Tag Archives: මගේ ජීවිත සටහන්..

බ්ලොග් වගේද ජීවිතේ හැක් උනාම?


සෑහෙන කාලෙකින් මොනවත් ලියන්න බැරිවුනේ අර කතන්දර ශුරීන් කියනවා වගේ ‘රයිටර්ස් බ්ලොක්’ එක හැදිලනම් නෙවෙයි ඕන්. කියන්න සහ ලියන්න දේවල් එමටයි. නොලියපු මාස දෙක තුන ඇතුලත වෙච්ච සිද්ධි ටිකම ඇති වෙන බ්ලොග් එකක් කරන්න.

හැබැයි අහුවෙන හැම වෙලාවකම ඇවිත්, දන්න කියන බ්ලොග් කීපයක් බලලා යන්න අමතක කරේ නම් නෑ. හැබැයි කොමෙන්ටු දාන හැටි නම් බලෙන්ම අමතක කරලා දැම්මා. අද ඉඳලා ආයෙත් ටික ටික වැඩේ පටන්ගන්න ඕන.

අපි හැඩගැහිලා ඉන්න ජීවිත රටාවකින් මිදිලා, වෙනසක් කරාම, ආයෙත් පුරුදු ජීවිතයට එන්න පොඩ්ඩක් අමාරුයි. ඇතෑරලා දාලා තිබ්බ නිසා දැන් සිංහල ට්යිප් කරන්නත් බෑ වගේ. වැඩේ කොච්චර සීරියස්ද කියලා කියනවා නම්, මට වර්ඩ් ප්‍රෙස් එකට ලොග් ඉන් වෙන්නේ කොහොමද, පාස් වර්ඩ් එකයි, යූසර් නේම් එකයිත් අමතක වෙලා තිබුනේ….හිතෙන හිතෙන පාස්වර්ඩ් ගහල බැලුවා.. ම්හූ.. ලොග් වෙන්නේ නෑ..

මේ දවස් වල හෝ.. හෝ.. ගාලා බ්ලොග් හැක් වෙන නිසා මමත් පැත්තකට ගිහින් කල්පනා කලා මගේ බ්ලොග් එක හැක් වෙලා වත්ද කියලා. කෙලින්ම හිතට ආවේ මගේ බ්ලොග් එක හැක් කරන්න තරම් ‘සිරා’ බ්ලොග් එකක්ද කියන එකයි. දිගටම කියවන්න

Advertisements

පත්තර කැපිල්ල…


පොඩි කාලේ කරපු වැඩක් ඊයෙ කිව්වා නේ…

කියවන්න බැරි උන ඈයෝ ඉන්නවා නම්, මෙතන කොටල සබං බෝල කතාව කියවන්න පුළුවනි…

අද කියන්නෙත් පොඩි කාලේ කරපු සිද්දියක් තමයි…

මේක උනේ මට වයස අවුරුදු 4ක් විතර කාලෙ… අපේ අම්මයි තාත්තයි තමයි මේවා කියන්නෙ…. මටනම් එච්චර පොඩි කාලේ වෙච්ච මෙලෝ අලකලංචියක් මතක නෑ.

එදා උදේ පාන්දරම පත්තරේ ගෙදරට ඇවිත්… ඒක ඔය පුටුවක් උඩ තියලා අපේ තාත්තා වෙන වැඩක් කරන්න ගිහින්…

ටික වෙලාවකින් තාත්තා වැඩේ අහවර කරගෙන, ඇවිත් තියෙන්නේ පත්තරේ බලන්ඩ… ඇවිත් බැලින්නං….

මම පොර ඉන්නවලු බිම වාඩිවෙලා… පත්තරේ වටේට තියාගෙන… නිකන් නෙවෙයි ඉන්නේ… අතේ කතුරකුත් එක්ක… පත්තරේ කෑලි කපලා කපලා වටේටම දාගෙන තව කෑලි කප කප ඉන්නවා ලු…

අද පත්තරේ.. අකුරක්වත් කියවන්න වෙලා නැහැ… මම වැඩේ දීලා…

ටික දවසක ඉඳන් කතුරක් අරගෙන මම අහුවෙන අහුවෙන දේ කපනවා ලු… කොච්චර එපා කිව්වත් මේකා නෙවෙයි ලු අහන්නේ… කොහොම හරි මේක නතර කරන්නත් එපැයි…

පත්තරේ කීතු කීතු වෙන්න කපලා හිනා වෙලා ඉන්න හැටි දැක්කම දඩුවමක් දෙන්නත් දුක හිතිලා…

කොහොම හරි මේක නවත්තන්න ඕන කියල හිතලා…

මාව අරං ගිහින් අපේ ගෙදර පොඩි කාමරේට දාලා… ඒ දවස් වල ගෙදර කාමර දෙකයි… ඔය පොඩි කාමරේට කවුරුවත් යන්නේ නැහැ… බය නිසාද කොහෙද මම නම් කොහොමටවත් යන්නේ නැහැ….ඉතින් ඔය කාමරේට මාව දාලා, එකතු කරල තිබ්බ ලොකු පරණ පත්තර මිටියක් මගේ ඉස්සරහින් තියලා.. කතුරකුත් එහෙම දීලා…

කපන්න කිව්වලූ ඔක්කොම පත්තර ටික…

ඔක්කොම කපන්නේ නැතුව එළියට එන්න තහනම් කියල, දොරත් ලොක් කරලා ගිහින්…

මමත් ඉතින් පත්තර දෙකක් තුනක් විතර කපලා ආතල් එක යන්නත් එක්ක…

ඊට පස්සෙ අඬන්න පටන් අරං…

කොහොම හරි කොල්ලා එදා ඒ කාමරෙන් එළියට ආපු වෙලාවේ ඉඳලා, නිකරුනේ පත්තර නං කපන්න ගිහින් නෑ…

සිග්නල් එකක් පැනීම සියදිවි නසා ගැනීමක් ය.


මම දන්න කියන ඉන්දියන් පොරක් ඊයේ රෑ ජාමෙ සිග්නල් එකක රතු ලයිට් එකක් පැනලා… ඒ වෙලාවෙ ඉඳන් බෙල්ලේ වැල දාගන්න කඹයක් හොය හොය ඉන්නවා…

කොල ලයිට් එක 3පාරක් නිවි නිවී පත්තුවෙලා කහ එකත් පත්තුවෙනකොටම තමයි පොර වාහනේ දාල තියෙන්නේ, කරුමෙටම ලයින් එක පනින වෙලාවටම ලයිට් එක රතු වෙලා, එතැන හිටවලා තියෙන කැමරාවෙන් ලස්සන ෆොටෝ එකක් අරගෙන වාහනයෙයි ප්ලේට් අංකයයි…

කට්ටියට දැනගන්නම ඕන නම්, ඒක කෙරෙන හැටි වෙනම දවසක ලියන්නම්…

සිග්නල් එකක් පැනීම මාරාන්තික, සියදිවි නසාගැනීමක් තමයි කොහොමත්…

ඒත් අපේ යහපත් සිරි ලංකාවේ වගේ නෙවේ, කටාර් වල අත්වැරැද්දකින් හරි සිග්නල් එකක් පැන්නා කියන්නේ ඇඩ්‍රස් නැතිවෙන කේස් එකක්…

සිග්නල් එකක් පැනල නිකන් දෙන ෆොටෝ එකක් ගහගත්තොත් දඩය කටාර් රියාල් 6000ක්. අපේ ඇඟට දැනෙන සල්ලි වලින් කිව්වොත් රුපියල් 186,000 වගේ !!

ඒ අතරින් වැදගත් සිග්නල් දෙක තුනක් ( Airport Signal, Hammad Hospital Signal, etc) තියෙනවා ඒවා පැන්නොත් රියාල් 10,000 දඩය. ඒ කියන්නේ රුපියල් 310,000 !!

ඔක්කොම පරිගනක කරල තියෙන නිසා මේ දඩ නොගෙව ෂේප් වෙනවා නම් බොරු…ගෙවන්නම වෙනවා…

වැඩේ කියන්නේ මේ යකා පැනල තියෙන්නේ Airport සිග්නල් එක. දඩය රියාල් 10,000 ක්.

මුගේ පඩියත් දඩයෙන් බාගයක් වත් නැතුව ඇති…

හොඳම කේස් එක කියන්නේ මිනිහා සිග්නල් එක පැන්න වාහනේ අරන් තියෙන්නේත් රියාල් 6500 කට. 😛

ඉතින් සියදිවි නසාගන්න වෙන එක අහන්න දෙයක් යැ…

ප/ලි :

උඩ අමුනලා තියෙන ඔටුවො පාර පනින සංඥාවක් වෙන අරාබි රටක දැකල තියෙනවාද කවුරු හරි?

කාලෙකට පස්සෙ..


ගොඩ කාලෙකට පස්සෙ බ්ලොග් එක පැත්තේ ආවේ…

මේ දවස්වල රස්සාවට ගිහින් ආවට පස්සේ මැච් බලන එක ඇරෙන්න වෙන වැඩක් නැහැ… මහේල ගේ ලස්සන පිති හරඹය දැකල හිත පිරෙනවා..

මේක ලියන්නේත් ඕස්ට්‍රේලියාවත් එක්ක මැච් එක බලන ගමන්..

කොහොම උනත් මේ දවස් වල කාලය ගෙවෙන්නේ හරිම හෙමින් වගේ.. තව දවස් 4ක් කාන්තාරෙ ඉන්න තියෙනවා..

දවස් 4 ගෙවෙන්නේ කොයි වෙලාවෙද කියල බල බල ඉන්නේ ලංකාවට යන්න…

ලියන්න කිසිම දෙයක් හිතට එන්නේත් නැහැ…

ලොකු ආරන්චියක් තියෙනවා.. පස්සෙ කියන්නම්.

ව(ර්)ඩ් ලියවිල්ලක් PDF වලට Convert කරන්න ගුගල් යොදාගන්න


කාර්‍යලයේ වැඩ වලදි වගේම අධ්‍යාපන සහ එදිනෙදා වැඩ වලදි අපට නිතරම ඕනෑ වෙන දෙයක් තමයි අපේ ව(ර්)ඩ් ලියවිලි PDF වලට Convert කිරීම.

ඕක කරගන්න මමත් අනේකවිධ මෘදුකාඃග අද වෙනකන් ස්ථාපනය කරල තියෙනව, ෆ්‍රී ඒවා, ක්‍රැක් කරපු ඒවා වගේ එක එක ජාති…

දැන් නම් ඉතින් එච්චර වද වෙන්න ඕන නැහැ ඒක කරගන්න… මොකද අපේ අන්තර්ජාලයේ ගෝඩ් ෆාද(ර්) වන ගුගල් වලින් ඒක ලේසියෙන්ම කරගන්න පුලුවන් නිසා…

කරන්න තියෙන්නෙ පොඩි දෙයයි..

යන්න ගුගල් docs වලට,

ඔබේ ව(ර්)ඩ් ලියවිල්ල “upload” කරන්න ගුගල් docs වලට

ඉන්පසු කරන්න තියෙන්නෙ “File > Print ” එක select කරන්න විතරයි..

කරලා බලන්න…

අළුත් කලාවක් …


මේ පුංචි සිද්දිය උනේ මම උසස් පෙළ කරන කාලෙ… ඒ කිව්වෙ ඒ-ලෙවල් කරන කාලෙ…

ඉස්කෝලෙ ඉවර වෙලා මම බොරැල්ල බස් නැවතුමට ආව ගෙදර යන්න බස් එකක් ගන්න…. ටිකක් වෙලා බස් එකක් එනකං ඉද්දි, මගේ එහා පැත්තෙ හිටිය තරුණයා මගේ ලඟට කිට්ටුවුනා මගෙත් එක්ක කතාකරන්න වගේ…

පිරිසිදු අත්දිග කමිසයක් ඇඳල, ඒකට ගැලපෙන්න ටයි එකක් එහෙම දාල, පොර හොඳට ඇඳ පැළඳගෙන හිටියා… අතේ තිබ්බේ ෆයිල් කවරයක්… බැලූ බැල්මටම කෙනෙක්ට හිතෙන්නේ ඉන්ටර්වීව් එකකට යන කෙනෙක් වෙන්න ඇති කියලා…

මගෙ ලඟට ආපු ඒ පුද්ගලයා මගෙත් එක්ක කතාකරන්න ගත්තා…

“මල්ලි…”

” මල්ලි, අනේ තරහවෙන්නෙ නැතුව පොඩි උදව්වක් කරනව ද?”

මමත් ඉතින් ඇහුවා, “මොකද්ද අයිය වෙන්න ඕන” කියල…

“මල්ලි මම මේ ඉන්ටර්වීව් එකකට ආපු ගමන්, බලන්නකො මල්ලි කවුද යකෙක් මගෙ පර්ස් එකට ගහල නේ… මල්ලිට කරදරයක් නැත්නම් මට ගෙදර යන්න රුපියල් 20ක් දෙන්න පුළුවන්ද?”

අනේ ඉතින් මටත් තව ටික දවසකින් මෙයා වගෙ ජොබ් කටු හොයාගෙන පාරක් පාරක් ගානෙ ඉන්ටර්වීව් යන්න වෙනවා නේද කියල හිතිලා, ඒයාගෙ තැන ඉඳගෙන බැලුවම මට මගේ ගැනම දුක හිතිලා…. මම මේ පුද්ගලයාට රුපියල් 20ක්ම දුන්නා මේ කරපු උතුම් පුන්‍යකර්මයේ පිහිටෙන් පස්සෙ කාලෙක මම යන යන ඉන්ටර්වීව් සාර්ථක වෙන්න කියල හිතාගෙන!

මේ පුද්ගලයත් ඉතින් බොහොම යටහත් පහත්ව මුව පුරා තැන්ක්යූ කිව්වා මට, කරපු උදව්වට.

ඒ පුද්ගලයාගෙ සතුටු මූන දැකල, මට දැන් ජොබ් එකක් ලැබුනා වගේ කියල හිතෙන තරම් කික් එකක් ආව…

කොහොමින් කොහොම හරි දවස් 3ක් ගියා කියමුකෝ…

ඊට පස්සෙ දවසකත් මම ගෙදර යන්න එනකොට අර පුද්ගලයා ඉන්නව බස් හෝල්ට් එකේ… අදත් ඉන්ටර්වීව් එකකට යන්න වගේ ඇඳලා…

මමත් ඉතින් ගිහින් පැත්තකින් හිට ගත්තා… මම හිතුවේ පොර මාව අඳුනගනීවි කියල…

ඒත් එහෙම නෑ.. පස්සෙ මට හිතුනා අර රුපියල් 20 දෙන්න වෙයි වත් කියල වෙන්න ඇති එහෙම ඉන්නෙ කියල…

ටික වෙලාවකින් පොර මගේ ගාවට ඇවිත් කියනවා….

” මල්ලි, කවුද එකෙක් මගේ පර්ස් එකට ගහල මල්ලි.. මට මේ ඉන්ටර්වීව් එක ඉවර වෙලා ගෙදර යන්න බැරුව ඉන්නේ මල්ලි… මට බස් එකේ යන්න රුපියල් 20ක් ගන්න පුළුවන් වෙයිද?”

මේක අහපු මම එකපාරටම ඩිම් උනා… මම ඉතින් කිව්වා,

“අයියෙ පෙරේදත් ඔයාගෙ පර්ස් එකට කවුද ගහල තිබ්බා නේද” කියලා….

මේක අහපු පොර, “ආ…එහෙමද” කියල අනිත් පැත්ත හැරිල යන්න ගියා…

ඊට පස්සෙත් දවස් කීපයක් මිනිහා එක එක බස් හෝල්ට් වල ඉන්නවා මම දැක්කා…

කොහොම හරි මට හිතුනේ ඔය පොඩි කතාවක් හදල මිනිහ දවසට සෑහෙන ගානක් හොයාගන්න ඇති කියල…

ඒත් කමක් නැහැ කියල හිතුනා මොකද පොර හිඟා කන්නෙත් කලාවකට නේ. ලෝකෙ දියුණු වෙද්දි හිඟන්නෝ උනත් ජීවිකාව හොයාගන්න අළුත් අළුත් ක්‍රම හොයාගන්න ඕන…

මවු පිය සෙනෙහස කොහෙත් එකයි…


සිග්නල් එකේ කොළ ලයිට් එක වැටෙනකන් මම නවත්තගෙන හිටියා…

මගේ එහා පැත්තෙන් ඇවිත් නැවැත්තුවේ අලුත්ම සුදු පාට එස්-ක්ලාස් බෙන්ස් එකක්…. ඇතුලෙ හිටියෙ අරාබි ලෝගුව ඇඳගත්තු කටාර් ජාතිකයෙක් සහ ඔහුගේ දරුවා යැයි සිතෙන අවුරුදු 12ක වගේ ඉස්කොල ඇන්දුමක් ඇඳපු කොලු ගැටයෙක්.

කොළ ලයිට් එක පත්තු වෙනකන් කරන්න ඇති දෙයක් නැති නිසා මමත් රබර් ඇහැ දාගෙන දෙන්න දිහා බලන් හිටියා… ඇත්තතම මට බලන්න ඕනි උනේ කාර් එක දිහායි.. නමුත් ඇතුලෙ ඉන්න අය දිහාත් බැලුනා..

දෙන්නා මොකද්දෝ ලොකු කතාවක.. මොකක් හරි පුතාට කියපු ඒ තාත්තා ආදරෙන් කොල්ලගෙ ඔලුව අතගෑවා… එතන තිබ්බ සෙනෙහස, එ මුහුනේ ඉරියව් වලින් පෙනුනා…

මේක දැකපු මගේ හිත ඉක්මනටම ගොඩාක් ඈතට ඇදිලා ගියා…

පොඩි කාලෙ උදේ පාන්දර ඉස්කොලේ යන්න ඉස්සෙල්ල තාත්තා බත් කවන හැටි… ඔලුවෙ තෙල් ගාල ඔලුව පීරන හැටි… ඇඳුම් අන්දවලා ඉස්කොලේ යවන හැටි…

එහෙම මම හෙමිහිට මගේ අතීතයට ගියා…

අර පොඩි එකා දැකලා පුංචි පහේ ඉරිසියාවකුත් හිතට ආවා…

කොච්චර උස්මහත් උනත්, මොන ලොකු ලොකු උපාධි දැරුවත්, ලොකේ මොන කොනක හිටියත් තාත්තට කියල ඔලුව අතගා ගන්න තාමත් හරි ආසයි…