නිර්මලා දැන් කතා කරාවි..


පසුගිය දිනෙක දිවයින පුවත්පතේ සහ ගොසිප් වෙබ් අඩවියක තිබූ පුවතක් කෙරෙහි මාගේ අවධානය ඇදුනේ නිතැතිනි. නිර්මලා වසන්ති කුමාරි නම්වූ ඇගේ කතාව ඉතාම අනුවේදනීය එකක් විය. ඇය ගැන සිතට ඇතිවූ අනුකම්පාව නිසාම, එසැනින් මාගේ බැංකු ගිණුමට අන්තර්ජාලයෙන් ගොඩවූ මම ඇගේ බැංකු ගිණුමට රුපියල් 5000ක් දැමුවෙමි. මැද පෙරදිග අවුරුදු හයක ජීවිතයේ දැනට අවුරුදු 3ක පමණ සිට සෑම මසකම මා රුපියල් 5,000ත් 10,000ත් අතර මුදලක් එවැනි කටයුතු සඳහා වෙන්කර තබන්නේ සිරිතක් වශයෙනි.

එදින වැඩ නිමවා ගෙදර ආවා පමණි…..
මාගේ දුරකතනට ඇමතුමක් ලැබුණි. ඒ මාගේ ඉතාම හිතවත් මිතුරෙකුගෙනි.

“මචං.. අර දිවයින පත්තරේ තිබ්බ ආටිකල් එක කියෙව්වද? අර  ගොළු දරුවෙක්  ගැන දාලා තිබ්බේ..”

“ආ..ඔව් මචං.. මම අද සල්ලි වගයකුත් දැම්මා..” මම කීවෙමි.

“ආ..ඒකත් එහෙමද.. උඹ සල්ලි දැම්මද? … මම මේ බැලුවේ අපිත් කීයක් හරි එකතු කරලා දාමුද කියලා බලන්ඩ..”

“හරි මචං, කරමු.. මට විනාඩි 5ක් දීපන්..මම උඹට කෝල් එකක් ගන්නම්..” මා එසේ කියා දුරකථනය තිබ්බේ, ඒ ගැන ටිකක් හිතන්නට ඕනෑ නිසාය…

ඒ වනවිට මා ලැබූ පඩියම වියදම් කර හමාර වී තිබුනි. ලංකාවට වැඩිපුර සල්ලි ටිකක් යවා, ක්‍රෙඩිට් කාඩ් එකට තිබූ ණය සියල්ල ගෙවීමෙන් පසුව ඉතිරිව තිබුනේ මාසේ රන් කරන්න උවමනා මුදල් පමණි.. ඒ මදිවට මා ඒ සති අන්තයේ විශාල පිරිසකට ගෙදර ඩිනර් එකකටත් ආරාධනා කර තිබුනි..

ගතවූයේ විනාඩි 10ක් පමණි. ඕන දෙයක් වෙච්චාවේ කියා මම නැවත මාගේ මිත්‍රයාට කතා කරෙමි.

” මචං, වැඩේ කරමු.. මගේ ගානත් දාන්න..”

“එළ මචං, මං අපේ සෙට් එකටම කතාකරා දැනට රියාල් 3000කට වඩා පොරොන්දු වෙලා තියෙනවා… මම ඒ ළමයාගේ ගෙදරටත් කතා කරා..ඇත්ත කේස් එකක් මචං ”

“එළ. .එහෙනං අපි ඉක්මනින්ම යවමු…”

පැය එකහමාරක් ගතවෙද්දී, අපගේ මිතුරන් එකමුතුවෙන් රියාල් 5000ක් (කටර් රියාල් 1= රු 33.86, එදින වටිනාකම ) එකතුවී තිබුණි…

ඇතැම් සමීප යැයි සිතූ මිතුරන් කුඩා මුදලක් වත් දෙන්නට අමාරුයි කියා ද තිබුණි… නමුත් ඒවායින් කිසිවෙක් සැලුනේ නැත…ලංකාවේ අය එසේ බෑ කියද්දී, මාගේ මිත්‍රයාගේ කාර්‍යාලයේ වැඩ කරන ඉන්දියන් ජාතිකයින් පවා නොමසුරුව ඒ සඳහා දායක වී තිබීම සැබවින්ම අගේ කල යුතුය..

පැය දෙකක් ගත වෙද්දී, ඒ එකතුවූ මුදල ලංකාවට යැවීමට ඒ සඳහා කැපවූ මාගේ මිත්‍රයාට හැකිවිය.

අද දිවයින පුවත්පත ද ඒ ගැන කෙටි සටහනක් තබා ඇත්තේ මෙලෙසිනි.

(උපුටාගැනීම- දිවයින 2012-03-25)
“එපමණක්‌ නොව, කටාර් රටේ සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක්‌ එකතු වී දැවැන්ත මුදල් පරිත්‍යාගයක්‌ කළේය. එය කෙතරම් උනන්දුවකින් සහ ඉක්‌මනකින් සිදුකළේද යත් රුපියල් 169,000 ක්‌ වූ එම මුදල සොයාගැනීම පිණිස ඔවුනට ගතව තිබුණේ පැය 2ක කාලයක්‌ පමණි. ඒ සඳහා 25 දෙනෙක්‌ දායක වී සිටියහ. ඒ නම් අතර තිබූ එක්‌ නමක්‌ සඳහන් වූයේ රාජු තෝමස්‌ (Raju Thomas) ලෙසිනි. දන්නවාද?.. ඔහු ඉන්දියානු ජාතිකයෙක්‌. තමන් සමඟ එකට සේවය කරන ශ්‍රී ලංකික පිරිසගේ මේ කාර්යයට ඔහුද එක්‌කාසු වී සිටියේය. තමන්ගේ නොවන රටක, තමන්ගේ ජාතියක, තමන්ගේ ආගමක නොවන ඇය ගැන නොදන්නා බසකින් ලියවුණු ලිපියකට ඒ විදේශිකයාද ප්‍රතිචාර දැක්‌වීය. ඔහු පමණක්‌ නොව ත්‍රිකුණාමලයේ ජනාදන් ද එයට දායක වී සිටියේය. ජාති, ආගම්, දේශසීමා බිඳදමා මේ මනුෂ්‍යත්වයේ පණිවුඩය ඇදී ගියේ එසේය.”
(උපුටා ගැනීම අවසන්)

සිතට අප්‍රමාණ සතුටක් දැනුනේ පුවත පත්තරේ ගියා නිසා  නොව, නිර්මලා නැඟනිය දැන් සුව වේවි යැයි හිතට නැඟුනු හැඟිම නිසාය.

ඒ සමඟින්ම පවුරක් මෙන් සිටින මිතුරු කැලටද අප්‍රමාණ ස්තූතිය හිමිවන්නේ ය. සෑම වරකම පාහේ මෙවන් දේකට අවශ්‍යය වන්නේ එක දුරකථන ඇමතුමකි…

2008දී ලක්ෂ 10කට වඩා වැඩි මුදලක් රාගම රණවිරු සෙවණට යවන්නට පුළුවන් විය

ඉන්පසුව දිලුම්ටද උපකාර කළා මතකය.

අප සියළු දෙනා ලංකාවේ මුදලින් නිදහස් අධ්‍යාපනය ලැබුවෝ වෙති. අඩුම තරමින් ඒ ණය වත් ජාතියට ගෙවන්නට අප බැඳී සිටිය යුතුබව අප සියළුදෙනා දැඩිව විශ්වාස කරන කරුනකි.

මෙවන් උදව්වක් අවැසි ඕනෑම කෙනෙකුට උදව් කිරීමට අප සියලු දෙනා බැඳී සිටින්නෙමු… එවැනි ඕනෑම අයෙකුට එහි අව්‍යාජ බව තහවුරු වීමෙන් පසුව හැකි උපරිමයෙන් දායක වීමට හැකි බවද මතක් කර සිටිමි.. මෙය කියවන ඔබලාට එලෙස උදව් අවශ්‍යය අයෙක් හෝ ස්ථානයක් වෙත්නම් උඩින් ඇති ඊමේලයෙන් මා (අප ) හා සම්බන්ධ විය හැකිය.

අවසාන වශයෙන් අපගේ ප්‍රාර්ථනය ” නිර්මලා දැන් කතා කරාවි ” යන්නයි…

 *************

නිර්මලා පිළිබඳ අද දිවයින පුවතට මෙතැනින් යන්න..

පින්තූරය… දිවයින පුවත්පතින්..

ප/ලි: කිසිම මිතුරෙකුගේ නමක් සඳහන් නොකලේ ඔවුන් එය කිසිසේත්ම අනුමත නොකරන බැවිනි..

6 responses to “නිර්මලා දැන් කතා කරාවි..

  1. ඒ කරගත්තවු පුණ්‍යය ශක්තිය නිවනින් නිවීම සදහාම හේතු වාසනා වේවා!!!

  2. උපකාර කල සැමට පින්සිද්ධ වෙච්චාවේ!

  3. Been doing this type of for a while, some of our Sinhala bloggers know about it.

    You have done well. Congratulations….!!!!

  4. අන්න මිනිස්සු. ඉතින් නිර්මලා කතාකලාද?

  5. ඇත්තටම අගය කරනවා ඔබ ඇතුළු පිරිසගේ මේ පරිත්‍යාගය. ඔබට ජය! ඇයටත් නිරෝගි සුව පතනවා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න