Monthly Archives: ජූනි 2010

රසබර රැවටීමක්:රුසියානු ගමනක මතකයන් -1


පසුගිය අවුරුද්දේ අගෝස්තු මාසෙ තවත් යාලුවෝ දෙන්නේක් එක්ක මම සංචාරයක් ගියා රුසියාවේ… මේ සංචාරය පුරාම තිබ්බේ රස බර මතක සටහන්. එකින් එක දිගහරින්නයි මේ සූදානම…

රුසියාවට යන්න පුළුවන් උනාට රුසියාවට ගිහින් එහෙ මෙහෙ යන එක නම් බොරු බාසාව දන්නේ නැතුව… ඉංගිරිසියෙන් මොනව හරි ඇහුවොත් ලැබෙන උත්තරේ “යස්”, “නෝ” කියන එක විතරයි කියල විනාඩි 5ක් යන්න ඉස්සෙල්ල තේරුනා.. රුසියානු බාසාවෙන් ඇරෙන්න වෙනත් බසකින් ලියැවුනු බෝඩ් එකක් හොයනව කියන්නේ නිකන් කළුනික හොයනවා වගේ තමයි..

ඔය ඔක්කොටම අපි තුන්දෙනාට උදව් උනේ මගේ අතිජාත මිත්‍රයෙක් වන චතුරංගයි… මිනිහා ඒ දවස් වල රුසියාවෙ ඉගෙනගන්න අවසන් වසරේ වෛද්‍ය ශිෂ්‍යයෙක්. අපිත් එක්ක යන යන තැන ටුවරිස්ට් ගයිඩ් වගේ චතුරංගය හිටපු නිසා ජාමේ බේර ගත්ත මිසක්, නැත්නම් තාමත් මොස්කව් ගුවන් තොටුපලේන් එලියට යා ගන්න බැරුව ඉන්නවා ඇති අපි සෙට් එක.

දැන් එන්ටර් වෙමු කතාවට… උඩ තියෙන නිධාන කතාව කිව්වේ කතාව තේරුම්ගන්න ලේසි වෙන්න…

මේ සිද්දිය උනේ අපි St. Petersburg නුවර පාර දිගේ ඇවිදගෙන යනකොට…

අපි සෙට් එක පාර දිගේ ඇවිදගෙන යනකොට මෙන්න ඉන්නවා….

කවුද?

වීනස් දෙව්දුවක්… 😀

හොහ්..හොහ්… මම දන්නවා කට්ටිය මොකද්ද හිතන්නේ කියල….

කට්ටියම හිතන්නේ ලස්සන රුසියානු කෙල්ලේක් ඉන්න ඇති කියල නේද? 😛

අනේ… හීනෙ බිඳුන නම් සමාවෙන්න….

ඇත්තටම හිටියේ බොරු වීනස් දෙව් දුවක්.. ඒ කියන්නේ ප්‍රතිමාවක්…

ඇත්ත ප්‍රතිමාව වගේ නෙවේ, දුඹුරු පාට එකක්…

ටිකක් විමසිල්ලෙන් බැලින්නම් දන්න කියන බාසාවෙන් එතන තියෙන බෝඩ් ලෑල්ලේ පොඩියට ලියල තියෙනවා යමක්.

Chocolate Museum කියලා…

ඔය පහත අමුණලා තියෙන්නේ හරියටම ඒ වෙලාවෙ ගත්තු පින්තූරයක්…

කොහොමද වීනස් අක්කා?

ඉන්නව නේද ඒ වගේම?

ඉංගිරිසියෙන් ලියල තිබ්බ බෝඩ් ලෑල්ල නිසා ආපු කික් එකත් එක්ක අපි සෙට් එක එක කකුලෙන් රෙඩි මියුසියම් එක බලන්න යන්න…

චතුරංගගෙන් ඇහුවම එච්චර කැමැත්තක් නැහැ වගේ…

ඒ උනාට අපේ කික් එක දැකලද කොහෙද පොරත් කිව්ව යමු ඇතුලට කියල…

ඉතින් අපි ටික ටික දුරක් ඇතුලට ගියා..

අපි දැන් ඉතින් චොකලට් මියුසියම් එකක් ගැන හීන මව මව යනවා…

යන්කොටත් තියෙනව ඒ බෝඩ් ලෑලි ඊතලේ ඇඳලා මියුසියම් එක පෙන්නලා…

ඔහොම ගිහිල්ලා නැවතුනා එක තැනක…

එතනින් එහාට යන්න බැහැ,

බැලින්නං මොකද්ද දන්නවද?

ඒක එක එක වර්‍ගයේ චොකලට් විකුණන පොඩි කඩ කාමරයක් !! @#$!#!#

චතුරංගයා අවුරුදු 5ක් විතර හිටපු එකානේ.. ඌ ඒක දැනගෙන ඉඳල තියෙන්නේ… අපිට ඕනෑනිසාවට ඇවිත් අපිත් එක්ක…

කොහොමද ඉංගිරිසියෙන් තිබ්බ බෝඩ් ලෑල්ලට වශී වෙලා (වීනස් අක්කාට එහෙම නෙවෙයි) කට්ටිය ඇදිලා ගියපු හැටි.

කාලෙකට පස්සෙ පුරුදු යමක් දැක්කම ඔහොම වෙනවා තමයි.

ප/ලි:
හොඳ සමාජවාදියෙක් ඉන්නවා නම් කියමු බලන්ඩ බෝඩ් එකේ රුසියන් බාසාවෙන් මොනවද ලියල තියෙන්නේ කියලා…

සිග්නල් එකක් පැනීම සියදිවි නසා ගැනීමක් ය.


මම දන්න කියන ඉන්දියන් පොරක් ඊයේ රෑ ජාමෙ සිග්නල් එකක රතු ලයිට් එකක් පැනලා… ඒ වෙලාවෙ ඉඳන් බෙල්ලේ වැල දාගන්න කඹයක් හොය හොය ඉන්නවා…

කොල ලයිට් එක 3පාරක් නිවි නිවී පත්තුවෙලා කහ එකත් පත්තුවෙනකොටම තමයි පොර වාහනේ දාල තියෙන්නේ, කරුමෙටම ලයින් එක පනින වෙලාවටම ලයිට් එක රතු වෙලා, එතැන හිටවලා තියෙන කැමරාවෙන් ලස්සන ෆොටෝ එකක් අරගෙන වාහනයෙයි ප්ලේට් අංකයයි…

කට්ටියට දැනගන්නම ඕන නම්, ඒක කෙරෙන හැටි වෙනම දවසක ලියන්නම්…

සිග්නල් එකක් පැනීම මාරාන්තික, සියදිවි නසාගැනීමක් තමයි කොහොමත්…

ඒත් අපේ යහපත් සිරි ලංකාවේ වගේ නෙවේ, කටාර් වල අත්වැරැද්දකින් හරි සිග්නල් එකක් පැන්නා කියන්නේ ඇඩ්‍රස් නැතිවෙන කේස් එකක්…

සිග්නල් එකක් පැනල නිකන් දෙන ෆොටෝ එකක් ගහගත්තොත් දඩය කටාර් රියාල් 6000ක්. අපේ ඇඟට දැනෙන සල්ලි වලින් කිව්වොත් රුපියල් 186,000 වගේ !!

ඒ අතරින් වැදගත් සිග්නල් දෙක තුනක් ( Airport Signal, Hammad Hospital Signal, etc) තියෙනවා ඒවා පැන්නොත් රියාල් 10,000 දඩය. ඒ කියන්නේ රුපියල් 310,000 !!

ඔක්කොම පරිගනක කරල තියෙන නිසා මේ දඩ නොගෙව ෂේප් වෙනවා නම් බොරු…ගෙවන්නම වෙනවා…

වැඩේ කියන්නේ මේ යකා පැනල තියෙන්නේ Airport සිග්නල් එක. දඩය රියාල් 10,000 ක්.

මුගේ පඩියත් දඩයෙන් බාගයක් වත් නැතුව ඇති…

හොඳම කේස් එක කියන්නේ මිනිහා සිග්නල් එක පැන්න වාහනේ අරන් තියෙන්නේත් රියාල් 6500 කට. 😛

ඉතින් සියදිවි නසාගන්න වෙන එක අහන්න දෙයක් යැ…

ප/ලි :

උඩ අමුනලා තියෙන ඔටුවො පාර පනින සංඥාවක් වෙන අරාබි රටක දැකල තියෙනවාද කවුරු හරි?

පාපන්දු ක්‍රීඩාවට තාක්ෂණය අවශ්‍යය ද?


පාපන්දු ක්‍රීඩාවට තාක්ෂණය අවශ්‍යය ද?

මේ ඊයේ දිනයේ හැමෝගෙම හිතේ තිබුනු ප්‍රශ්නයක්.

එංගලන්ත පාපන්දු ලෝලියෙක් ගෙන් ඇහුවොත් ඔව් කියනු නිසැකයි.

ඊයේ දිනයේ පැවැත්වුනු ජර්මනිය සහ එංගලන්තය අතර තරඟයේ ජර්මනිය ගෝල 2-1 වශයෙන් ඉදිරියෙන් සිටියදී එංගලන්ත නායක ෆ්‍රෑන්ක් ලැම්පාඩ් එල්ල කළ පහර ගෝල කනුවේ වැදී පැහැදිලිවම ගෝල සීමාවෙන් පිටත පතිතවුනත්, තරඟ තීරක වරයා එය නොදැකීමෙන් ගෝලය නිශ්ප්‍රභා කරනු ලැබුවා. දිගටම ආක්‍රමණය කරමින් ගෝල ලබාගැනීමට උත්සාහ කළ එංගලන්ත කන්ඩායමට ප්‍රති-ආක්‍රමණය කල ජර්මානු පිළ තවත් ගෝල දෙකක් ලබමින් 4-1 ලෙස අර්ධ අවසන් පූර්ව තරඟ වලට සුදුසුකම් ලැබුවා…

ඊයෙ පැවති දෙවන තරඟය වන ආජන්ටිනාව සහ මෙක්සිකෝ තරඟයේදී ආජන්ටිනාව ලැබු පළමු ගෝලය ලබාගත් කාලෝස් ටෙවෙස් ට මෙසීගෙන් පන්දුව ලැබෙද්දී ඔහු offside සිටි බව රූපවාහිනිය නැරඹූ කාටත් පෙනුනත්, තරඟ තීරක වරයාට සහ සහායක විනිසුරුවන්ට පෙනුනේ නැහැ. මේ තත්ත්වය නිසා පළමු භාගය අවසානයේදී කන්ඩායම් දෙක කලබලකාරී ආරවුලකට පැටලෙනුත් දක්නට ලැබුනා…

ලෝක කුසලානය වැනි තැනකදී මෙය සිදුවීම ඉතා බරපතලයි… මේ සිදුවීම දෙක නිසා තරඟවල ප්‍රතිඵල වල වෙනසක් සිදුවිය නොහැකි බව පැහැදිලි උනත්, මීට වඩා තීරණාතමක අවස්ථාවකදී මෙය සිදුවීමට ඉඩකඩ ඇති බව කාටත් පැහැදිලියි.

මෙය මෙසේ සිදුවන්නේ ” Goal Line Technology ” සහ ” Video Replays ” වැනි තාක්ෂණික ක්‍රම තිබියදී.

නමුත් ෆීෆා [FIFA] සිටින්නේ මේ තාක්ෂණක්‍රම පාපන්දු ක්‍රීඩාවට අනවශ්‍යයයි කියන දැඩි මතයේයි. මෙවන් තාක්ෂණ ක්‍රම හඳුන්වාදී පාපන්දු ක්‍රීඩාව සංකීරණ කළ යුතු නැතැයි ඔවුන්ගේ අදහස වී තිබෙනවා… ඒ වගේම මේ තාක්ෂණික තීරණ එන තෙක් ක්‍රීඩාව නැවැත්වීමට (ක්‍රිකට් වල තෙවන විනිසුරු තීරණය එන තෙක් බලා ඉන්නාසේ) ෆීෆා කැමතිනැති බවත් පැවසෙනවා…

පටන්ගැන්මේ සිට ජවයකින් යුතුව යන පාපන්දු ක්‍රීඩාව මේ තීරණ සඳහා වරින් වර නැවැත්වීමෙන් එහි ජවය නැතිවී යන බවත් පිළිගත යුත්තක්.

නමුත් බොහෝ දෙනා පවසන්නේ තියෙන තාක්ෂණය යොදාගැනීමේ කිසිම වරදක් නොමැති බවයි. විශේෂයෙන්ම ලෝක කුසාලානය වැනි තීරණාත්මක අවස්ථාවකදී…

ඒ අන් කිසිවක් නිසා නොව මෙවැනි මනුෂ්‍යය වැරදි (Human error) නිසා යම් කන්ඩායමක් ඉවත්වන්නේ නම් ඒ නිකන් නොව ලක්ෂ ගනනක් පාපන්දු ලෝලීන්ගේ කළකිරීමත් සමඟ නිසාය…

මම මින් පසු ටැබූ කතා නොලියමි



සිකුරාදා දහවල් කෑමකට යන්නට එලියට බැස්සා පමණි..

මගේ දුරකතනය කලිසම් සාක්කුවේ සිට හඬලන්නට විය…

ඇමතුම අපේ වෙන්ඩ ( වුන ) හාමිනේ ගෙනි..

—- — —-

මම: හලෝ.. මොකද මේ…

ඇය: අනේ.. මොකද්ද සමීර ඔයා අර ලියල තියෙන්නේ?

මම: මොකද්ද?

ඇය: අර ජරා කතාවක් ලියල තියෙන්නේ.. හරි ලැජ්ජයි අනේ..

මම: ආහ්.. ඒකද… ඒක ඉතින් ජරාකතාවක් නෙවෙයි නේ…

ඇය: ඒ උනාට… හරි කැතයි ඒක ලියල තියෙන විදිය… හරිම indecent නේ.

මම: මොකද්ද අනේ ඒකෙ තියෙන indecent එක?

ඇය: අර කක්කි, චූ කිය කිය ලියල තියෙන්නේ, ඒවට වෙන වචන දාන්න තිබ්බ නේ…

මම: ඒක ඉතින් මහ ලොකු දෙයක්යැ… අපි චූටි කාලේ කක්කි වලට කක්කි කියන්නේ නැතුව මලපහ කියල කිව්වේ නැහැනේ. ලොකු උනාම ඒ වචනම indecent උනේ කොහොමද?

ඇය: ඒ උනාට.. ඒ ලියල තියෙන විදිය හරිම indecent. ලැජ්ජාවෙ බැහැ.

මම: හරී.. ඒක indecent තමයි. ඒත් කුණුහරුප ලියල නැහැනෙ අනේ…

ඇය: ඒ උනාට.. ආයේ එහෙම ඒවගේ ඒවා ලියන්න එපා…

– – – – – සංවාදයේ ඉතිරිය පුද්ගලික කතාවකි – – – – –

ටැබූ [Taboo] කතාවක් ලියන්නට ගොස් මට වෙච්ච සන්තෑසිය එසේය. එයට එරෙහිව පළමු මලපහ බකට් එකම ගෙදරිනි. ප්‍රතිචාර ගල් මුල් සමඟ මලක් දෙකක් වත් එතැයි සිතාසිටි මට ලැබුනු මලක් නම් නැත.

මම මින් පසු ටැබූ කතා ලියන්නේ නැත…

බයට එහෙම කියල හිතන්න එපා… 😛

යුරෝපය පරදා නැගිටින දකුණු අමෙරිකානු පාපන්දු ක්‍රීඩාව.


යුරෝපයේ පාපන්දු යෝධයන් දෙදෙනෙක් වන පසුගිය වසරේ ශූරතාව සහ අනුශුරතාව දිනාගත් ඉතාලිය සහ ප්‍රංශය පළමු වටයෙන්ම ඉවතට විසිවී යද්දී, දකුණු අමෙරිකානු රටවල් සියල්ලම අවසන් 16 වටයට යෑමට සුදුසුකම් ලැබුවේ වැඩිමනක් ක්‍රීඩාලෝලීන් පුදුමයට පත් කරමින්.

දකුණු අමෙරිකානු පාපන්දු ක්‍රීඩාව ගැන කතා කරද්දී බොහෝ දෙනා දන්නේ බ්‍රසීලය සහ ආජන්ටිනාව ගැන පමණයි. නමුත් අනිත් දකුණු අමෙරිකානු පාපන්දු කණ්ඩායම් ඇතැම් ‍යුරෝපී‍ය කණ්ඩායම් වලට වඩා ඉතා ඉහලින් සිටිනවා… උරුගුවේ, පැරගුවේ පාපන්දු කණ්ඩායම් ඒ අතරින් සුවිශේෂයි… මෙය යුරොපයේ පාපන්දු අධිරාජ්‍යයට කදිම සරදමක්. මේ කරුණ තවත් තහවුරු වන්නේ ඊයේ පැවැත්වුනු චිලී සහ ස්පාඥ්ඥ්ය අතර තරඟයේදී චිලී කණ්ඩායම ලැබූ පරාජය හැරෙන්නට දකුණු අමෙරිකානු පාපන්දු කණ්ඩායමක් මෙවර 2010 ලෝක කුසලානයේදී තවම පරාජය වී නැතිවීමේනි.

චිලී කණ්ඩායම ඇරෙන්නට උරුගුවේ, පැරගුවේ, ආජන්ටිනා, බ්‍රසීලය යන කණ්ඩායම් අවසන් 16ට තේරුනේ තමන්ගේ Group එකේ ප්‍රථමයා වෙමින්. මේ තත්ත්වය වැඩිමනක් යුරෝපීය පාපන්දු ක්‍රීඩාවට ඇලී සිටි පාපන්දු ලෝලීන්ට පුදුමයක් වුනත්, 2007 සිට පැවැත්වුන දකුණු අමෙරිකානු ලෝක කුසලාන සුදුසුකම් ලබාගැනීමේ තරඟාවලිය බලාසිටි අයට නම් පුදුමයක් නොවෙයි. දකුණු අමෙරිකානු පාපන්දු කණ්ඩායම් 10ක් අතරින් 5දෙනෙකු තෝරාගැනීමට පැවැත්වුන මේ තරඟාවලියේදී කවුරුත් හිතුවේ බ්‍රසීලය සහ ආජන්ටිනාව නිකම්ම සුදුසුකම් ලබාවියි කියලයි.

නමුත් මැරඩෝනාගේ ආජන්ටිනා කණ්ඩායම ඉවතට විසිවෙන්න ඔන්න මෙන්න කියා තිබේදිදී ඔවුන්ගේ අවසාන තරඟයේදී උරුගුවේ පරදවා සුදුසුකම් ලැබුවේ 5වැනි ක්ණ්දායම ලෙසින්!

ඩුංගාගේ බ්‍රසීල කණ්ඩායම සුදුසුකම් ලැබූ පළමුවෙනි කණ්ඩායම උනත්, තරඟාවලියේ අවුරුදු 2 1/2 පුරා වැඩි ගෞරව හිමිකරගත්තේ තුන්වෙනි ස්ථානයට පත් පැරගුවේ කණ්ඩායමයි. චිලී දෙවනිතැනට පත්වුයේ මෙසීගේ ආජන්ටිනා කණ්ඩායම 6-1 වශයෙන් අවමානයට පත්කරවමින්.

කලකට පසු ආජන්ටිනාවෙන් සහ බ්‍රසීලයෙන් ඇරෙන්නට දකුණු අමෙරිකාවෙන් නවක පාපන්දු තරු බිහිවී තිබෙනවා. උරුගුවේ කණ්ඩායමේ ඩියාගෝ ෆො’ලාන් මේ අතරින් සුවිශේෂයි.

මෙවර ලෝක කුසලානය බොහෝවිට දකුණු අමෙරිකාවට හිමිවෙන ලකුණු පැහැදිලි වෙමින් පවතිනවා… පහත අමුණා තියෙන තරඟ සටහන දෙස බලන්න.

යුරෝපයේ පාපන්දු කණ්ඩායම් වලට වඩා දකුණු අමෙරිකානු කණ්ඩායම් වලට ඇති ඉඩකඩ බොහෝමයි. ජර්මනිය සහ බ්‍රිතාන්‍ය අතර තරඟයෙන් එක් යුරෝපීය කණ්ඩායමක් කැපී යන අතර, පෘතුගාලය සහ ස්පාඥ්ඥ්ය අතර තරඟයෙන් එක් පාපන්දු දැවැන්තයෙක් ඉවතට විසිවෙනවා… යුරොපීය කණ්ඩායම් අතරින් නෙදර්ලන්තය ඉදිරියට පැමිණෙතැයි අනුමානකල හැකි අතර, සුවිශේෂීම තරඟය වන්නේ දකුණු අමෙරිකානු කණ්ඩායම් දෙකක් වන බ්‍රසීලය සහ චිලී අතර තරඟයයි.

කෙසේවෙතත් මගේ පුද්ගලික විශ්වාසය නම්, මෙවර දකුණු අමෙරිකානු කණ්ඩායමක් ජයග්‍රහණය කරන බවයි…

බොහෝවිට ආජන්ටිනාව විය හැකියි ?

Image courtesy : FIFA.com