Tag Archives: සබං බෝල

වඳුරෝ සහ ගස්ලබු යුෂ …


ඩෙංගු රෝගය ගැන හැම තැනම කතා වෙනවානේ දැන්. ලංකාවේ ප්‍රශ්නයක් ඇතිවෙලා ඒක උපරිමයටම යන්න ඕන ඒකට හරියන පිළියමක් යොදන්න. සුනාමිය ඇවිත් ඔක්කොම කාබාසිනියා කරලා දානකන් අනතුරු ඇඟවීමේ පද්ධතියක් තිබුනේ නෑ.. ඒකනම් කමක් නෑ කියමුකෝ, මොකද හදිසි ආපදාවක් නේ. ඒත් ඩෙංගු එහෙමද? ඒක වළක්වන්න කිසිදෙයක් කළ පාටක් නම් පේන්න නැහැ…

කොහොම හරි  ‘කට කහන කතා‘ ලියන අපේ ‘ දුමී ‘ නම් ඩෙංගු උවදුරෙන් මිදෙන්න යස පිළියමක් ගැන ලියල තිබුනා.. ඒ ලිපිය කියවන්න බැරි උන අය ඔතනින් ගිහින් කියවන්න… එදාම වගේ ලංකාවේ ප්‍රසිද්ධ වෙබ් අඩවි වලත් ඒ ගැන සටහන් කරලා තිබ්බා..

ඩෙංගු සුව කරන්න පුලුවන් මේ ගස්ලබු කොල යුෂ පානය ගැන වැඩිදෙනා දැනුවත් කරන්න කියලා අපේ බ්ලොග් ලියන සහෘදයෝ දුමී ගේ අර ලියමන කොපි කරලා තමන්ගේ බ්ලොග් එකෙ දාගෙන තිබුනා.. මොකද එක්කෙනෙක් හරි ඒක කියවලා හොඳ සුවය ලබනවානම් ඒකත් මසුරං වටින නිසා… මේ වගේ බ්ලොග් වලින් කරන්න පුලුවන් සමාජ සේවය විශාලයි…ඒ වගේම බ්ලොග් කියැවීමේන් ලැබෙන දැනුමත් විශාලයි… බ්ලොග් ලියන්න පටං අරං තාම වැඩි කාලයක් නැති වුනාට මම සෑහෙන කාලෙක ඉඳලා බ්ලොග් කියවලා හොඳ තෘප්තියක් ලැබුවා…

ඒක නෙවෙයි….කියන්න ආපු දේ නෙවෙයි ලියැවුනේ…

මම අද මේ පැත්තේ ආවේ මේ ඩෙංගු ගැන කතාවක් ලියන්න… වෙන දේවල් තමයි ලියැවුනේ…

මේක අද අපේ කන්තෝරුවේ වෙච්ච කතාවක්… අපේ කට්ටියත් ඉතින් දවල්ට කෑම ගන්න ගමන් ඩෙංගු සුව කරන්න පුලුවන් කියන මේ ගස්ලබු යුෂ ප්‍රතිකාරය ගැන කතාකර කර හිටියා..

කවුද ඇහුවා ‘ ඉතිං ගස්ලබු කොල යුෂ මාර තිත්ත ඇතිනේ කොහොමද බොන්නේ?’ කියලා.. ඒකට කට්ටිය තම තමන්ගේ අය්ඩියාස් දෙන අතර තුරේ තවත් කවුද කිව්වා ‘වඳුරෝ නම් ගස්ලබු කොල කනවා’ කියලා…

මමත් ඉතිං දන්නේ නැති නිසා ඇහුවා ඇත්තටම වඳුරෝ ගස්ලබු කොල කනවද කියලා..

මොකද ගස්ලබු කොල කන සතෙක් මම නම් තාම දැකලා නැති නිසා.

වඳුරෝ ගස්ලබු කොල කන නිසා වඳුරන්ට නම් ඩෙංගු හැදෙන්නේ නෑ කියල තමයි කට්ටියගේ තර්කය.

ඒත් එක්කම අපේ කසුන් මහත්තයා පැනලා කිව්වා ‘ ඒක තමයි…ඇත්ත වෙන්න ඇති… මම බෙහෙත් ගන්න ගියපු එක වෙලාවකවත් බෙහෙත් ගන්න ආපු වඳුරෙක් නම් දැකල නෑ…’ කියලා…

මේක අහපු ගමන් වැඩිය කතා බහ නොකරන අනුර අයියා පැනලා කියපි, ‘ ඇයි කසුන් මෙච්චර කල් බෙහෙත් ගන්න ගියේ සත්තුන්ට බෙහෙත් දෙන තැනකට ද..’ කියලා..

දීපංකො උත්තර…

ප/ලි: මමත් සූටි කාලේ තියෙන විසේට සබං බෝල පුම්බන්න ගිහින් ගේම දීල තියෙන්නේ රටක් වටිනා අවුසදේකට නේද? අපේ ගෙදරින් ඒ වැරැද්දට මට බරපතල ගුටි සහිතව සිර දඩුවමක් දුන්නේ මේක මේ තරං වටිනා අවුසදයක් කියල දැනං හිටපු නිසාද මන්දා….

Advertisements

සබං බෝල කතාව…


මේ කියන්න යන්නේ මම පොඩි කාලේ කරපු වැඩක් ගැන…

රුසියානු ගමනේ කතන්දරයක් ඊයෙ කිව්ව නේ… තව ගොඩක් තියෙනවා, ඒව එකින් එක හිමීට ලියන්නම්…

අද පොඩිකාලේ සිද්දියක් අහල ඉමු…

පොඩි කාලේ කවුරුත් දඟවැඩ කරනවා නේ. මමත් එහෙම තමයි…

අපේ හාමිනේට අනුව, මගේ අම්මයි තාත්තයි නම් කියන්නේ මම දඟනැති බොහොම කීකරු ළමයෙක් කියල… 🙂

අපේ හාමිනේ ගෙදර ආවම මගේ අම්මගේ තාත්තගෙයි වැඩේම ලේලිත් එක්ක කතාකර කර ඉන්න එක. ගොඩක් වෙලාවට මගේ පොඩි කාලේ කතා තමයි…ඉතිං ඔහොම ඊයේ අපේ තාත්තා මතක් කරලා දීපු කතාවක් තමයි මේක… මට මතක් කරලා දුන්නේ අපේ හාමිනේ.

පොඩිකාලේ අපිට එක එක උණ හැදෙනවා නේ…

කහ උණ, කුරුළු උණ, නිව්මෝනියාව….. වගේ ඒව නෙවේ…

බට තුවක්කු උණ, කැටපෝල උණ, කාටිස් දාන තුවක්කු උණ, යෝ යෝ උණ….

ඒ වගේ මෙකී නොකී උණ ගොඩාක් හැදෙනවා…

ඉස්සර කාලේ ඉතින් දැන් වගේ කොම්පීටර් තිබුනේ නැහැනේ සෙල්ලම් කරන්න…ඒ දවස් වල වෝට’ ගේම් එකක් ගත්තේත් බොහොම දුක් විඳලා…

මේ සිද්දිය උනේ මම හතරේ කැලෑසියේ ඉන්න කාලේ…

ඒ දවස් වල තිබ්බ ලොකුම උණක් තමයි, සබං බෝල අරින එක…

ඕක ඉතිං මාර ෆන් වැඩක් නේ…

කොහෙන් හරි අහුවෙන සබං කෑල්ලක් කොප්පෙක දියකරලා ගේමට බහිනවා…ඊට පස්සේ ඉතිං බටයක් හොයාගන්න ඕනෑ…

අපේ ගෙදර වත්තේ ඒ දවස් වල පොඩි පොඩි ගස්ලබු ගස් ටිකක් තිබ්බා…

එකින් එක කරලා ඔය හිච්චි ගස්ලබු ගස් වලට වැඩේ දුන්නා…

චුටි බට වලින් ලොකු බෝල හදලා උඩ අරින්න පුලුවන් නිසා වැඩේ අතිසාර්ථකයි…

ඔහොම ටික දවසක් සබං බෝල ඇරියම අපේ වත්තේ තියෙන්නේ කොල නැති ගස්ලබු. හරියට ගස් වලට දරුනු රෝගයක් හැදිල වගේ….

අපේ වත්තේ ගස් ටික ඔක්කොටම වැඩේ දුන්නට පස්සේ, මගේ ව්‍යාපාරය රෝ මැටීරියල් නැතුව අබලං වෙන්න ගත්තා…

පොඩ්ඩක් වට පිට බලනකොට දැක්ක අල්ලපු ගෙදර තාප්පේ ගාව තියෙන පැපොල් ගහ…අපේ ගෙදර ඒවා වගේ නෙවෙයි, ඒ ගහේ ගෙඩි පිරීලා… බටත් ලොකුයි…

‘අර හිච්චි බට වලින් අරහෙම ලොකු බෝල යවන්න පුළුවන් නම්, මේ බට වලින් බැලුම් බෝල හදන්න පුළුවන් නේ ‘ කියල කප්පනා උනා ටිකිරි මොළේට…

කොහොම හරි අල්ලපු ගෙදර ගහට අත තියනකොට අපේ සෙට් එකේ අනිත් උන්ටත් මට වගේම සම්පත් අහේනියක් ඇතිවෙලා මගේත් එක්ක අවබෝධතා ගිවිසුමක් ගහගත්තා සහයෝගයෙන් වැඩ කරන්න.

එක කොළයක් කඩලා බටේ අරන් බැලුවා බෝල හදන්න.. බටේ කට ලොකුයි… බෝල හැදෙන්නේ නැහැ..

පෘෂ්ඨික ආතතිය ගැන අටමඟුලක් දැනගෙන හිටියෙ නැහැනේ ඒ කාලේ…4රේ කැලෑසියේ ඉන්නකොට ඉතින් විද්‍යාව උගන්නන එකක්යැ ඕක තේරෙන්න…

මට හිතුනේම බටේ කෙස් එකක් කියල…

කැපුවා තව කොලයක්…

ම්හු…

ඒකත් වැඩ නැහැ… පුස් බෝල තමයි පිම්බෙන්නේ…

ඔහොම එකින් එක ට්‍රයි කරල බැලුවා.. තනියෙන් නෙවෙයි.. සෙට් එකත් එක්ක….

මම ඉතින් කරන්නේ පොඩි උන්ට බට කපන්න ඕඩර් කරන එක තමයි… එකෙක් තාප්පේ උඩට නැගල බට කපනවා…

ගහේ යට හරියෙ බට ටික අප්සට් උනාට උඩට එන්න එන්න හොඳයි…

කොහොම හරි පැය බාගයකින් විතර එකෙක් මගෙන් අහනවා,

‘ සමීර අය්යේ මේ දල්ලත් කැඩුවට කමක්නැද්ද ‘ කියලා….

ඔළුව උස්සලා බැලින්නං තමයි වැඩේ තේරුනේ..

දැං ගහේ ඉතිරිවෙලා තියෙන්නේ කඳයි, ඒකේ තියෙන ගෙඩි ටිකයි, මල් දෙක තුනක් එක්ක මුඳුන් දළුවයි විතරයි…

මොනව කරන්නද?

වැඩේ එතනම නවත්තලා සබාතුමෝව විසුරුවලා හැරියා…

අල්ලපු ගෙදර අංකල් බොහොම ආදරෙන් හදපු පැපොල් ගහ.. ගෙඩි ඉදුනම අපිටත් දෙනවා බාගයක් හරි..

දැන් ඉතිං කාල හමාරයි කියල හිටියා…

ඒ අංකල් ගෙදර ආපු ගමන්, වැඩේ දැකලා අපේ ගෙදර හයි කෝට් එකේ නඩුවක් ෆයිල් කරා…

විත්තිකාරයා උනේ මම… අපිට මොන නීතීඥයෝද…

නඩුවෙන් ඒකමතිකව වැරදි කාරයා උනා මම…

සිස්සත්ව විබාගේ ළඟම එන නිසාත්, පෙර වැරදි තියෙන නිසාත්, බරපතල ගුටි සහිතව සිර මැදිරියක පාඩම් කිරීමට නියම උනා…