Tag Archives: මැදපෙරදිග

ඩ්‍රයිවින්ග් ස්කූල්


මැදපෙරදිග ගොඩක් රටවල් වල රියදුරු බලපත්‍රය ගන්න ඩ්‍රයිවින්ග් ස්කූල් එකකට යන්න ඕන. මම ඉන්න කටාර් වලත් එහෙමයි… සමහර වෙලාවට උපන්දා ඉඳන් එළවපු එකෙක්ට උනත් ලයිසන් එක ගන්න එක ලේසි වැඩක් නෙවෙයි..

කටාර් වල නම් මුලින්ම ඇස් පරික්ෂාවක් තියෙනවා, ඊට පස්සේ සිග්නල් ටෙස්ට් එකක් තියෙනවා.. එක එක ට්‍රැෆික් සයින් පෙන්නලා ඒවායෙ තේරුම අහනවා.. සමහර අය ඉතින් කලබල වෙලා වැඩේ අනා ගන්නවා..

ඒක පාස් උනාම “එල්” එක ගහන්න කියලා ඊට පස්සේ කල්ච් බැලන්ස් ටෙස්ට් එකක්.. ඒකත් පාස් නං පොකට් පාකින් එකක් තියෙනවා කරන්න. රිවස් එකේ පොකට් පාකින් එක ගහන එක ලේසි වැඩක් නෙවෙයි. මොකද වටේට බම්බු තියල තියෙන්නේ.. පොඩ්ඩක් ගෑවුනාම ඔක්කොම වැටෙනවා.ගොඩක් අය ඕකෙන් ෆේල් වෙන නිසා දැන් නම් ඒක අයින් කරලා නිකන්ම නිකන් පාකින් එකක් කරන්න තියෙන්නේ. එකථ් පාස් උනාම පොලිස් කාරයා දාගෙන රෝඩ් ටෙස්ට් එකක් යන්න ඕනි. එකත් පාස් උනොත් තමා ලයිසන් එක දෙන්නේ…

ඔන්න ඔය කියපු සන්තැසිය නිසා ඒකාලේ ලයිසමක් ගන්නවා කියන එක බුදු ගේමක්… ලයිසන් තියෙන අය නිකන් ලෝඩ් පකීර් ලා වගේ තමයි හිටියෙ.. අපි වගේ එක පාරින් ලයිසම ගත්තු අය නිකන් හිටියෙ මයිකල් ෂූමාකර්ලා වගේ… දිගටම කියවන්න

මේ තිරිසන් ක්‍රියාව හෙලා දකිමු..


අධික වැඩ මධ්‍යයේ උවද එක් කරුණක් නිසා මේ සටහන තැබීමට අවශ්‍යය විය.

සෞදි අරාබියේ රැකියාවකට ගිය ශ්‍රී ලාංකික කාන්තාවකගේ සිරුරට යකඩ ඇන රත්කර ඇතුලුකිරීමේ සිද්ධිය දැක බලවත් කම්පාවට පත්වුනෙමි. ඒ පිළිබඳව ඩේලි මිරර් වෙබ් අඩවියේ පුවත [1] [2] දැකීමෙන් ශෝකයක් මෙන්ම තරහක් ද උපදී..  එම ගෘහ සේවිකාව කුමන වැරැද්දක් කරත් ( එසේ කර ඇත්නම්),  මෙවන් පාපතර ක්‍රියාවක් කිරීමට තරම්  ඒ සේවා දායකයා කෙතරම් තිරිසනෙක් විය යුතුද යන්න මනුසත්කම දන්නා  කා හටත් නැගෙන ප්‍රශ්නයක් විය යුතුය.

සෞදි අරාබියේ රැකියාවට යන ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන්ට මෙවන් අඩන්තේට්ටම් සිදුවූ පළමු සහ අවසාන අවස්ථාව මෙය නොවිය හැකියි. ඒ කෙසේ වෙතත්, මෙතෙක් සිදුවී ඇති කරුණු සළකා බලන විට යම්තාක් දුරකට මෙවන් සිදුවීම් සෞදි මිනිසුන්ගේ පහත් මානසිකත්වයේ කැඩපතක් ලෙස යමෙක් සළකන්නේ නම් එය වැරැද්දක් විය නොහැකිය. තමන් යටතේ වැඩකරන අයට වහලුන්ට මෙන් සැළකීම පහත් මානසිකත්වයේන් පෙළෙන්නන්ගේ ලක්ෂණයකි.

මෙය මින් පෙර වාර්තාවූ රිසානා ගේ සිද්ධිය හා සසඳන්නට මම ඉක්මන් නොවෙමි. නමුත්, මෙවන් සිදුවීම් දකිද්දී සිතෙන්නේ ලාබාල රිසානා වුවත් එතරම් දරුණු ක්‍රියාවක් කරන්නට පෙළඹවූ කරුණු මෙවන් සිදුවීම් අස්සේ රහසේ සොයාගත හැකි බවයි.. රත් කළ යකඩ ඇන වරින් වර සිරුරට ඇතුල් කරද්දී එයට එරෙහි වීමට තබා බෙහෙතක් ලබා ගැනීමටවත් හැකියාවක් මෙවන් ගෘහ සේවිකාවන්ට නොමැති වීමෙන්, ඔවුන් සිටිනා තත්ත්වය ගැන දළ වැටහීමක් ලබාගත හැකිය. ඔවුන් කෙතරම් අසරණද? මේ සිදුවීම තුළින්ම රිසානා සෞදියේ සිටින්නට ඇති තත්ත්වයත් ඇය තුළ තිබෙන්නට ඇති මානසික පීඩනයත් හඳුනාගත හැකිය. එක් අතකින් මේ කාන්තාවට මේ සක්කිලි වද හිංසා විඳ දරාගැනීමට තිබූ දිරිය සහ ආත්ම ශක්තිය ගැන අප පුදුම විය යුතුය.

මේ පිළිබඳව විදේශ නියුක්ති කාර්‍යංශය සහ සෞදි තානාපති කාර්‍යාලය ඇතුලුව විදේශ අමාත්‍යංශය ගන්නා පියවර ගැන අපි සෝදිසියෙන් සිටිමු.. සිදුවූ වරද නිවැරදි කළැ නොහැක. නමුත් විපතට ලක්වූ ඒ කාන්තාවට සරිලන වන්දි මුදලක් සහිතව යුක්තිය ඉටුකරදිය හැකියි. එමෙන්ම මේවන් සිදුවීම් යළි නොවන්නටත් වග බලාගත යුතුය.

ප/ලි : සෞදි අරාබියට දන්න කියන කාටවත් යන්න කියල කියනවද?

මලයො ගැන තවත් කතාවක්..


මේකත් මලයො ගැන තවත් කතාවක්.. ඉස්සෙල්ලා කතාවෙන් කිව්වනේ අපේ රජ දරුවෝ ඉස්සර කාලේ කොහොමද ඉන්දියාවට ගිහින් නෙලලා ආවේ කියලා.. ඒක කියවන්න බැරිවුන අය මෙතන කොටල කියවල එනව හොඳයි…

ඔන්න එකෝමත් එක මුහුඳු කලාපයකදී විසාල නැවක් රාත්‍රී කාලේ අනතුරකට ලක්වුනා ලු. දැන් ඉතිං නැව පොඩ්ඩ පොඩ්ඩ ගිලෙනවාලු. ඒ අස්සේ නැවේ ඉන්න කට්ටිය තම තමන්ට පුළුපුළුවන් විදියට බඩු බාන්ඩත් අරගෙන බෝට්ටුවලට නැගලා නැවෙන් ඈතට යනවලු බේරිලා..

මේ ජර මර අස්සේ එක බෝට්ටුවකට සෙට් වෙලා තිබුනලු රුසියන් කාරයෙකුයි, ඇමරිකන් කාරයෙකුයි , ඉතාලි කාරයෙකුයි, අරාබි කාරයෙකුයි අපි හොඳින් දන්න කියන මලයෙකුයි…

දැන් ඉතිං මේ බෝට්ටුව පාවී පාවී තියෙනවලු මුහුඳ මැද්දේ.. රුසියන් කාරයා නැවෙන් එනකොට අරං ආපු වොඩ්කා බිබී ඉන්නවාලු. ඇමරිකන් කාරයත් ඉතිං කිසි ගානක් නැතුව ඉන්නවාලු.. ඉතාලි ඩයල් එකත් නැව ගිලුනත් බෑන් චූන් කිය කිය ඉන්න අතරේ, අරාබියා නිදි ලු. අනේ…අහිංසක මලයා හබලක් හොයාගෙන හබල් ගානවලු ගොඩබිමක් හොය හොය…

ඔහොම දවසක් දෙකක් යනකොට පාන්දර ජාමෙක මුන් සෙට් එකට පේනවලු ලඟම තියෙන ගොඩබිමක්… වෙරළ අයිනේ ඉන්න මිනිස්සු එහෙමත් ටික වෙලාවකට පස්සෙ පෙන්න ගත්තාලු.

දැන් ඉතිං සෙට් එකටම මාර හැපි ලු. සතුට වැඩි කමට බෝට්ටුවේ හිටපු රුසියන් කාරයා තමන් ගාව තිබ්බ වොඩ්කා බෝතල් ටික ඔක්කොම අරං මුහුඳට දාල කිව්වලු,

” මට දැන් මේවයින් වැඩක් නැහැ අපේ රටට ගියාම වොඩ්කා ඕන තරම් තියෙනවා” කියල.

මේක දැකපු ඇමරිකන් කාරයටත් සෙකන්ඩ් වෙන්න බැහැනේ.. පොරත් ඉතිං නැගිටලා ඉවරවෙලා බොට්ටුවේ ඉතුරුවෙලා තිබ්බ ඉරිඟු ටික මුහුඳට විසිකරලා කිව්වලු මටත් මේවයින් වැඩක් නෑ අපේ රටේ මේවා ඕන තරම් තියෙනවා කියල.

ඊළඟට ඉතාලි කාරයත් කිසි කලබලයක් නැතුව නැගිටලා මෙච්චර වෙලා බිබී හිටපු සුරුට්ටුවයි ඉතුරුවෙලා තිබ්බ සිගරට් ටිකයි මුහුඳට දැම්මලු.

මේක දැකපු අරාබි කාරයා එකපාරටම නැගිටලා අර අහිංසක මලයාව උස්සලා මුහුඳට විසිකරා ලු.

විසිකරලා හිනා වෙවී අත් දෙක පිහදාන ගමන් මෙහෙම කිව්වලු ;

” මටත් මූ ගෙන් ඇති වැඩක් නෑ අපේ රටේ මුන් ඕන තරම් ඉන්නවා”

මලයෝ ගැන කතාවක්..


මලයෝ කියන්නේ කවුද කියල දන්නවද? වෙනත් නම් වලින් කිව්වොත්, මලබාරියෝ, මෝල්-බාර්, කේරලයෝ… ඔය වගේ හැට හුට හමාරක් නම් තියෙනවා මේ කස්ටියට කියන… අඳුන ගන්න ලේසිම ලකුණ තමයි, උඩු රැවුල… උඩු රැවුල නැතුව ඉන්නේ පොඩ්ඩක් හරි හොඳට හැදිච්ච ඩයල් එකක්, එහෙමත් නැත්නං රැවුල එන්නේ නැති පොරක් තමයි.

මලයෝ කියන්නේ මලබාරි බාසාව කතාකරන ඉන්දියාවේ කේරල කියන ප්‍රාන්තයෙන් පැවතෙන උදවියට. මැදපෙරදිගට ආවා නම් ඉන්දියාවටත් වඩා ලේසියෙන් උන්ව දැක බලා ගන්න පුලුවන්… හරියට නිකන් මෙහේ සීත කාලේ ඉවර වේගෙන එනකොටම එන කැරපොත්තෝ වගේ තමයි මලයොත්. කොච්චර උනත් මැද පෙරදිග දාලා යන්නේ නැහැ, බෝ වෙන එක නතර වෙන්නේත් නැහැ… අද එකෙක් හිටියොත්, හෙට වෙනකොට ඩබල් ට්‍රිබල් වෙලා.. කටාර් වල නම්, කටාරින් වගේ 4 -5 ගුණයක්ම මලයෝ ඉන්නවා…

ඒ උනාට මේ මලයෝ නැත්නම් මේ රටවල් දුවන්නේත් නැහැ කියන එකත් අපි පිළිගන්න ඕන… පුංචි බක්කි කඩේ ඉඳන්, මහ බැංකුව දක්වා ඉන්න මලයෝ පේලිය නැත්නම් මේ රටවල් වල වැඩිමනක් වැඩ අබිලික් වෙලා තියෙයි.

මේ මලයෝ ගැන මැදපෙරදිග ඉන්න බ්ලොග් ලියන කීප දෙනක්ම සටහන් කීපයක් දාලා තිබ්බා.. මලයෝ ගැන ලියන්න වෙනම බ්ලොග් එකක් පටං ගන්න පුළුවන්, ඒ තරමටම කතා වැහි වැහැල..

මටත් ඉතිං හිතුනා මැදපෙරදිග ඉඳලා මලයෝ ගැන පෝස්ට් එකක් ලිව්වේ නැත්නම් මේ බ්ලොග් කෙරුවාවත් නිකං පර්ෆියුම් ෂොප් එකකට ගිහිං වාතයක් පිට කරා වගේ කියලා…

හරී… මෙන්න මේකයි ඉතිං කතාව..

කට්ටිය දන්නවානේ ඉස්සර රජ කාලේ, සිංහලේ මහ රජ දරුවෝ ( දරුවෝ කිව්වට දරුවොම නෙවෙයි ) ඉන්දියාවට ගිහිං ගේම ඉල්ලලා, ඉන්දියන් කාරයන්ට අම්බානක නෙලලා, ලස්සන මලය රටේ කුමාරිකාවොත් අරගෙන ජය පැන් බිබී ලංකාවට ඇවිත් ෆුල් ආතල් එකේ ජීවත්වුනා කියලා…

ඔය කැන්දං එන මලය රටේ, බිරින්දෑ වරුන් එක්ක ආපු එක එක ඩයල් තමයි ලංකාවටත් මලයාලි ගුරුකං එහෙම ඉන්ට්‍රොඩියුස් කරල දුන්නේ… මලයාලි ගුරුකං වලට ලන්කාවේ අපි කොහොමත් පොඩ්ඩක් බයයි නේ… ඔන්න.. ඔන්න…  ට්‍රැක් පනිනවා…

ආයේත් ට්‍රැක් එකට…

අපිට ඉතිං පොඩි කාලේ ලොකු ප්‍රශ්නයක් උනේ කොහොමද අප්පා මේ රජදරුවෝ අච්චර විසාල ඉන්දියාවට සේනාවකුත් අරගෙන ගිහිං ඇටෑක් කරලා, ඒ රටේ හිටපු ගෑනුත් අරං සීරීමක් වත් නැතුව කොහොමද ආපහු ආවේ කියලා..

මොකද ඉන්දියාවෙ ඉන්න සෙනඟ කන්දරාවේ හැටියට, උන් ඔක්කොම සෙට් වෙලා චූ කරානම් අපේ රජ දරුවෝ ඔක්කොම ගං වතුරට අහුවෙලා නවතින්නේ පොක් සමුද්‍ර ජොයින්ට් ඒකේ තමයි…

පොඩි කාලේ චේන් පැනල හිටියට, ඕකට හරි උත්තරේ මීටර් වෙන්න ගත්තා මැද පෙරදිග ආවට පස්සේ…

සීන් එක මොකද්ද දන්නවාද?

අපේ රජ දරුවො විසිට් කරන කාලේ මලය රටේ ඉඳලා තියෙන්නේ ගෑණු උදවියයි ළමයිනුයි විතරයි… මොකද මලයොන්ගේ පිරිමි ඔක්කොම ඉන්නේ මැද පෙරදිග නේ…

ඒ නිසා තමයි කිසි ගින්නක් නැතුව ඇටෑක් එක මෙහෙයවලා ලස්සන කෙල්ලෙකුත් අරං රිටන් ෆ්ලියිට් එකේ එන්න පුළුවන් වෙලා තියෙන්නේ..

දැං උනත් ඇටෑක් කරනවා නම්, ලේසියෙන්ම ගහල ගන්න පුළුවන් කෑල්ල තමයි කේරලය. තාමත් පිරිමි ටික ඔක්කොම ඉන්නේ මැද පෙරදිගම තමයි.

ඉරාජ් සිංහලද, දෙමළද.. නැත්නම්?


අද උදේ පාන්දරින්ම ඉන්දියාවේ චෙන්නායි වලට ගොඩබැහැපු නව පරපුරේ ප්‍රසිද්ධ ගායක ඉරාජ් මහත්මයාව ඉන්දියානු ආගමන විගමන බලධාරීන් විසින් අයුක්ති සහගත ලෙස රඳවාගෙන පසුව සමාව ඉල්ලන්නෙත් නැතුවම නිදහස් කරලා.

පුවත් වාර්ථාවේ හැටියට හේතුව වෙල තියෙන්නේ ඒ නිලධාරියා ඉරාජ් මහත්මයාගේ ශ්‍රි ලාංකික ගමන් බලපත්‍රය දැකල ” සිංහලද.. ? දෙමළද..?” කියල ඇහුවම ඉරාජ් මහත්මයා සිංහල කෙනෙක් වීමයි.

වලංගු ගමන් බලපත්‍රයක් සහ වලංගු ඉන්දීය වීසා එකක් සහිතව පැමිණි ශ්‍රී ලාංකිකයෙක්, ඔහු සිංහලයෙක් බව කියු පමණින් බැනවදින්නටත් රඳවා තියාගන්නටත් තරම් ඒ නිලධාරියා සහ පිරිස උග්‍ර දෙමළ ජාතිවාදී අදහස් වලින් පිරුන උන්මත්තකයෝ රැළක් වුනාට, මට නම් හිතෙන්නේ මෙතන ඉරාජ් මහත්මයාට අමතක වුන තැනක් තියෙනවා…

මීට පස්සේ ඉරාජ් මහත්මයාගෙන් හරි මේක කියවන ඔබගෙන් හරි ” සිංහල ද ? දෙමළ ද? ” කියල කවුරුහරි ඇහුවොත්, කියන්න සිංහලවත් දෙමළවත් නෙවෙයි ” ශ්‍රී ලාංකික” කියල… ප්‍රශ්නය ඉවරයි!

ඔය ප්‍රශ්නය අහන්නේ වැඩිමනක් ඉන්දීය උදවිය තමයි, කොහොමත් ඔය වාගේ බෙදුම්වාදී ප්‍රශ්න තියෙන්නේ ඉන්දියානුවන්ටයි…

මැද පෙරදිග නම්, Where are you from? කියල ඉන්දියානුවෙක් ගෙන් ඇහුවොත් උන් ඔක්කොම කියන්නේ මම කේරළ, මම තමිල්නාඩු, මම ආන්ද්‍රා කියල මිසක් කවදාවත් මම ඉන්දියාවෙ කියල කියන්නේ නම් එකෙක්වත් කියන්නේ නැහැ.

එහෙව් එකේ අර වගේ ප්‍රශ්නෙකට ” මම ශ්‍රී ලාංකික ” කියල උත්තරදීල, උන්ගේ මූන බෙරිවෙන හැටි බලලා ඇවිත්, මෙතන කොමෙන්ට් එකක් දාලා යන්න.

නැතත් කමක්නෑ කොමෙන්ට් එකක් දාන්න. 🙂

මැද පෙරදිග දහම්පාසල…


මෙහේ, ඒ කිව්වෙ මේ කාන්තාරෙ, තියෙනවා පුංචි දහම් පාසලක්. සිකුරාදා දවස් වල තානාපති කාර්යාලයේ තියෙන මේ දහම් පාසලේ ඔක්කොම ගුරුවරු උගන්වන්නෙ ස්වේච්චාවෙන්.
පුංචි පුංචි ළමයි 20ක් විතර එනව දහම්පාසලට. සිකුරාදා කියන්නෙ මෙහේ නිවාඩු දවස නේ. සතිය තිස්සෙම වැඩ කරලා මහන්සි වෙලා ඉන්න ගොඩක් අය සිකුරාදත් කලින් නැගිටින්න වෙන නිසා ළමයි දහම්පාසල් එවන්නේ නැහැ. ඒත් හැමදාම වාගේ එන අයත් ඉන්නවා..

ලංකාවෙන් පිට හිටියත් පොඩි උන්ට අපේ ආගම උගන්නන එක ඉතා අවශ්‍ය දෙයක්.

මේ කාන්තාරයක් මැද අපිට නුපුරුදු රටක ඉඳගෙන පොඩිඋන්ට ආගම දහම කියල දෙන්න තමන්ගේ නිවාඩු දවස කැප කරන ඒ ගුරු මහත්වරුන්ට පින් සිද්ධවෙන්න ඕන.

පහුගිය අවුරුද්දෙ දවසක මම ඔය දහම්පාසලට ගිය වෙලාවක වෙච්ච පොඩි දෙයක් මට තාම මතකයි…

දහම්පාලෙ උගන්වන ගුරුතුමිය අවුරුදු 5 ට අඩු බට්ටි පැටවු ටිකකට සිදුහත් කුමාරයාගෙ උපත ගැන කියල දෙනවා… ලංකාවෙන් ගෙන්න ගත්තු දහම්පාසල් පොත් වල තියෙන චිත්‍ර පෙන්න පෙන්න සිදුහත් කුමාරයා මෙලොව එළිය දුටු හැටි ඉංග්‍රීසි සිංහල මික්ස් කර කර කියල දෙන්නෙ පොඩි උන්ට හොඳින් තේරෙන්න… මේ චුටි ළමයින්ට වැඩිය සිංහල බැහැ… ඒක ඒ අහිංසක උන්ගෙ වරද නෙවේ…

පොඩි එවුන් කොහොමත් කැමතියි නේ චිත්‍ර අඳින්න. චිත්‍ර අඳින්න දුන්නෙ නැත්නම් පොඩි එවුන් ටික අනිත් දවසෙ දහම් පාසල් ගෙන්න ගන්නව බොරු. ඒ නිසා ගුරුතුමිය දුන්න පොඩි උන් සෙට් එකට සිදුහත් කුමාරයාගෙ උපත ගැන චිත්‍රයක් අඳින්න කියලා.

අපි කවුරුත් අහලා තියෙන කතාවක් නේ සිදුහත් කුමාරයා ඉපදිල නෙළුම් මල් හතක් උඩින් ඇවිදලා ” මම ලොවට අග ( අග්‍ර ) වෙමි” කියල කිව්වා කියලා…

ඒක ගැන පොඩි එකෙක් ලස්සන චිත්‍රයක් ඇඳල තිබ්බා….

සයිබර් යායේ බුද්ධි ට වගේ මට චිත්‍ර අඳින්න බැරි හින්දා මම ඒකෙ තිබ්බ දේ කියන්නම්.

ඒ පොඩි බට්ට තමන්ට පුළුවන් විදියට මල් ටිකක් පාගා ගෙන ඇඟිල්ලක් උස්සගෙන ඉන්න මනුස්සයෙක් ව ඇඳලා තිබ්බා….

චිත්‍රය විස්තර කරපු ඒ කොලු පැටිය කිව්වෙ මෙන්න මෙහෙම:

” බුද්ධ අංකල් කේම් ටු දිස් වර්ල්ඩ් ඉන් අ වෙසක් ඩේ. ඊට පස්සෙ බුද්ධ අංකල් සෙවන් ස්ටෙප්ස් තිබ්බා ෆ්ලවර්ස් උඩ…. ඊටත් පස්සේ…. බුද්ධ අංකල් සේඩ් හී ඉස් ග්‍රේට් කියලා….”

ඒ පුංචි පැටවුන්ගේ අහිංසක බවයි…

නොබැලූ ලියුම…


මේක මට ලැබුන ඊ-මේල් එකකින් උපුටාගත්තු එකක්. මේක මෙතන පෝස්ට් කලාට සමාවෙන්න… පෝස්ට් නොකර ඉන්න බැරි නිසාමයි මේක එකතු කරේ, මොකද මේ වගේ චරිත ගොඩාක් මට දිනපතා හමුවෙනවා… කර්තෘ අඥාතයි…අයිතිකාරයෙක් ඉන්නවානම් කියන්න…

—-
ආදරණීය අම්මේ, තාත්තේ

මේ ලිපිය ලියන අද මම මැදපෙරදිග වසර පහක් සම්පූර්ණ කරනවා. ලබන මාසෙ ගෙදර එන්නයි හිතන් ඉන්නෙ. කලින් නිවාඩුවට ගෙදර එද්දී වෙච්චි ණය ඔක්කොම ගෙවලා ඉවරයි. මේ නිවාඩුවත් එක්ක මම ගෙදර නවතින්නයි හිතන් ඉන්නෙ. මම ආයෙත් මෙහෙ එන්න අදහසක් නැහැ. මට හොද විශ්වාසක් තියෙනවා මට ලංකාවෙ හොද රස්සාවක් කරන් ඉන්න පුලුවන් වෙයි කියලා.

මේ ගැන ඔයාලත් අදහස් කියන්න.

මීට ආදරණීය,
පුතා.

—–

ආදරණීය පුතේ,

අපට ඔබේ ලිපිය ලැබුණා. ගොඩක් සතුටු වෙනවා ඔයා නිවාඩුවට එන එක ගැන. ඉතිරිය අම්මා ලියාවි. පුතේ, ඔයා දන්නවද අපේ ඉන්න ගෙදර තත්වයනම් බොහොම නරකයි. වැස්ස කාලෙට ගේ ඇතුලෙ ඉන්න තැනක් නැති තරම්. හැමතැනම තෙමෙනවා. වහලය අලුතින්ම හදන්න වෙයි මේ කාලේ ලී වල ගණන් හැටියට ඒක අපිට දරාගන්න බැහැ. හැමෝම කියන්නේ කොන්ක්‍රිට් දාලා උඩ තට්ටුවත් හදන්න කියලා. හරියට ගෙයක් නැතිව මොනව කරත් වැඩක් නැහැ. ඔය රස්සාව නවත්තලා මෙහෙ ඇවිත් ලැබෙන සොච්චම් පඩියෙන් කොන්ක්‍රිට් දාලා ගෙයක් හදන්න පුලුවන් වෙයිද? මම මේක කිව්වෙ ඔයාට මතක් කරන්න. පුතා හොද දෙයක් බලලා තීරණය කරන්න.

ඔබේ ආදරණීය

අම්මා.

—–

ආදරණීය අම්මේ,

ඔන්න මේ කාන්තාරෙ අවුරුදු දහයක්ම ගතවෙලා අදට. ලබන මාසේ ගෙදර එන්නයි හිතන් ඉන්නෙ. ගේත් හදලා ඉවරනෙ, ඒ‍කට ගත්ත ණය ඔක්කොමත් ගෙවලා ඉවරයි. මේ සැරේනම් ගෙදර ඇවිත් නවතින්න හිතන් ඉන්නෙ. ත්‍රීවීල් එකක් හරි හයර් කරලා ගෙදර වියදම පියවගන්නයි හිතන් ඉන්නෙ. දැන්නම් මෙහෙ ඉදලා එපා වෙලා. මගේ ලමයි එක්ක සතුටෙන් ඉන්න තමයි අදහස.

මේ ගැන ඔයාලගෙත් අදහස් කියන්න.

මීට ආදරණිය
පුතා.

—-

ආදරණීය පුතේ,

ඔයාගේ ලියුම කියෙව්වම හරිම දුක හිතුනා. මගේ පුතා අපි වෙනුවෙන් පොඩි කාලේ ඉදන්ම දුක් වින්දා. මම මේ මතක් කරන්නමයි හිටියෙ ඔයාගේ නංගී දැන් කසාද බන්දලා දෙන්න වයසත් හරි. එයා බන්දල දුන්න නම් මගේ හිතත් නිදහස්. මම මැරෙන්න කලින් එයත් බැදල ඉන්නව දකින්න ආසයි. වැරදියට ගන්න එපා ඒ ගැනත් හිතල බලන්න. ඔයාම තීරණය කරන්න.

මීට
අම්මා.

—–

ආදරණීය ස????(බිරිද)

අවුරුදු 14ක් ම ගෙවිලා ඉවරයි. දැන්නම් මට මෙහේ තිත්ත වෙලා. තවත් නම් මෙහෙ ඉන්න බැහැ. මගේ වීසා එකත් කැන්සල් කරගෙනම එන්නයි හිතන් ඉන්නෙ. නංගීගේ කසාදයත් හිතන් හිටියටත් වඩා හොදට වුණා. ඒකට ගත්ත ණය ඔක්කොමත් ගෙවලා ඉවරයි. මම මෙහේ වුණු ණයත් ඔක්කොම ගෙවලා ඉවරයි.

ලංකාවට ඇවිත් මොනවා හරි රස්සාවක් කරන්න ඉන්නවා. දැන්නම් බර වැඩ කරන්නත් ආමාරුයි. අධික රුධිර පීඩනයයි දියවැඩියාවයි දෙකම ඇවිත්. ගන්න පඩියෙන් බාගෙකට වඩා බේත් වලට යනවා. ලංකා‍වට ඇවිත් බේත් කරානම් හොදයි.

මීට
ජ????(සැමියා)

—–

ආදරණිය ජ????(සැමියා)

ඔයාගේ ලියුම කියවලා මගේ ඇස් වලට කදුලු ආවා. ඔයානම් ආයෙත් රට යන්න එපා. අපි බැන්දයින් පස්සෙ මෙච්චර කාලෙකට මම ඔයාගෙන් කිසි දෙයක් ඉල්ලලා නැහැ. එත් දැන් මට ඔයාගෙන් දෙයක් ඉල්ලන තියෙනවා. ඔයාලගේ අයියා බැන්දයින් පස්සෙ අම්මා සෑහෙන්න වෙනස් වෙලා. එයාලගෙ පැත්ත අරන්. ඒවගේමයි මම අහගෙන මේ ගේ අයියලට ලියල දෙන්න යනවලු. එහෙම වුනොත් මේ දරුවයි මමයි ඉන්නේ කොහෙද, අපිට යන්න තැනක් නැහැ. ඔයාට පුලුවන්නම් අපේම කියලා ගෙයක් හදාගමු. ඔයා දන්නවනේ දැන් සිමෙන්ති, යකඩ බාස් කුලී කොයිතරම් ගණන් ද කියලා. මම මගේ හිතේ තියන දුක කිව්වේ ඔයාත් හිතලා බලන්න.

මීට ආදරණීය
ස????(බිරිද)

——

ආදරණීය ස????(බිරිද)

අවුරුදු 19ක්ම ගතවුනා. හිතාගන්නත් බැහැ මෙච්චරකල් හිටියද කියලත් තනියම මෙහේ. කොහොම හරි අපේ ගේත් හදලා ඉවරකරගත්තා. ඒකත් ලොකු දෙයක් නේ. තවත් නම් වැඩකරන්න බැහැ. මම රස්සාවෙන් අයින් වෙන්න කාලේ හරි. අස්වෙනවත් එක්ක ම‍ගේ අතට ලැබෙන මුදලත් හිතන් හිටියට ව‍ඩා අඩු ගානක්. මොනවා කරන්නද, අනික් අයටත් මීට වඩා සලකන්න තිබුනා ටිකක් වැඩිපුර ලැබෙනව නම්. කොහොම හරි මම යමක් කරගත්තනේ ඒ ගැන සතුටුයි. හැබැයි පවුල් ජීවිතයක් තිබුණෙම නැහැනෙ. මම අස්වෙලා ඇවිත් ලමයි, ඔයා, එක්ක ජිවත් වෙන්න ඕනෙ. මේ සැරේ නම් අස් වෙලා තමයි එන්නෙ.

මීට
ජ????(සැමියා)

——-

ආදරණීය ජ????(සැමියා)

ඔයාගේ ලියුම කියෙව්වයින් පස්සේ මම ගොඩක් සතුටුවුණා පරක්කු වෙලා හරි ඔය රස්සාව අත ඇරල එන්න ඔයා ගත්තු තීරණය ගැන. ඒත් පුතා කියනවා එයාට කොම්පියුටර් ඉංජිනේරුවෙක් වෙන්න ඉගෙනගන්න ඔනෙලු. පලවෙනි අවුරුද්දෙ ලක්ෂ හතරයි, ඉන් පස්සේ ලක්ෂ තුන ගානේ අවුරුදු දෙකක්. එකපාරම ඔක්කොම සල්ලි ගෙවන්න ඕනෙ නැහැ. කොටස් වශයෙන් ගෙවන්න පුලුවන්. ලංකාවේ හොදම කොම්පියුටර් ඉංජිනේරුවො ඉගෙන ගෙන තියෙන්නේ ඒකේ. මේ මාසේ 30ට කලින් රෙජිස්ටර් වෙන්න ඕනෙලු.

ළමයගේ අනාගතේ ගැන හිතලා ඉක්මනින් පිලිතුරක් එවන්න.

මීට,
ස????(බිරිද)

——

ඉතින් ඔහු තමන්ගේ පුතාගේ අධ්‍යපනය වෙනුවෙනුත් දුවගේ විවාහ මංගල්‍යය වෙනුවෙනුත් අවුරුදු කීපයක් වැය කරලා අවුරුදු 27කට පස්සේ තමන්ගේ ප්‍රතිලාභ විදියට දියවැඩියාව, අධික රුධිර පීඩනය සහ කොන්දෙ අමාරුව කරපින්නගෙන රැකියාවෙන් අස්වෙලා ගුවන් තොටුපලට යන ගමන්, නිකමට වගේ තමන්ගේ කලිසම් සාක්කුවට අත දාද්දී අහුවුනා ඊයෙ පෙරේදාවක බිරිද එවපු ලිපියක්.

ඒක තවමත් කඩලා නැහැ……

ඔහු ඒක අතට අරන් නොකඩාම ආයෙත් දෙකට නවලා සාක්කුවට දාගත්තා.

ඒ ලියුම තමා ඔහුගේ මැදපෙරදිග ජීවිතේ ඔහු නොකියවූ එකම ලියුම…

– ඉවරයි –

පසු සටහන: කර්තෘ අඥාත නැත.ප්‍රභාත් කියන අපේ සහෝදර බ්ලොග්කරුවාගෙ නිර්මාණයක් තමයි කැරකිලා ගිහින් මට ඊ-මේල් වෙලා තියෙන්නේ… ඔරිජිනල් නිර්මාණයට මෙතනින් ගිහින් බලන්න. කර්තෘ ට ලිපියේ සම්පූර්ණ ගෞරවය හිමිවෙනවා.