මම පොඩිකාලේ කරපු වැදගත්ම වැඩේ තමයි ක්‍රිකට් ගැහිල්ල. ඒකටම කියල සෙට් වුන සෙට් එකක් හිටියා අපේ පාරේ… මම තමයි ඉතිං ඔය සෙට් එකේ කැඳවුම් කරු.. ( අදටත් ඉතිං ඒ රස්සාවේ වෙනසක් වෙලා නැහැ ) ඉතිං ඒ නිසාම හැම බාල්දියක්ම පෙරලෙන්නේ මගේ ඔලුවටම තමයි…
අහල පහල ගෙදරක මල් පැල ටිකක් ගැලවිලා තිබුනොත්, මල් පෝච්චියක් බිඳිලා තිබුනොත්, බැරි වෙලාවත් වීදුරුවක් එහෙම කැඩිලාතිබුනොත් කෙලින්ම අහු වෙන්නේ සමීර තමයි..
‘ ඔය සමීර ලා බෝල ගහලා නේ ඕක කරලා තියෙන්නේ ‘ කියන එක ඉතින් ඒ දවස් වල මන්තරයක් වගේ ඇහෙන දෙයක්… ඒ විතරක් නම් මදෑ… සමහර වෙලාවට අහල පහල කටිටිය අපේ උසාවියේ නඩුත් ෆයිල් කරනවා… ඒ නඩු ඉතින් විබාගයට ගන්නත් කලිං මං වැරදිකාරයා වෙලා හොඳ හොඳ දඩුවම් ලැබනවා…
ඔය වගේ කේස් වලට වැරදිකාරයා උනාම මුලින්ම දෙන දඩුවම තමයි,
`කෝ කියනවා බලන්ඩ 7 වරක් චක්කරේ? ‘..
මමත් ඉතිං දන්න පොර වගේ පටං ගන්නවා…
හත්වරක් බින්දුව, බින්දුවයි…
හැම චක්කරේකම මම ඔය බින්දුව කියනවා… මොකද එකකින් හරි දන්න ප්‍රමාණය වැඩිවෙනවා නේ.
හත්වරක් එක, හතයි.
හත්වරක් දෙක, දා හතරයි.
හත්වරක් තුන, ම්ම්ම් …විසි එකයි.
හත්වරක් හතර, විසි…විසි ඥ්ඥයි.
හත්වරක් පහ, තිස් පහයි.
හත්වරක් හය, ???
හත්වරක් හතර මතක නැති නිසා ඒක ටක් ගාල කියල දන්න කියන හත්වරක් පහ ට පනිනවා.. ඒත් වැඩේ මාට්ටු වෙනවා…
කාලා හමාරයි..
6න් උඩ චක්කර කාටද මතක තියෙන්නේ.. මොකද ක්‍රිකට් වල 6න් උඩ පහරවල් නෑනේ… ඉතිං මට ගොඩක් දවස් වලට වෙන්නේ දණ ගහගෙන නඩුකාර උන්නාන්සේ ඉන්නා දිහාවට ඇහෙන්න චක්කරේ කියන එක තමයි..
ඒ දඩුවම් වලින් ඉතිං ලැබිලා තියෙන ප්‍රතිඵල විසාලයි.. ඒවා නොලබුනා නම් අද මෙතන ඉඳං මට මේවා කියන්න වෙන්නෙ නැහැ..
හරි.. පීලි පනින්න ඕන නැහැ…
මම කියාගෙන ආපු විදියට, ඒ දවස් වල ක්‍රිකට් ගැහිල්ල හරි සුන්දරයි..
අපි වැඩි හරියක් කලේ ඒ දවස් වල ටීම් එකේ හිටපු අය අනුකරණය කරපු එක තමයි…
ඒ දවස් වල ඕපන් කරේ හතුරුසිංහයි මහානාමයි.. ඉතිං හතුරුසිංහ වගේ කැප් එක අස්සට සුදු ලේන්සුවක් දාගෙන තමයි පලවෙනියා බැට් කරන්නේ..
ඊළඟට මහානාම වගේ සාක්කුව හද හද, බැට් එකේ මිටෙන් නිකට ට තට්ටුවක් දාලා එකම තමයි අනික් එකා බැට් කරන්නේ… ඊට පස්සේ එන්නේ ගුරා.. මතකනේ ඒ දවස් වල ගුරා ගැහුවේ GM බැට් එකකින්.. අපි කියන්නේ ගුරා මෝඩයා බැට් එක කියලා.. අපේ ලී බැට් වලත් ඉතිං ඔය GM මාක් එහෙම ගහගෙන තිබුනේ.. තව Slazenger කොටි පැටව්, කුකබුරා කොට්ටෝරුවො එහෙමත් ඇඳලා තිබුනා බැට් වල..
ඉතිං GM බැට් එකක් අරං ඇවිත් ඇහිපිල්ලං එහෙම හොඳට ගහලා, බෝලර්ට බෝලේ දාපං කියලා ඔලුවෙන්ම කියල තමයි ගුරා බැට් කරන්නේ…
ඊට පස්සෙ එන්නේ වීරයා… කුකබුරා බැට් එක කරේ තියාගෙන ඇවිල්ලා පාරෙ තියෙන ගල් කෑලි ටිකක් එහෙම එහෙට මෙහෙට කරලා, තැන් කීපයකට බැට් එකෙන් කොටලා පිච් එක ලෙවල් කරලා එහෙම තමයි `අරා’ පටං ගන්නේ… බැට් කරන්නේත් ඉතිං බෝලේ දාන්න ඉස්සෙල්ල දෙතුන් පාරක් එහෙම කොටලා ස්ප්‍රින්ග් එකක් වගේ කකුල් දෙකෙන් බවුන්ස් වෙවී තමයි..
අර්ජුනගේ නම් ඉතිං වැඩි දෙයක් නැහැනේ.. ඊළග කැරැක්ටරේ තමයි හෂාන්.. බෝලේ දාන දුවගෙන එන කොට බැට් එක කොටන ගමන් හෂාන් වගේ පස්ස පොඩ්ඩක් වනන්න අපේ අය අමතක කරේ නැහැ..
ඒ කාලේ ටීම් එක මාර ජොලි.. දැන් ටීම් එක ඊට වඩා දක්ෂ උනාට ඒ කාලේ ටීම් එකේ හිටියෙ පතාක යෝධ චරිත. දැන් නං ඉතින් හැමෝම එක වගේ ගොඩක් දුරට, සනා ගේ ඔය පෑඩ් එකේ ඉඳලා ඔක්කොම චෙක් කරන එක ඇරෙන්න..
කොහොම උනත් ඒ ටීම් එක ගැන මගේ හිතේ නම් තියෙන්නේ නොමැකෙන මතකයක්.. තවමත් ඒ ක්‍රීඩකයන්ට ආදරෙයි.. ඊට වසර කීපයකට පස්සේ ලෝක කුසලානයත් දිනුවා නේ..