Tag Archives: හිනාවෙන්න යමක්

මේක කොමඩිලන්තයක්!


ලෝකයේ කිසිම රටක කොමඩිලන්තයේ වගේ ෆන් එකක් ලැබෙන්නේ නැත. ඒ නිසාමද කොහෙදෝ කොමඩිලන්තයට ආසියාවේ ආශ්චර්‍යය කියා කියති. මේ ගැන සිංහලෙන්ම කිව්වොත්, It’s never boring here .

කොමඩිලන්තයේ රට වැසියා, ආණ්ඩුව, විපක්ෂය ඇතුලු සියලු සෑම දෙනාම ඇප කැප වී සිටින්නේ මේ ආශ්චර්‍යය රැකගැනීමටය. මේ අසිරිමත් රට ආශ්චර්‍යයක් බවට පත්වී තිබෙන්නේ මෙය සජීවී හාස්‍යොත්පාදක මෙගා ටෙලි නාට්‍යක් ලෙස පවත්වාගෙන යන එකම රට නිසාය…

එහි වැසියෝ සතුටු නොවී ගතකරන කිසිම සතියක් නොමැති තරම් ය…

මේ නාටකය ඉස්සර සිංහල ෆිල්ම් වල වගේ නොව කොමඩි, ෆයිට්, සින්දු වගේ මෙකී නොකී සෑම දේම සහිතව මේ මෙගා ටෙලිය පවත්වාගෙන යන නිසා ඉතා ජනප්‍රිය වී තිබේ.

එක සතියක මාරාන්තික උපවාසයකි…

ඉතාම සංවේදී වතුර පෙවීමේ ජවනිකාවකින් ඒ සතියේ නාට්‍යය කොටස අවසන් වන්නේ දේශප්‍රේමී ජනයා හැඩූ කඳුලේ ගිල්වමින්ය..

ඉන්පසු සතියේ කතාව ඇරඹෙන්නේ මහා බයානක ඩෙංගි නැමැති වසංගතයක් කොමඩිලන්තය පුරා පැතිරයන ලෙසට එරට වැදියා බියේ ගිල්වමින්ය…

ඒ ජවනිකාවේ ප්‍රධාන නළුවාට මේ වසංගතය සමඟ පොර ඇල්ලීමට නොහැකිව නානාප්‍රකාර කතා කියමින් සිටියදී මේ මෙගාටෙලිය බෝරිං එකක් බවට පත්වෙද්දීම වාගේ, ජනප්‍රිය නළුවෙක් තිරයට එන්නේ ගැලරියේ විසිල් හඩ මධ්‍යයේය…

රැජිනි කාන්ත් මෙන් සරම ඇඳගෙන එන මේ නළුවා එක ලනු පොටකින් මේ ඩෙන්ගි වසංගතය පතුරවන දුශ්ඨ සමුර්දියාව ගසකට තබා බැඳ දමා ඩෙන්ගි වසංගතය සුන්නද්දූලි කර හරින්නේ අප ඉතිහාස පොත්වල එන දුටු ගැමුණු රජුගේ විලාසයෙනි…

ඒ සතියේ නාට්‍යයේ අවසානයට කොමඩිලන්තයේ වැසියෝ කොටසක් කැමතිඋනත්, කොටසක් කැමති නොවූහ… ඩෙන්ගි වසංගතය ගස් බැඳීමට විරුද්ධ වුවෝ අධ්‍යක්ෂට විරුද්ධව උද්ඝෝෂණ කරන්නට පටං ගත්තේ පිටපත වෙනස් කරන්න කියා ය..

ආං නියම ප්‍රජාතන්ත්‍රවාදය. කෙලින්ම ඒ නළුවා නාට්‍යයෙන් එලියට ( තාවකාලිකව ) ඇද දැමිණ.

මේ දුටු රට වැසියෝ චිත්තඃ ප්‍රීතියට පත්වන්නාහ…

මෙසේ වැඩිකල් ප්‍රීතියෙන් සිටින්නටද වන්නේ නැත. නාට්‍යයේ අළුත්ම කොටස පටං ගන්නේ කතාවේ අලුත්ම ට්විස්ට් එකකින්ය…

කලක් කොමඩිලන්තයේ ටෙලි සිනමාවේ මහා චෞරයා වූ සක්විත්තා ව හිටිහැටියේ කරළියට ගෙනේ… එතැන් පටන් ඒ සතියේ කතාව යන්නේ ‘Adventure’ එකක් ලෙසිනි.. චෞරයාව අල්ලාගත් හැටි, ඔහු පැනගොස් සිට කර ඇති දේවල්, මුදල් වලට සිදුවූ දේවල් යනාදී දේ එකින් එක රඟ දැක්වෙන්නේ ෂර්ලොක් හෝම්ස් නවකතාවක් ලෙසිනි… මේ රහස් පරීක්ෂක ජවනිකා නිසා පෙර තිබූ වසංගත, ප්‍රශ්න යනාදී සියල්ල අබිරහස් ලෙස සැඟවී යන්නේ තවත් පසු කලකදී කොන්ටිනිවු කරන්නදෝ කියාවත් කොමඩිලන්ත වැසියාට හිතාගැනීමට කල් නොදී ය.

මෙරට, එහෙමත් නැත්නම් ටෙලියේ සටන් ජවනිකා සපයන්නෝ වෙනමය. ඔවුන්ට ජනතා සටන් පෙරමුණ යැයි කියති… ත්‍රාසජනක සටන් රඟ දැක්වීමට මොවුන් හපනුන්ය.. විස්ව විද්දියාල වල ඇතුලේ පැවැත්වෙන මේ සටන් පුහුණු පාඨමාලා එළි දැක්වෙන්නේ ජාතික තලයේ ය. ගල් ගැහිලි පොලු වලින් ගැහිලි ආදී නේක විද සටන් ක්‍රම මොවුන් සතුව ඇත… පාඨමාලා තලයේ ගුටි කන්නේ නේක විස්ස විද්දියාල සිසුන් උනත්, ජාතික තලයේ ගුටි බැට හුවමාරු වලට දායක වන අනිත් පාර්සවයට පොලිසිය යැයි කියති…

කොමඩි ලන්තයේ සිටින අපූරුතම පුද්ගලයෝ මේ පොලිසියට බඳවාගැනේ… ඒ විසේස හේතුවක් නිසාය.

යම්කිසි හෙයකින් අධ්‍යක්ෂට ඒ සතියේ පිටපත ලියාගන්නට බැරිවුනොත් හෙම ක්ෂණික රඟ දැක්වීම් වලට ඇප කැප වී සිටින්නෝ මේ පොලීසියේ ඇත්තෝ වෙති… යම් කිසි සතියක ටෙලිය බෝරිං නම් මොවුන් හනික ක්‍රීයාශීලී වී ජවනිකාවක් රඟ දක්වා රට වැස්සෝ සතුටු කරන්නාහ. මේ නිසා මේ පොලීසියට බඳවාගන්නේ නිර්මාණශීලී රට වැසියෝ පමණි..

මොවුන් හිටි හැටියේ විස්ස විද්යාල වලට ගොස් සටන් පුහුණු පවත්වති. අසරණ තරුණයෝ දියේ ගිල්වති.

චෞර සක්විත්තන්ට ඉනි මං සපයති. ජවනිකාවක් නැතිම විටදී ඒ චෞරයාම අල්ලාගැනෙති…

බැරිම තැන ජීප් එකක්වත් පාලමකින් පහළ ගඟකට ත්‍රාසජනක ලෙස වට්ටා පිහිනා ගොඩට එති.

මේ දිනවල විපස්ස්ය හෙවත් පිටපතට එරෙහි ඈයෝ කිසි සද්දයක් නැත. නළු නිලියන් අඩුව සිටිනා මේ අය කොමඩිලන්ත වැසියන් ත්‍රිල් කිරීමට කොකා පෙන්වීම වෙනුවට වක්කා වක්කා පෙන්වයි, අධ්‍යක්ෂ තුමා දෙන අළුත්ම කාර් වල නැග යයි…මේ විකාර සියල්ල ටෙලිය මැද යන වෙළද දැන්වීම් ලෙස විකාශය වේ. වැඩිමනක් වැසියෝ මේවා බලන්නේද නැත.

මේ සතියේ සිට දිගහැරෙන නවතම කොටස වන්නේ දේශප්‍රේමීත්වය සහ දේශද්‍රෝහීත්වය නොවලහා පිළිබිඹු කෙරෙන්නා වූ කෝට් මාෂල් ජවනිකාවකි… ලොමු ඩැහැ ගැන්වෙන දෙබස් සහිතව මේ ජවනිකාව ටෙලිකාස්ට් වීමට නියමිතය.

මේ බ්ලොග් එකෙන් මට නම් කියන්නේ තියෙන්නේ, මේ ටෙලිය නරඹන්න කියලා හැමෝටම කියන එකයි. එක දෙයක් විතරක් ටක්කෙටම කියන්න පුළුවන්, you will never get bored…

හැබැයි, සීරියස් වෙලා බලන්න ගියොත් ගොඩාක් දුක හිතෙයි. අනේ අම්මපා මේකත් මිනිස්සු ඉන්න රටක් නේද කියලා හිතෙයි. . එහේ ඉන්න මිනිස්සු ගැන දුක හිතෙයි.. රටේ අනාගතය ගැන දුක හිතෙයි…

ගනං ගන්න එපා… ඒ රටේ මිනිස්සුන්ට ඕවා ගානක් නැහැ… කට්ටිය ආතල් පාර්ලිමේන්තුවක් පත්කරලා එව්වේ මේ ටෙලිය බලන්න තමයි.

ශ්‍රි ලංකාවේ ප්‍රථම ආතල් පාර්ලිමේන්තුව !


පසුගිය දා නිමාව දුටු මැතිවරණයත් සමඟ ශ්‍රි ලංකාවේ හත්වැනි පාර්ලිමේන්තුව, ප්‍රථම ආතල් පාර්ලිමේන්තුව වන බවට සළකුණු පහලවෙමින් තිබේ… කෙමෙන් කෙමෙන් එන මනාප ඡන්ද ප්‍රතිඵල සමඟ මේ බව වඩාත් පැහැදිලිවේ…

මේ අනුව යමින්, පෙර පාර්ලිමේන්තු වලට වඩා උද්යෝගී, සිනා පිරුනු ෆන් ලෝකයක් ලබන පාර්ලිමේන්තුවේදී බලාපොරොත්තු විය හැක. මීළඟ පාර්ලිමෙන්තුවේදී සිදුවිය හැකි යැයි මගේ මෝඩ හිතට නැගෙන දෙයින් ටිකක් පහතින් සටහන් කර තබමි.

~  ~  ~

  • ආණ්ඩු පක්ෂය හා විපක්ෂය අතර වාර්ෂික මහා ක්‍රිකට් තරඟයක්… තරඟයේ වීරයාට ක්‍රීඩා ඇමති තනතුර සහ තවත් සැනසිලි ත්‍යාග… පාර්ලිමේන්තුවෙන් පිටත දස්කම් දක්වන ක්‍රීඩකයන්ට ජාතික ලැයිස්තු සංචිතයට… මීළඟ ලෝක කුසලානයට ඇමති වරුන්ගෙන් යුතු සංචිතයක්!
  • සමගි පුර වසන්තලා, රෙජිනෝල්ඩ්ලා, ධම්මික ලා මෙන්ම ආමන්තලා වැනි ලව්-බ(ර්)ඩ්ස්ලා ද පාර්ලිමේන්තුවේ ඇති බැවින්, පබා ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය හැරෙන්න අනිත් චරිත වලට වෙනත් මැති ඇමති මන්ත්‍රී මන්ත්‍රිනීයන් ආදේශ කොට රූගත කිරීම් පාර්ලිමේන්තුවෙ සිට.
  • මෙගා ස්ටාර් වැඩසටහන මින් පසු පාර්ලිමේන්තුවෙ සිට සජීවී ව….
  • “පනින රිළවුන් ට ඉනිමං නොමිලේ” සහ ” මල් කැඩීම තහනම් ” වැනි බෝඩ් ලෑලි පාර්ලිමේන්තුවේ හැම අතම…
  • අගමැති තේරීමට මහා කඹ ඇදීමේ තරඟයක්…
  • පාර්ලිමේන්තුව සජීවීව රාත්‍රී 7.30 සිට 9.00 දක්වා විදේශීය මෙගා නාට්‍ය යන වේලාවට…
  • සජීවී පාර්ලිමේන්තුව පෙන්වන නිසා රතු ඉර, තුලාව වැනි දේශපාලන සංවාද නවතා දමයි…
  • පාර්ලිමේන්තු ක්‍රීඩා පිටියේ මීටර් 100 X 4 සහාය දිවීමේ තරඟ දිනපතා… ප්‍රකට මන්ත්‍රී – මන්ත්‍රීනී වරුන් තරඟ බිමේ…

ලැබෙමින් පවතින ඡන්ද ප්‍රතිඵල අනුව තව තව ආතල් දේවල් සිදුවිය හැකියි කියල හිතෙනවා නම් පහල තියෙන කොටුවෙ ලියල යන්න…

අමුණලා තියෙන පින්තූරෙ ඉස්සුවේ මෙතනින්… > http://farm3.static.flickr.com/2635/4237084779_4089513ce5.jpg

අළුත් කලාවක් …


මේ පුංචි සිද්දිය උනේ මම උසස් පෙළ කරන කාලෙ… ඒ කිව්වෙ ඒ-ලෙවල් කරන කාලෙ…

ඉස්කෝලෙ ඉවර වෙලා මම බොරැල්ල බස් නැවතුමට ආව ගෙදර යන්න බස් එකක් ගන්න…. ටිකක් වෙලා බස් එකක් එනකං ඉද්දි, මගේ එහා පැත්තෙ හිටිය තරුණයා මගේ ලඟට කිට්ටුවුනා මගෙත් එක්ක කතාකරන්න වගේ…

පිරිසිදු අත්දිග කමිසයක් ඇඳල, ඒකට ගැලපෙන්න ටයි එකක් එහෙම දාල, පොර හොඳට ඇඳ පැළඳගෙන හිටියා… අතේ තිබ්බේ ෆයිල් කවරයක්… බැලූ බැල්මටම කෙනෙක්ට හිතෙන්නේ ඉන්ටර්වීව් එකකට යන කෙනෙක් වෙන්න ඇති කියලා…

මගෙ ලඟට ආපු ඒ පුද්ගලයා මගෙත් එක්ක කතාකරන්න ගත්තා…

“මල්ලි…”

” මල්ලි, අනේ තරහවෙන්නෙ නැතුව පොඩි උදව්වක් කරනව ද?”

මමත් ඉතින් ඇහුවා, “මොකද්ද අයිය වෙන්න ඕන” කියල…

“මල්ලි මම මේ ඉන්ටර්වීව් එකකට ආපු ගමන්, බලන්නකො මල්ලි කවුද යකෙක් මගෙ පර්ස් එකට ගහල නේ… මල්ලිට කරදරයක් නැත්නම් මට ගෙදර යන්න රුපියල් 20ක් දෙන්න පුළුවන්ද?”

අනේ ඉතින් මටත් තව ටික දවසකින් මෙයා වගෙ ජොබ් කටු හොයාගෙන පාරක් පාරක් ගානෙ ඉන්ටර්වීව් යන්න වෙනවා නේද කියල හිතිලා, ඒයාගෙ තැන ඉඳගෙන බැලුවම මට මගේ ගැනම දුක හිතිලා…. මම මේ පුද්ගලයාට රුපියල් 20ක්ම දුන්නා මේ කරපු උතුම් පුන්‍යකර්මයේ පිහිටෙන් පස්සෙ කාලෙක මම යන යන ඉන්ටර්වීව් සාර්ථක වෙන්න කියල හිතාගෙන!

මේ පුද්ගලයත් ඉතින් බොහොම යටහත් පහත්ව මුව පුරා තැන්ක්යූ කිව්වා මට, කරපු උදව්වට.

ඒ පුද්ගලයාගෙ සතුටු මූන දැකල, මට දැන් ජොබ් එකක් ලැබුනා වගේ කියල හිතෙන තරම් කික් එකක් ආව…

කොහොමින් කොහොම හරි දවස් 3ක් ගියා කියමුකෝ…

ඊට පස්සෙ දවසකත් මම ගෙදර යන්න එනකොට අර පුද්ගලයා ඉන්නව බස් හෝල්ට් එකේ… අදත් ඉන්ටර්වීව් එකකට යන්න වගේ ඇඳලා…

මමත් ඉතින් ගිහින් පැත්තකින් හිට ගත්තා… මම හිතුවේ පොර මාව අඳුනගනීවි කියල…

ඒත් එහෙම නෑ.. පස්සෙ මට හිතුනා අර රුපියල් 20 දෙන්න වෙයි වත් කියල වෙන්න ඇති එහෙම ඉන්නෙ කියල…

ටික වෙලාවකින් පොර මගේ ගාවට ඇවිත් කියනවා….

” මල්ලි, කවුද එකෙක් මගේ පර්ස් එකට ගහල මල්ලි.. මට මේ ඉන්ටර්වීව් එක ඉවර වෙලා ගෙදර යන්න බැරුව ඉන්නේ මල්ලි… මට බස් එකේ යන්න රුපියල් 20ක් ගන්න පුළුවන් වෙයිද?”

මේක අහපු මම එකපාරටම ඩිම් උනා… මම ඉතින් කිව්වා,

“අයියෙ පෙරේදත් ඔයාගෙ පර්ස් එකට කවුද ගහල තිබ්බා නේද” කියලා….

මේක අහපු පොර, “ආ…එහෙමද” කියල අනිත් පැත්ත හැරිල යන්න ගියා…

ඊට පස්සෙත් දවස් කීපයක් මිනිහා එක එක බස් හෝල්ට් වල ඉන්නවා මම දැක්කා…

කොහොම හරි මට හිතුනේ ඔය පොඩි කතාවක් හදල මිනිහ දවසට සෑහෙන ගානක් හොයාගන්න ඇති කියල…

ඒත් කමක් නැහැ කියල හිතුනා මොකද පොර හිඟා කන්නෙත් කලාවකට නේ. ලෝකෙ දියුණු වෙද්දි හිඟන්නෝ උනත් ජීවිකාව හොයාගන්න අළුත් අළුත් ක්‍රම හොයාගන්න ඕන…

මගේ අපබ්‍රංස හීනය…


මේ මට පෙනුන හීනයකි… මම නිවුස් චැනල් එකක් නරඹමින් සිටියෙමි…

මෙන්න ක්‍රීඩා පුවත්…

  • ලංකාවෙන් ප්‍රතිකාර ලබා පැමිණි වහාම බෙකම් ගෙන් ගෝල ත්‍රිත්වයක්….
  • පාදයේ ආබාධය සුවවූ අෂිශ් නෙහරා ලෝකයේ වේගවත්ම පන්දුව යවයි….
  • ගම්භිර් ගෙන් එක්දින ද්විත්ව ශතකයක් ….!

– – – –
පොඩ්ඩක් නුහුරු ගතියක් දැනුන නිසා මම චැනල් එක මාරු කළෙමි….

අලුත් චැනල් එකේ ගියේ ආර්ථික පුවත් ය….

  • ලංකාව ලෝකයෙ දියුණුතම රට බවට පත් වේ….
  • ලෝකයෙ ධනවත්ම පුද්ගලයා ලෙස ශ්‍රි ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ කිරුලු පළදී….
  • සෞඛ්‍ය සේවයේ විෂිශ්ඨත්වය වෙනුවෙන් 2010 නොබෙල් ත්‍යාගය මහින්ද රාජපක්ෂ මහතාට….

ඇසෙන දෙය අදහා ගත නොහැකිව මම වහාම ආයෙත් චැනල් එක මාරු කළෙමි…

අනිත් චැනල් එකේ ගියේ විෂේශ ආවරණයකි… සිංහලෙන් කිව්වොත් ස්පෙෂ්ල් රිපොට් එකකි….

– – – –

ඔව් අප දැන් සිටින්නේ ඒ අති සුවිෂේශී ” අරලිය ට්‍රී ජාත්‍යන්තර රෝහල ” ඉදිරිපිටයි….

ඔබට පේනවා ඇති… මෙහි ප්‍රතිකාර ගැනීමට සුවිෂාල ජනකායක් පැමිණෙමින් තිබෙනවා.. ඔබ මේ දකින පිරිමි රෝගීන්ගේ පෝළිම ( කැමරාකරු පෝළිම දෙසට කැමරාව හරවයි…) කොල්ලුපිටිය හරහා මේ වන විට දෙහිවල දක්වා දිග බව අපගේ ප්‍රාදේශීය වාර්තාකරුවන් පවසනවා…. ඒ වගේම අනිත් පසින් ඔබට පෙනෙන මේ කාන්තා පෝළිම ( කැමරාකරු කාන්තා පෝළිම දෙසට කැමරාව හරවයි…) ගාලු මුවදොර හරහා…මොදරටත් එතනින් පෑලියගොඩ, වත්තල හරා මහබාගෙ දක්වාත් දිගු වී ඇති බවයි අපට එන ආරංචි වලින් කියැවෙන්නේ…

ලෝකයේ විවිධ රටවල් වලින් ගලා එන රෝගීන් නිසා පිරී ඇති කොළඹ ජාත්‍යන්තර ගුවන් තොටුපල මේ වනවිට කොළඹ- මීගමුව මහා මාර්ගය අලලා දෙවන ගුවන් පථයක් නිර්මාණය කර ඇති බවත් කියැවෙනවා….

ලෝඅකයේ සියලුම රටවල් වලින් පැමිණෙන මේ අති විශාල රෝගීන්ගෙන් දිවයිනේ හෝටල් පිරී ඉතිරී ගොසින් ඇති බවත් අපිට වාර්තා වෙනවා…

දැන් අපි මේ ප්‍රතිකාර ගැනීමට පැමිණ සිටින රෝගීන් කීප දෙනෙක් එක්ක කතා කරමු…

නිවේදකයා විවිධ රටවල් වලින් පමිණි රෝගීන් කිහිප දෙනෙක් සමඟ කතා කරයි…

කතා කරමින් මේ අය දෙහිවල හරියට පැමිණෙනවාත් සමඟම රෝගීන් අතරින් එකපාරටම දැක පුරුදු මුහුනක් මතු වේ…

මේ පුද්ගලයා දැක එක්විටම මඤ්ඤ්ං වන කැමරාකරු ගේ කෝනයට හසුවන්නේ චේන් පැන ඇති නිවේදකයායි…

“ඔව්.. ඔව්.. ඔව්… ” නිවේදකයා ගොත ගහන්නට පටන් ගත්තේය…

“ඔව්…. ඇමෙරිකාවේ ගරු ජනාධිපතිතුමාත් ප්‍රතිකාර ගැනීමට පැමිණ තිබෙනවා….”

“මෙය අපට ඉතාම ආඩම්බරයක්…. ඔව්.. ඔව්.. ඔව්.. ග.. ග.. ග… ග…ගරු ජනාධිපතිතුමණි…. ඔබ කු…කුක්..කු…කුමන විදියෙ ප්‍රතිකාරයක් බ..බ..බ.. බලාපෙරොත්තුවෙන්ද පැමිණියේ …. ”

නිවේදකයා ගොත ගහමින් වචන ටික ගලපාගත්තේය…

ජනාධිපතිතුමා රහසින් මෙන්…. ” සුදු වෙන්න බෙහෙතක් තියෙනවද කියල බලන්න ආවා….” යැයි කියා පෝලිමෙ ඉස්සරහට වූයේ මැදින් පනින උන්ගෙන් බේරෙන්නටය…

” ඔව්.. ප්‍රිය සෞඛ්‍ය ලෝලී අසන්නේණි….”

නිවේදකයා නැවතත් කියන්නට විය…..

” තව ස්වල්ප මොහොතකින් අපි කාන්තා පෝලිම හා එකතු වෙනවා ඒහි විස්තරත් ඔබ වෙත ගෙන ඒමට.. එතෙක් ආයුබෝ….”

නිවේදකයාට එය සම්පූර්ණ කිරීමට හැකි වුයේ නැත.. අසල සිටි යමෙක් ඔහුගේ උරහිසට ඇන පෙන්වූ දෙයක් දිහ බලන්නට ඔහු හැරුනේය…

ඒ අනුව කැමරාකරුත් තම කැමරාව හරවා ගත්තේය…

හැරමිටියක ආධාරයෙන් එක්තරා පුද්ගලයෙක් ඈතින් බෙහෙත් ගන්නට එනහැටි දිස් විය…

කෙමෙන් කෙමෙන් කැමරාව අසලට පැමිණි ඔහුගේ තොල කට වියැළී තිබුණි… කතාකරන්න හැදුවත් හරි හැටි වචන පිට වුයේ නැත..

“ආ…. මේ ජෙනරාල් තුමා නේ….” කොහෙදෝ සිටි එකෙක් කීවේය..

එසැණින් විකාශය නිම විය ~