ දැන් ඉන්න තැන ගැන පොඩ්ඩක් හිතන්න. කඩදාසි වලින් හදපු කොපමණ දේවල් තිබේද? වැඩිය දුර යන්නේ නැතුව හිතුවොත්, අපි දිනකට කොපමන කඩදාසි ප්‍රමාණයක් භාවිතා කරනවාද? උදෑසන පත්තරය, ටොයිලට් පේපර්, වතුර බෝතලයේ ලේබල් එක, බස් ටිකට් එක, සල්ලි, ටිෂු, කියවන පොත, කඩදාසි බෑග්, රිසිට්, කෑම එක ඔතාගෙන ආ කඩදාසිය, … මේ වගේ ලොකු කඩදාසි ප්‍රමාණයක් අපි දිනකට භාවිතා කරනවා.

කඩදාසි කරමාන්තය ලොව වැඩිම බලශ්තිය භාවිත කරන කර්මාන්ත අතරින් ඉන්නෙ 5වැනි තැන. කඩදාසි කරමාන්තය තමයි ලොව වැඩියෙන්ම වතුර භාවිතා කරන කර්මාන්තය. කඩදාසි ටොන් 1 ක් නිපදවන්න වතුර ගැලුම් 2000ත් 10,000ත් අතර ප්‍රමාණයක් වැය වෙනවා. මේ විශාල ජල පරිභෝජනය නිසා පරිසර අර්බුද රැසක් හටගෙන තිබෙනවා. උදාහරනයක් වශයෙන් මැද පෙරදිගට කඩදාසි නිපදවන ලෙබනනයේ ඇති ගංගා සියල්ලකම පාහේ ජල මට්ටම අඩුවී සිඳීයෑමේ තර්ජනයට ලක්වී තිබෙනවා. ඒ වගේම දළ වශයෙන් 10ත් 17ත් අතර අතර ගස් ප්‍රමාණයක් අවශ්‍යවනවා කඩදාසි ටොන් 1ක් නිපදවීමට. කඩදාසි කර්මාන්තය නිසා සිදුවන පරිසර හානිය වැඩි නිසා කඩදාසි අඩුවෙන් භාවිතා කරන්න අප සියලුදෙනා පුරුදුවිය යුතුයි.

ඔබට යමක් අත්‍යාවශ්‍ය නම් පමණක් ප්‍රින්ට් කරන්න. අපේ ඔෆිස් එකේ ගොඩාක් අය පුරුදු වෙලා ඉන්නවා තමන්ට එන ඊ-මේල් සියල්ල ප්‍රින්ට් කරල ගොණු කරල තියන්න. ඒක දැකල තමයි මේක ලියන්න ඕන කියල හිතුනෙ. එය ඇත්තෙන්ම කළයුතු දෙයක් නෙවෙයි. ඔබට අවශ්‍ය වෙලාවක ගන්න ඊ-මේල් එක පරිගණකයේ තිබෙනවා. ප්‍රින්ට් කරලා ගොණු කරනවාට වඩා තමන්ගේ ඊ-මේල් එක ඇතුලෙ ගොණු හදාගෙන ඊ-මේල් වර්ගකිරීමෙන් ප්‍රින්ට් කිරීමෙන් වළකින්න පුලුවන්.

ඒ වගේම ටෙස්ට්-ප්‍රින්ට් ගන්න එකත් හැකිපමණින් අඩුකරන්න පුරුදුවීම ඉතාවැදගත්. හරිහැටියට “Print-Preview” function එක භාවිතා කරන්න දැනගෙන සිටීමෙන් ටෙස්ට්-ප්‍රින්ට් වලට නිකරුනේ කඩදාසි නාස්තිකිරීමෙන් වළකින්න පුලුවන්.

ඒ වගේම ගොඩාක් දෙනා කරන දෙයක් තමයි තමන්ගාව soft-copy වශයෙන් තිබෙන පොත් ප්‍රින්ට් කර කියැවීම. මෙයත් හැකි තරම් අවම කළයුතු දෙයක්. ඔබට හැකිනම් ඒවා පරිගණකයේම කියවන්න පුරුදුවෙන්න.

අප සියලු දෙනාටම කඩදාසි අත්‍යාවශ්‍යයි, එක ලෝකයේ ස්වභාවය. මොකද රාජකාරී වශයෙන් වලංගු වන්නේ ලිඛිත සාක්ෂි (Documented-proof) නිසා. නමුත් කඩදාසි අවම වශයෙන් භාවිතාකිරීමෙන් පරිසරය සුරකින්න එක්වෙන්න.