Tag Archives: යුද්ධය

ඒ තිරිසනා මරා දමා අදට හරියටම වසර දෙකකි…


ඒ දිනවල අපි කොළඹ ගියේ හිතේ ඇති අවිනිශ්චිත බවත් දරාගෙනය. එකල පාසැල් සිසුවන් වූ අපට 1993 ජනාධිපති ප්‍රේමදාස ඝාතනයත් සමඟ වඩාත් දැඩිවූ බෝම්බ රැල්ල මහා බලපෑමක් ඇතිකලා මතකය. 1996 මහ බැංකු බෝම්බය පිපිරී ගියේ විශාල කම්පනයක් සමඟය. පැය බාගයක් යනවිට කොළඹ පාසැල් පිරී ගියේ ළමයින් ගන්නට ආ දෙමාපියන්ගෙනි. එදා පාර දිගට තිබූ තදබදය සහ මිනිස්සුන්ගේ හිත්වල තිබූ භීතිය තවමත් මතකය.

ඉන්පසුව , නොයෙක් පාසැල් වලට බෝම්බ තබන බව අසා, කීප විටක්ම දෙමාපියන් පාසැල් වලින් බලෙන්ම දරුවන් අරන් ගියා මතකය. එක් වරක් කොළඹ ප්‍රධාන මල් ශාලාවකට කුඩා මිනී පෙට්ටි 500ක් සූදානම් කරන්නැයි ඕඩරයක් ද ලැබී තිබුණි.

පොදු ජනයා වෙත මේ බලපෑම කොතෙක්ද කිවහොත් හැකි හැම විටම රටේ ප්‍රසිද්ධ ස්ථාන මඟහැර යන්නට බොහෝදෙනා පුරුදුවී සිටියෝය. කොළඹ-කොටුව ස්ටේසමට යන්නේ නොයා බැරිනම් පමණි. කොච්චියෙන්, බස් එකෙන් බිමට බහිනකම් ඉන්නේ රාක්ක වල ඇති පාර්සල් දිහා බලමිනි. වටපිටාවේ ඉන්න හැමකෙනා දිහාම සැකයෙන් බලන්නට අප පුරුදු විය. කොළඹ ප්‍රධාන ගොඩනැඟිලි, පාර්ලිමෙන්තු, රජයේ ආයතන අසලින් යන්නේද හිතේ බයෙනි. දිගටම කියවන්න

Advertisements

දැන් ඔවුන්ව අමතක කරමුද?


මේ ගැන මට ලියන්නට සිත් වූයේ පරිගනකයේ තිබී හමුවූ පින්තූරයක් දැක මතකය අලුත් වූ නිසාවෙනි. පින්තූරය රණවිරු සෙවනේදී ගත් එකකි.

ඒ 2008 වසරේ තෙවැනි කාර්තුවයි.. කුරිරු කොටි ත්‍රස්තවාදීන්ට එරෙහි යුද්ධය ඉතා සාර්ථකව සහ වේගයේන් ඇදී යමින් තිබුනි.. එකල අප සැවොම කලේ  ආරක්ෂක අමාත්‍යංශයේ වෙබ් අඩවේයේ තිබූ සිතියම දිහා දිනපතා බලා සිටීමය…පැයෙන් පැයට එය රී ෆ්‍රෙෂ් කිරීමය… අහල පහල තියෙන තුංමං හන්දියට වඩා පුදුමාතලන් හන්දිය ගැන එකල අප දැන සිටියෙමු.

යුද්ධය කෙරීගෙන යන ආකාරය පිළිබඳව කාගේත් සිත්වල කැමැත්තක් තිබුණි. මෙදා පාර කොටියා කම්මුතුයි යන බලාපොරොත්තුව කාගෙත් හිත්වල දළුලමින් තිබුණි.

මේ අතරතුර අප කාර්‍යාලයේ සේවය කරන 25කට ආසන්න ශ්‍රි ලාංකික පිරිස තීරණය කලේ යුද්ධය වෙනුවෙන් අපිත් යමක් කළ යුතු බවයි.

ඒ සඳහා එක් රැස්වී අපි මුලින්ම කලේ අපේ අරමුණ පිලිබඳව දන්වා, උදව් උපකාර කළහැකි අයුරු විමසා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයට ලිපියක් යැවීමය.. ලිපිය ෆැක්ස් කර දින කීපයක් ගතවෙද්දී මගේ දුරකතනයට ඇමතුමක් ලැබුනි. අනෙක් පසින් කතාකලේ මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතායි. එවකට මගෙ මතකයේ හැටියට ඔහු ආරක්ෂක අමාත්‍යංශයේ ඉහල පෙලේ නිලධාරියෙකි. ඔහු කතාකර ආධාර උපකාර කළ හැකි ආකාරය ගැන මා දැනුවත් කර, රාගම රණවිරු සෙවනට ද මා යොමු කරන ලදී.

ඉන්පසු අප විසින් කළ හැකි දෑ කවරේදැයි මම රාගම රණවිරු සෙවන බාර නිලධාරී කර්නල් තමාරා මහත්මියගෙන් දුරකතනයෙන් විමසා සිටියෙමි. ඇය එතැනට අවශ්‍යය කරන නොයෙකුත් දෑ පිළිබඳව සහ කෙරීගෙන යන ව්‍යාපෘති කිහිපයක් පිළිබඳව මා දැනුවත් කරන ලදී. එහිදී ඇය ප්‍රකාශ කල එක් දෙයක් වූයේ වාට්ටු වලට රූපවාහිනී යන්ත්‍ර නොමැති බවත්, හැකිනම් රූපවාහිනී යන්ත්‍ර කිහිපයක් ලබාදෙන ලෙසත්ය. එමෙන්ම වාට්ටු වල බෙහෙත් ගබඩාකිරීමට ශීතකරණ යන්ත්‍ර නොමැති බවත් ඇය පවසන ලදී…

මෙම අවශ්‍යයතාවන් අපි සියලුදෙනා එකතුව සාකච්ඡා කරද්දී සැමගේම අදහස වූයේ රූපවාහිනී වැනි දෑ සුපොඛභෝගී අයිතම බවත්, ඒවා අවශ්‍යය නැති බවත්ය.  එවැනි සුපෝඛභ්හෝගී දෑ විමසීම පිළිබඳව අප පුදුමයට ද පත්වූයෙමු.  කෙසේ වෙතත් අපගේ ප්‍රධාන අරමුණ වී තිබුනේ කෘත්‍රිම පාද ලබාදීමයි. ඒ නිසා අප ඒ පිළිබඳ වැඩි අවධානය යොමුකොට අනෙක්වා බැහැර කරන ලදී..

ඒ අතරතුර අප අතරින් අයෙක් නිවාඩුවකට ලංකාවට ගිය බැවින්, අප ඔහුගෙන් විමසා සිටියේ හැකිනම් රණවිරු සෙවනට ගොස් සොයාබලන ලෙසයි.

ඔහු එහිගොස් පැවසූ දෙයින් අප සැවොම ඉතා කම්පාවට පත්වූවා මට මතකය.

වාට්ටු වල සිටින ආබාධිත සෙබලුන් බොහෝමයක් දෙනා බලාගත් අත බලාසිටී. අයෙක්ගේ කකුල් දෙකම අහිමිව ගොස්ය. සමහර අය සදාකාලිකවම ඇඳ උඩට සීමා වී සිටී. ඔවුන් ගෙවන්නේ දුඛ්ඛිත ජීවිතයකි. අද අප ඉන්නවාක් මෙන් සැප විඳීමට ඔවුනටද හැකියාව තිබුණි. ඒ වෙනුවට ඔවුන් කලේ යුද්ධය තෝරා ගැනීමයි. අපේ සහ රටේ අනාගතය තකා ඔවුන් ඔවුනගේ අනාගතය ආබාධිත කරගන්නා ලදී.

වාට්ටු කිහිපයක ( මට මතක ඇති ලෙස 2ක පමණ ) රූපවාහිනී යන්ත්‍ර තබා තිබේ.. වාට්ටුවේ සිටි වැඩිමනක් දෙනා කළේ එය දෙස බලාසිටීමයි. තුවාල වල සහ අබ්බගාත ජීවිතයේ වේදනාව ඒ රූපවාහිනිය බොඳ කර හරින්නා සේය… දුර ඈත ඇඳවල් වල සිටි අයට හරි ලෙස රූපවාහිනිය පෙනෙන්නේ නැත. කකුල් දෙකම නැති වුනත් දෑතේ වීරියෙන් ඉස්සී ඉස්සී රූපවාහිනිය බලන සෙබලුන් සහ ඔවුන්ගේ මානසික තත්ත්වය ගැන ඔහු එසේ කියද්දී අප සැවොම කලින් සිතූ දේ ගැන සිතින් දහස් වරක් සමාව අයැද සිටියෙමු..

එම නිසා අප තීරණය කරේ කෙසේ හෝ දැනට එකතුවූ මුදලින් මේ ඕනෑ එපාකම් ඉක්මනින්ම සපුරාලිය යුතු බවයි. ඒ වන විට අප සතුව රුපියල් ලක්ෂ දෙකක් පමණ එකතුවී තිබුනි. ඒ වියදමෙන් අප තීරණය කලේ රණවිරු සෙවනට අවශ්‍යය රූපවාහිනී යන්ත්‍ර දෙකක් සහ ශීතකරන යන්ත්‍රයක් ලබා දීමටයි. බිත්තියේ එල්ලිය හැකි පරිදි LCD වර්ගයේ ඒවා ගැනීමට තීරණය කලේ වාට්ටුවේ සැවොටම පේන ලෙසින් එය තැබීමටය.
එම විදුලි උපකරණ ගුවන්තොටුපල තීරුබදු රහිත සාප්පු වලින් ගැනීමට ඒ දිනවල නිවාඩුවට ලංකාවට ගිය මහත්ම මහත්මීන් දෙපලක් අපහට උදව් කරන ලදී. ඉන්පසුව සංවිධානය කෙරුන කුඩා උත්සවයකදී ඒවා සියල්ල රණවිරු සෙවනට බාරදෙන ලදී. එවකට ලංකාවේ සිටි අපගේ සොහොයුරන් කිහිපදෙනෙකුත් අනෙක් අයගේ පවුල් වල උදවියත් පැමිනියේ සෙබලුන්ට අවශ්‍යය පළතුරු ටිකක් ද රැගෙනය.

එලෙස අපගේ ආධාරයේ පළමු අදියර නිම විය..

ඉන්පසුව වූයේ දෙවන අදියර ලෙස කෘත්‍රිම පාද ලබා දීමයි. අප සතුව ඒ වනවිට තවත් රුපියල් ලක්ෂ 7.5 පමණ එකතුවී තිබුණි. අපවෙත කෘත්‍රිම පාද අවශ්‍යය ආබාධිත සෙබලුන්ගේ ලැයිස්තුවක්ද ලැබී තිබුණි. එයින් පාද දෙකම අහිමි අය ප්‍රථමවත්, ආබාධයට ලක්වී ගෙවී ඇති දිනප්‍රමාණය දෙවනුවත් වශයෙන් අපේ අතැති මුදල් වලට අනුව සෙබලුන් 30කට අධික ප්‍රමාණයක් තෝරාගන්නා ලදී. ඉන් පසුව තිබුනේ මේ මුදල බාර දීමයි. අප කිහිප දෙනෙක් ගේ අදහස වූයේ තවත් කීයක් හෝ දමා ලක්ෂ 8ක් එකතුකර තවත් සෙබලුන් දෙදෙනෙක් එකතුකළ යුතු බවයි. නමුත් ඒ වෙනුවෙන් නැවත මුදල් එකතු කිරීමේ හැකියාවක් තිබුනේ නැත. ආයතනයේ අයට අමතරව මගේ පුද්ගලික හිතවත්කම මත මගේ හොඳම යහළුවන් කිහිපදෙනෙකුද මුදල් දී තිබුනි. ආයතනයේ සිටි කිහිප දෙනක් මුදල් දෙන්නට ප්‍රතික්ශේප කරන ලදී. මාගේ හොඳම යහළුවන් කිහිප දෙනෙක් ද කර ඇරියේය. එවන් පසුබිමක් තුළ අන් අයගෙන් මුදල් ඉල්ලීමෙන් පලක් නොවන බැවින් අප දෙතුන්දෙනෙකු ඉතිරි මුදල දමා අරමුදල සම්පූර්ණ කරන ලදී..

ඉන්පසුව ලංකාවට නිවාඩු යන සහෝදරයන් අත ඒ මුදල යවන ලදී. ඔවුන් ආරක්ෂක අමාත්‍යංශයේ සහයෝගය ඇතිව, යුධ හමුදා මූලස්ථානයට ගොස් ඒ මුදල කෘත්‍රිම පාද වෙනුවෙන් පරිත්‍යාග කරන ලදී.

එලෙස ආධාරය නිම විය…නොයෙක් අයුරින් ආධාර සහ උපකාර කළ අයට අදත් අපගේ ස්තූතිය පිරිනැමේ…. එය අවසන් වූ පසු අප කාහටත් දැනුනේ රටක් රාජ්‍යක් ලැබුවාක් මෙන් සතුටකි. අපේ රට වෙනුවෙන් අපිත් යමක් කරා ය යන හැඟීම නිරතුරුව අප කාගේත් හිත්වල තිබුණි.

එදා අප කාහටත් මේ පිළිබඳ ප්‍රචාරයක් අවශ්‍යය නොවීය. ඒ නිසාම අප එය කිසිම මාධ්‍යයකට පැවසුවේද නැත. ආරක්ෂක අමාත්‍යංශයේ වෙබ් අඩවියේ පමණක් ආධාරය ගැන පුවතක් පලවිය. එදා කිසිම ප්‍රචාරයක් අවශ්‍යය නොවී, අද මා මෙය මෙලස කීවේ එක හේතුවක් ඇතිවය. අප මේ කළ කුඩා දෙය ආදර්ශයට ගෙන තවත් එක් අයකු හෝ ඔවුනගේ දුක සැප බැලීමට යා නම්, එය අති මහත් පුණ්‍යකරිමයක් වීම එම හේතුවයි. තවත් එක දෙයක් වන්නේ අප සංවිධාන වුවහොත් බොහෝමයක් දෑ කල හැකි බව වටහා දීමත් ය.

එදා මෙන් අද ලාංකීය ජනයා ඒ අසරණ සොල්දාදුවන් දෙස නොබලති. එදා යුද්ධය ගැන, සොල්දාදුවන් ගැන තිබූ හැගීම අද නැත. එදා මාධ්‍ය පිරිවරා ආධාර කරන්නට ගිය උදවිය අද ඒ පැත්ත වත් බලන්නේ නැත.

එම සොල්දාදුවන් රැක බලා ගැනීම ආණ්ඩුවේ සහ යුධ හමුදාවේ වගකීම බව ඇත්තය. ඒ දෙපිරිස එය හැකි උපරිමයෙන් ඉටු කරනු ඇත. නමුත් ඒ සෙබලුන්ගේ ඒ උදාරතර කැප කිරීම නිසා ඔබේ පවුලේ උදවිය අද සුවෙන් සතුටින් සිටී. ඔවුන් එසේ නොකරන්නට අපගේ හිතවතුන් පවා බෝම්බ වලට බිලි වන්නට හැකිව තිබුණි. එනිසා ඒ කළ ගුණ සැලකීම අපගේ ද වගකීමය. අන් අයට බනින්නට පෙර අප අපගේ වගකීම ඉටු කර සිටිය යුතුය.

ඒ සඳහා මහා පරිමාණයෙන් ආධාර උපකාර කළ යුතු නැත. ඒ සොල්දාදුවන් සියල්ලට පළතුරු ටිකක් රැගෙන ගොස් දුක සැප බලා ඒමත්, කියවන්නට පොත් පත්තර ටිකක් අරන් දීමත් ඔවුනට ඉතා විශාල දිරියක් විය හැකිය.

මගේ නිහතමානී ඉල්ලීම නම් ආයතන මට්ටමින් හෝ මිතුරු මිතුරියන් හෝ එකතුවී යම් කිසි දෙයක් ඔවුන් වෙනුවෙන් කරන ලෙසයි. එය අසීරු කටයුත්තක් නොවේ.

ඔවුන් වෙනුවෙන් අපි අපේ යුතුකම් ඉටු කරමු!

We Salute our war heroes!

– – – – – – – – – –

ප/ලි : ලිපිය හිතුවාට වඩා දිග විය. වැඩිමනක් දෙනා දිගු ලිපි කියවන්නේ නැති බව මම දනිමි. නමුත් මෙතැනට ආ ඔබ මෙය සම්පූර්ණයෙන් කියවාවී කියා මම සිතමි. කියවා, ඔවුන් වෙනුවෙන් යමක් කරන්න. පහත ඇති වීඩියෝ දෙකත් හැකිනම් නරඹන්න.

පේන්ට් බෝල් වලින් යුද්ධය විඳ ගතිමි…


පසුගිය සෙනසුරාදා දවසේ මම ගියා මගේ යාලුවෝ කිහිප දෙනෙක් එක්ක පේන්ට් බෝල් ගහන්න. තරඟ තුනකින් 2-1 විදියට අපේ සෙට් එක පැරදුනා. පළවෙනි එක හරි ලේසියෙන් දිනා ගත්තු අපි ටික අනිත් ගේම් දෙකම පැරදුනේ මහන්සි වැඩිනිසා සහ බෝල ඉවරකරගත්තු නිසා.

පේන්ට් බෝල් ගහන්න ගිය එකෙන් මිනිත්තු කිහිපයක තෘප්තියක් විතරක් ලැබුනා වුනාට අපි ඔක්කොම දෙනා ඉගෙන ගත්තු ලොකු දෙයක් තිබ්බා.

ප්‍රතිවාදී කෙනෙක් වෙඩි තියද්දී වෙඩි වැදුනොත් තරඟයෙන් ඉවත් වන්න වෙන නිසා හිතට දැනෙන්නෙ බයක්. නිකම්ම නිකන් පේන්ට් බෝල් ගහනකොට ඒක එහෙම දැනෙනවා නම් ඇත්තටම යුද්දෙ කරපු අපේ වීර සෙබලුන්ට ඒක කොහොම දැනෙන්න ඇත්ද කියල හිතෙනකොට ඔවුන් ගැන දැනෙන්නේ ලොකු ගෞරවයක්.

ටික වෙලාවක් පේන්ට් බෝල් පිටියේ තිබ්බ බැරල් බංකර් වලට එක විදියට මුවා වෙලා හිටියම පොඩ්ඩ පොඩ්ඩ කකුල් අත පය හිරිවැටීගෙන එන හැටිත්, ඒවා රිදෙන්න ගන්න විදියත් නිකන්ම දැනුනා. එකම විදියට ගොඩක් වෙලා හැංගිලා ඉන්න බැරි නිසා පොඩ්ඩක් ඉරියව් වෙනස් කරනකොට වෙඩි වදින හැටිත්, යුද්දයකදී ජීවිතය අනියතයි කියන එකත් හොඳින්ම දැනුනා… අපිට බංකරයකට වෙලා එක විදියට විනාඩි 2ක් ඉන්න බැරි කොට ඔවුන් පැය ගනන් හිටියෙ කොහොමද කියලා හිතුනා.

අපේ වීර සෙබලුන් පහල අමුනලා තියෙන විදියට දුක් කරදර ඉවසගෙන සටන් කරේ කොහොමද කියල හිතුවම පුදුම හිතෙනවා.

මේ පුංචි සටහනේ අන්තිමටම කියන්න තියෙන්නේ වික්‍රමබාහු, සුනන්ද දේශප්‍රිය වගේ අපේ හමුදාව පහත් කරලා කතාකරපු උදවිය අඩුම තරමින් පේන්ට් බෝල් ගේමක් වත් ගහල තිබ්බා නම්, ඔහොම කියන්නේ නැති බවයි.