අයි.පී.එල් වලින් අප ගතයුතු පාඩම්


තුන්වන අයි.පී.එල් තරඟාවලියේ අවසානයත් ලඟාවෙලා.

කවුරු කෙසේ කීවත්, ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවට අයි.පී.එල් වලින් ලබාදී තියෙන්නේ විශාල සේවයක්… ඉතාම දූරදර්ශී විදියට ඔවුන් ඉන්දීය ක්‍රීඩකයන් ජාත්‍යන්තර ක්‍රීඩකයක් එක්ක මුහු කරලා ඔවුන්ට සරිලන හොඳ පුහුනුවක් ලබා දී තිබෙනවා… දැන් ඉන්දීය ක්‍රිකට් සංචිතය ඉස්සරට වඩා ශක්තිමත්… Bench Strength එක ඉතාම ඉහලයි… මුරලි විජේ, උත්තප්පා, මනිෂ් පාන්ඩේ, වැනි නවක තරු බිහි වී තිබේනවා…

ශක්තිමත් දෙවන පෙළක්, මේක ඉන්දියාවේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට කෙසේවෙතත්, එක්දින ක්‍රීඩාවටනම් ඉතාම රුකුලක්. මොකද අවසානයේ ක්‍රිකට් කිරුළ රඳාපවතින්නේ එක්දින ලෝක කුසලානය මත නිසා…

මෙහිදී ඔවුන් කරපු එකම දේ, කණ්ඩායම් ටිකට පාට ඇඳුම් අන්දවලා, ලස්සන පිට කවරයක් දාල, විශාල මාධ්‍ය ආවරණයක් දීල, ගැණුම් කරුවන් ඇද ගත්තු එකයි… ප්‍රතිඵලය, විශාල මුදල් කන්දරාවක් ගලා ඒම… මෙහි තියෙන ආකර්ශනීය පිට කවරය සහ විදේශීය ක්‍රීඩකයන් නිසාම ලෝක‍ය පුරාම ප්‍රචලිත වුනා…

ඒ සියල්ල අපි දන්න දේවල්… හිතන්න මේ සියලුම මුදල් හුවමාරු වෙන්නේ ඉන්දීය ක්‍රිකට් කවුන්සිලය හරහා… මේ තුලින් ලබන ලාබයෙන් ක්‍රීඩාවෙ උන්නතියට ඔවුන් ගොඩක් දේ සැළසුම් කර අවසන්…

කුඩා රටක් වෙලත්, දක්ශතා අතින් පසුගිය දශක දෙක තුළ ශ්‍රි ලංකාව කෙසේ හෝ ඉන්දියාව ආසන්නයෙන්ම හෝ ඊට වඩා ඉහලින් සිටියත්, දැන් දැන් අප ආක්‍රමණය කරමින් ඔවුන් දැවැන්ත කණ්ඩායමක් බවට පත් වී තිබෙනවා…

ලංකාවේ ශක්තිමත් දෙවන පෙළක් හදාගන්න විධිමත් වැඩක් තාම වෙලා නහැ… අන්තර්-පළාත් තරඟාවලිය වත් ප්‍රේක්ෂකයන් ඇදගන්න විදියට කරන්න අසමත් වෙලා… ඒ තරඟ වලට හරිහැටි මාධ්‍ය ආවරණයක් නැති තරම්… බස්නාහිර, වයඹ. උතුරු මැද කියලා කණ්ඩායම් තිබ්බට අයි.පී.එල් එකෑ කරල තියෙනවා වගේ පිට කවරයක් හදා ගත්තනම් පොඩ්ඩක් හරි මේක ප්‍රචලිත කරගන්න තිබ්බා කියලයි මට හිතෙන්නේ. අයි.පී.එල් වලත් මුම්බායි, දිල්ලි, චෙන්නායි කියල විතරක් තිබ්බ නම් ඒකටත් වෙන්නේ ඒ ටිකමයි…දකුනු අප්‍රිකාවේ සහ කොදෙව් දූපත් වලත් මේ ක්‍රමය අනුගමනය කරල තිබෙනවා…උදාහරනයක් විදියට කේප් කෝබ්‍රා වගේ කණ්ඩායම් ගන්න..

මෙතන තියෙන මූලික අඩුව තියෙන්නේ Marketing හෙවත් අලෙවිකරණයේ කියලයි මට හිතෙන්නේ… අපේ ක්‍රිකට් ක්‍රීඩාව අලෙවිකරන්න බැහැ කියන එකනම් පිළිගත හැකි දෙයක් නෙවෙයි… ඉන්දියාවෙ තරම් කරන්න බැරි උනත්, ලාංකීය ප්‍රේක්ෂකයෝ ටිකවත් ගෙන්න ගන්න අපි අසමත් වෙලා… ළඟදි සමුගෙන ගිය මාවන්, අරවින්ද, කලූ, වාස් වගේ අපේ ප්‍රවීන ක්‍රීඩකයොන්ටත් සෙල්ලම් කරන්න දීලා හොඳ තරඟාවලියක් සංවිධානය කරා නම් අපේ දෙවෙනි පෙළ මීට වඩා හොඳට හදාගන්න තිබ්බා…

දැන් තියෙන විදියට මහේල, සංගා, දිල්ෂාන්, මුරලි ගියාට පස්සේ අර කලින් අරවින්ද අර්ජුන ගියාම තිබ්බා වගේ තැනකටම වැටෙන පාටයි… ඒ අතින් ඉන්දියාවේ ගම්භීර් සහ ෂෙවාග් ගෙ ආරම්භක තැන ගන්න අයි.පී.එල් වලට පින් සිද්ද වෙන්න දැන් 10ක් විතර පෝළිමේ ඉන්නවා…

අයි.පී.එල් වලින් ඉන්දියාවට කරගන්න බැරි උන එකම දේ ඔවුන්ගේ පන්දු යවන්නන් හදාගන්න එක පමණයි… 20යි 20 තරඟාවලියකදි ඒක කොහොමටවත් කරන්න බැහැ… නමුත් ඔවුන් ඒකටත් විසදුමක් හොයා ගනීවි..

අයි.පී.එල් වලින් අපිට ගන්න පුළුවන් පාඩම් ගොඩයි… අයි.පී.එල් වගේ තරඟාවලියක් පටන් ගන්න කියල නෙවේ මේ කියන්නේ… ලංකාවේ දැනට තියෙන අන්තර්-සමාජ තරඟ, පළාත් තරඟ ජාත්‍යන්තර තළයකට ගෙන එන්න වැඩ පිළිවෙලක් අවශ්‍යය බවයි මෙයින් කියන්නේ… අයි.පී.එල් මේක කරේ විදේශීය ක්‍රීඩකයින් වෙන්දේසි කරලා කණ්ඩායම් වලට බෙදාදීලා… මේ ක්‍රීඩකයින් එක්ක සෙල්ලම් කරද්දි නවකයින්ට ලැබෙන අත්දැකීම් සහ නිරාවරණය ඉතා වටිනවා…

මගේ අදහසේ හැටියට ඉන්දියාවට වඩා දක්ෂ සහ අපටම ආවේනික ක්‍රීඩකයන් අපට සිටිනවා.. මේ අයට අත්දැකීම් ලබාදෙන්න අඩිතාලමක් අවශ්‍යයි…

සම්පත් වලින් අඩුවක් නැත, ක්‍රිකට් පාලක මණ්ඩලයට මුදල් වලින්ද අඩුවක් තිබිය නොහැක. අඩුව ඇත්තේ නිවැරදි දැක්මක් සහ සැළසුමක් ඇති පාලකයන් ය. අඩුව ඇත්තේ ලලිත් මෝඩි වැනි දක්ෂ චින්තකයන්ය…

5 responses to “අයි.පී.එල් වලින් අප ගතයුතු පාඩම්

  1. “ලලිත් මෝඩි වැනි දක්ෂ චින්තකයන්ය…”

    Really? Do you think Modi did all this in the best interest of cricket? He’s nothing more than a businessman – a cunning and a very smart one, I give him that – and all his interest is on business. Cricket is but only a business opportunity for him.

    Thank god we don’t have assholes like Modi in SLC. It is screwed up enough already, we don’t need people like Modi to fuck it up further.

  2. රට ඇතුලේ තරග මිනිස්සු අතරට යනව මදි.

    තරගාවලියකට තිබෙන “තැන” තීරණේ වෙන්නේ ප්‍රේක්‍ෂකයන් ඒ පිළිබඳව දක්වන උනන්දුව මත. ප්‍රේක්‍ෂක උනන්දුව නිර්මාණය කරන්නේ ජන මාධ්‍ය හරහා.

    ජනමාධ්‍ය ආකර්ෂණය කරන්න තරම් අපේ රට ඇතුලේ තරගාවලිවල පිටකවරෙ දිලිසෙනව මදි.

    ක්‍රීඩකයන්ට වුවත් තරගාවලියක් “සිරා අරගෙන” ක්‍රීඩා කිරීමේ “කික් එක” ලැබෙන්නේ සමාජය තුළින් ඒ තරගාවලියට හිමි තැන මත කීවොත් එතරම් වැරදි නෑ.

  3. හිතෙන්නෙ නැද්ද, අපේ රටේ මොන දේ කළත්, ගැටළුව ඕක ය කියල. ඒ කියන්නෙ, අපි ආකල්ප පිරිසිදු කිරීමක් මුලින්ම කරල හිටියොත් හොඳයි නේද ?

සමීර අබේසේකර වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න