මෑතකදි මට අහන්නට ලැබුනේ අපේ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සේවය ගිය වසරේ පාඩු ලැබූ ආයතනයක් වූ බවයි. වැරදි නම් තතු දත්තෝ කමා වී මා නිවැරදි කරත්වා…
මේ ලිපියේ අරමුන ශ්‍රීලංකන් ගුවන් සේවයේ පාඩු ගැන කථා කිරීම නොවේ, ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් සිදුවන විශාල අඩුපාඩුවක් පෙන්වා දීමයි. සමහර විටෙක පාඩු ලැබීමට මෙයත් හේතුවක් වියහැකි නිසා පාඩුව ගැන කියලම ලිපිය පටන්ගන්න හිතුනා. එහෙම නැතුව කිසිම දේශපාලන පරමාර්ථයකින් එහෙම කිව්ව නෙවේ.
දැන් වසර ගනනාවක සිට ලංකාවෙන් පිටත ජීවත්වූ මම ශ්‍රී ලාංකිකත්වය කවදත් අභිමානයක් කොට සිතුවෙමි. හැකි හැම විටම අපේ ජාතික ගුවන් සේවයෙන් ගමන් කරන්න පුරුදුවුනේ ඒ හැම සතයක්ම කෙසේ හෝ ලංකාවට යන නිසාය. ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපේ ගුවන් සේවයේ ගමන් කිරීම අප සතු වගකීමක් වුවත්, කණගාටුවෙන් උනත් කියන්නට සිදුව ඇත්තේ මා ඇතුලුව වැඩිමනක් මගේ යහලුවන් දැන් ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් ගමන් කිරීම නවතා ඇති බවයි. ඒ වෙනත් හේතුවක් නිසා නොවේ. අපේම ජාතික ගුවන් සේවයේ ගුවන් සේවිකාවන් ශ්‍රී ලාංකිකයන් වන අපට පුප්පන හැටි බලාසිටින්නට නොහැකි නිසාය.
මේ තත්ත්වය මැද පෙරදිගට ගමන් ගන්නා ගුවන් යානා වල ඉතා දැඩි වශයෙන් දක්නට ඇති බව කනගාටුවෙන් යුතුව කිව යුතුව ඇත.
පළමුවෙන්ම, මේ ගුවන් සේවිකාවන් සිතාසිටින්නේ මැද පෙරදිග සිටින සියලුම දෙනා එක්කෝ ගෘහ සේවිකාවන් හෝ රියදුරන් බවයි. එම නිසාද කොහෙදෝ ඔවුන් අප ශ්‍රී ලාංකිකයන්ට කතාබහ කරන්නේ සහ සලකන්නේ ඒ අයුරිනි. එම නිසා මුල් කාලයේ ශ්‍රීලංකන් හි ගමන් කරන විට කෝට් බෑයක් වත් ඇඟ ලා යෑමට මම පුරුදුව සිටියෙම්. ඒ විශේෂ අවධානයක් ගන්නට නොව, ඔවුන්ගේ රළු කතා බහින් වැලකී සිටීමටය. නමුත් අවට සිටින අයට ලැබෙන සැලකිල්ල මම දුටුවෙමි. මේ නිසා ශ්‍රීලංකන් යානය තුල ගුවන් සේවිකාවන්ගේ උදහසට ලක්නොවී සිටීමට නම් එක්කෝ ඔබ ඉංග්‍රීසියෙන් කතා කල යුතුය, නැත්නම් උත්සවයකට යන්නාක් මෙන් හැදපැළඳ සිටිය යුතුය.
ගුවන් සේවිකාවක් යනු ඉතා වගකිව යුතු රැකියාවකි. ගුවන් යානයේදි මගීන්ට සැළකිලි කරනවාට අමතරව හදිසි අවස්ථාවකදි ඔවුන් සතු වගකීම් බොහෝ ය. ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් සේවිකාවන් බොහොමයක් (හැමෝම නොවේ ) සිතා සිතින්නේ ඔවුන් හරි “බඩු” කියාය. ඒ නිසාමද කොහෙදෝ ඔවුන් අනිත් ගුවන් සේවාවල අය මෙන් නොව ඉතා ආඩම්බරය. (ඒ තත්ත්වය විස්තර කිරීමට මට සොයගත හැකි වූ සංවරම වචනය “ආඩම්බර” යන්නයි ) . යමෙක් ඔවුන්ට කතා කළහොත්, විශේෂයෙන් ශ්‍රීලාංකිකයෙක් කතා කළහොත්, එය ඔවුන් හා flirt කිරීමක් ලෙස ඔවුනට හැඟෙන අතර ඔවුන්ගෙ උදහසට ලක් වීමට ඇති ඉඩකඩ වැඩිය.
වෙනත් රට වල මෙන් නොව ගුවන් සේවිකාවක් වීමට බුද්ධියට වඩා රූපය අවශ්‍යයව ඇති විටෙක මෙය සාමාන්‍ය දෙයක් බව ඔවුන්ගෙ උදහසට ලක්වන උදවිය නිතර සිතන දෙයකි.
ඕනෑම ජාතික ගුවන් සේවයක ප්‍රධාන ගමන් කරුවන් වන්නේ එම ජාතිකයින් ය. එම සමාගම ලාභ ලබන්නේ ඔවුන් ගමන් කරන නිසාය. එම නිසා ගුවන් සමාගමක් සතු වටිනාම ධනය තම ජාතිකයන්ගේ විශ්වාසයයි. ඔවුන් හට හරි හැටි සැලකීම (ගෘහ සේවිකාවක් හෝ රියදුරෙක් වුවත්) සමාගම සතු වගකීමකි. මැද පෙරදිග සිට ශ්‍රීලංකන් හි ඉන්දියානුවන් බොහෝ දෙනෙක් ගමන් කරති. ඒ අඩුවෙන් ඉන්දියාවට යෑමටය. ශ්‍රීලංකන් හි ගමන් කරන මලබාරි හෝ වෙනත් ඉන්දීය ජාතිකයෙක්ට අපට ලැබෙනවාට වඩා ලොකු සැලකිල්ලක් ලැබේ. ඔවුනට හොඳින් සළකා ආකර්ෂනය කරගන්නට උත්සාහ කරන ශ්‍රීලංකන් සේවය හට ඉතා වැදගත් යමක් අමතක වී තිබේ. ඒ ශ්‍රී ලාංකිකයන් ය.
මේ ගැන මට ලියන්නට හිතුනේ මේ අත්දැකීම ලැබු අයෙක් හොඳටම කළකිරී කිවු කතාවක් නිසාය. මැද පෙරදිග සමාගමක ඉහලම පෙලේ විධායක තනතුරක් දරන, වයස අවුරුදු 50 ඉක්මවූ ඔහු, එක් ගුවන් සේවිකාවක් හා වාදයකට පැටලී ඇයට අවසානයට කියා තිබුනේ මේසේ ය…
” Look young lady, you’re not more than a waiter in a restaurant. “
ගුවන් සේවිකාවක් වැනි වගකිව යුතු රැකියාවක් වේටර් තත්වකට දැමු ඔහු මට කීවේ නැවත කිසි දිනෙක ශ්‍රීලංකන් හි ගමන් නොකරන බවයි.
මේ ගැන ශ්‍රීලංකන් කළමනාකාරීත්වය ඉතා සැලකිල්ලෙන් බැලිය යුතු බව මගේ හැඟීමයි.
— —
ප.ලි: සියලු දෙනාම මතක තබා ගත යුතු අනෙක් කරුන නම්, දැනට ලංකාවේ ප්‍රධාන ආදායම වී තිබෙන්නේ මැද පෙරදිගින් ලැබෙන විදේශ විනිමයයි.බොහෝ දෙනා සිතා සිතින්නේ ගෘහ සේවිකාවන් නිසා මෙය ලැබෙනවා කියායි.
විදේශ විනිමය ලැබෙන්නේ ගෘහ සේවිකාවන් වැනි නොපුහුනු ශ්‍රමිකයින්ගෙන් නොව ලක්ෂ ගනනක් වන මැද පෙරදිග සිටින ඉංජිනේරුවරුන්, ප්‍රමාණ සමීක්ෂකයන්, ගණකාධිකාරීවරුන්, බැංකු නිලධාරීන් සහ නේක විධ වූ පුහුණු ශ්‍රමිකයින්ගෙන් ගෙනි. යුරෝපයේ, ඇමරිකාවේ සිටින බොහෝ අය මැදපෙරදිග සිටින ශ්‍රී ලාංකිකයන් මෙන් තම පඩිය ලංකාවට එවන්නේ නැත….