ලර්නර්ස් සපත්තු…


පුරුද්දක් විදියට අපේ හාමිනේ මම ලියන එව්වා කියවන්නේ නෑ….(එහෙම කියලා මම ඉතින් හාමිනේ ට මඩ ගහන්න යන්නේ නෑ…බඩේ පාර වදිනවා නේ..) එක පාරක් එයා නිසා, “මම මින්පසු ටැබූ කතා නොලියමි ” කියලා පොරොන්දුවකුත් දෙන්න උනානේ…ඒක අර මම ලියපු ටැබූ කතාවක් ගැන කවුද එයාට කියලා, ඒ නිසා ඒක කියවලා වෙච්ච දෙයක් නේ…

ඒ වගේම අල කලංචියක් උනා මේ ළඟදී ජීවිතේ හැක් උන එක ගැන කියන්න ගිහින්. ඒක කියවලා අපේ ගෙදර ආපු අය අපේ හාමිනේ ගෙන් අහන්න ගත්තා “නංගි දැන් මෙයාව හැක් කරලා නේද තියෙන්නේ කියලා”… අපේ හාමිනේට ඒක ගැන කිසිම දැනුම් තේරුමක් නෑ.. එහෙම අහපු නිසාම එයා ගිහින් බ්ලොග් එක කියවලා ඒකේ තියෙන දෙබස් වැරදියි කියලත් මට චෝදනාවක් ආවා…

මේ කතාව කියන්න මතක් උනේ කතන්දර ගේ කාර් එකේ පෝස්ට් එක දැකලා… හැබැයි මේ කතාවේ පොඩි මඩක් තියෙනවා… මගේ හොඳම යාළුවෙක් තමයි කතාවේ ඉන්නේ… පොර නම් මගේ බ්ලොග් එක කියවන්නේ නෑ… ඒ උනාට මෙහෙම මඩ ගහලා උගෙන් බේරෙන්න බැරිවෙන්නේ මේවා බලන අනික් උන් තැන තැන ගිහින් ඒවා කියන නිසා…

තව අපේ යාලුවන් අතරේ වෙච්ච කතා ගොඩක් තියෙනවා…  ඒත් ඕවා ලියන්න බැරි කියවන උන් ගිහින් ඒවා හැමතැනම කියන නිසා… ඒ පොරවල් ගිහින් කියන්නේ නිකන් මම උන්ගේ වැල ෆිල්ම් එකක් නෙට් එකට දැම්මා වගේ…

“අන්න අරූ උඹ ගැන නෙට් එකට දාලා…”

ඉතින් මට රිටර්න් එක ලැබෙන්නේ රියල් ලයිෆ් එකේ මොකක් හරි බාල්දියකින්…

ඔන්න මඩයා යි, අභීයයි වගේ බ්ලොග් ලියන දෙන්නෙක් නම් රිටර්න් මඩ පෝස්ට් එකකින් වැඩේ සෙටල්…ඒ වගේද මේවා..

ඒ නිසා මේවා කියවන අය මේ කියන පුද්ගලයා කවුද කියලා දන්නවා නම් කටක් අරිනවා එහෙම නෙවෙයි ඕන්.

හරි… disclaimer එක ඉවරයි…. ඔන්න කතාවට..

ලංකාවේ ගොඩක් ලර්නර්ස් කාරයෝ ගාවට ගියාම සපත්තු සෙරෙප්පු ගලවලා ඩ්‍රයිව් කරන්න කියලා කියනවා නේ. ඉතින් ඒ වගේ කට්ටියට ලැයිසොම ගත්තාට පස්සේ සපත්තු දාලා ඩ්‍රයිව් කරන්න ආයෙත් ඉගෙන ගන්න වෙනවා…එතකන් ඉතින් පාරේ යන අයට සොරිම තමා..

මගේ යාලුවෙක් වන අනුරත් (ඇත්ත නම නෙවේ) ඔන්න කටාර් වල අවුරුදු දෙකක් විතර වැඩකරලා හිතුවා ලෝන් එකක් ගහලා කිරි ටොයියා කාර් එකක් ගන්න ඕනි කියලා… පොර ඉතින් ජීවිතේට වාහනයක් එලවලා නෑ… ඒ උනාට ගන්න යන වාහනේ පදින්න ඕන නිසා ගියා ඩ්‍රයිවින් ස්කූල්… 

ඔය ඩ්‍රයිවින් ස්කූල් වලින් පාස් වෙන එකත් ලේසි වැඩක් නෙවේ… පොර ඉතින් කීප පාරක් ටෙස්ට් එක දීලා එහෙම යාන්තමින් ගොඩ ගියා… ඊට පස්සේ ඉතින් අර හිතන් හිටිය විදියට කාර් එකත් අරගෙන ටික ටික එහේ මෙහේ යන්න පටං ගත්තා…

ඒ උනාට මිනිහා ගමනක් යන්න හිතුනොත් ගෙදර ඉඳන් ඒ තැනට යන පාර හිතින් හිතාගන්නවා..

අර රවුන්ඩබවුට් එක ගන්නේ කොහොමද , මෙතනින් මේ ට්‍රැක් එකට දා ගන්න ඕන.. ඊළඟ සිග්නල් එකේදී මොකද කරන්නේ…එතනට ගියාම අර පාකින් ස්ලොට් එක ෆ්‍රී වෙලා ඇති. එතන පාක් කරන්නේ කොහොමද..වගේ ඔක්කොම මිනිහා කල්පනා කරනවා.. බැරි වෙලාවත් පොර හිතන් හිටපු විදියට ඒව උනේ නැත්නම් ඉතින්  ආපහු හරවගෙන එනවා… දැන් නම් ගුගල් දෙවියන් මවලා තියෙන ගුගල් මැප් වලිනුත් බලල තමයි යන්නේ කියලයි ආරන්චිය…

 ඔන්න ඉතින් අපි ටිකත් සති අන්ත දවසක අනුරත් එක්ක අළුත්ම කාර් එකේ පොඩි අවුටින් එකක් යන්න සෙට් උනා.. පොරත් ඉතින් ලෑස්ති වෙලා එහෙම කාරිය ඇවිත් තමන්ගේ කාර් එකේ පිටි පස්සෙන් වාඩි වෙන්නයි ලෑස්තිය…

එකෙක්: “ඇයි බං උඹ ඩ්‍රයිව් කරන්නේ නැද්ද? ”
අනුර: “නෑ මචං..”
තව එකෙක්: “යකෝ.. උඹේ කාර් එකනේ, උඹ ඩ්‍රයිව් කරපන්.”
අනුර: “සමීර… එහෙනං උඹ ඩ්‍රයිව් කරපං..” කියලා මට යතුර දික්කරා..

මම ඉතිං ගත් කටටම බෑ කියලා පිටිපස්සේ සීට් එකේ වාඩි උනා.. අනික් උන් දෙන්නත් ඉතින්, ඩ්‍රයිවින් සීට් එක අතෑඅරලා අනික් සීට් වල දඩ බඩ ගාලා වාඩි උනා..

දැන් අපේ අනුරටම තමයි ඩ්‍රයිව් කරන්න වෙලා තියෙන්නේ..

පොර පොඩ්ඩක් වෙලා බිම බලාගෙන ඉඳලා මම පොඩ්ඩක් රූම් එකට ගිහින් එන්නම් කියලා යන්න ගියා.. අපි හිතුවෙම ෂුවර් එකට බොගක් වත් සෙට් වෙලා ඇති කියලා.

ටික වෙලාවකට පස්සේ පොර එනවා දාගෙන හිටපු සපත්තු දෙක මාරු කරලා සුදු පාට වෙන සපත්තු දෙකක් දාගෙන…

එකෙක්: “කොහෙද බන් ගියේ..”

අනුර: “නෑ බං මම මේ සපත්තු දෙක දාගෙන එන්න ගියා.. මම මේ දෙක දාගෙන තමයි ඩ්‍රයිවින් ස්කූල් ගියේ.. ඉතින් මේක නැතුව ඩ්‍රයිව් කරන්න බෑ බං..”

මේ ළඟකදී වෙන සපත්තු දෙකක් දාගෙන පොර කාර් එකෙන් බහිනවා දැකපු අයත් ඉන්නවා..

13 responses to “ලර්නර්ස් සපත්තු…

  1. අඩේ මටත් එකෙක් ඔය කතාවම කිව්වා.

    කිව්ව එකා මතක නෑ.

    කාටද උනේ කියලත් මතක නෑ . .

    මේ අනුරයි මට කියපු කතාවේ එකයි දෙන්නම එක්කෙනෙක්ද දන්නෙත් නෑ සමීර . .

    ඌ QS කෙනෙක්ද?? හික් හික් හික් . .

    නෑ නෑ දැන ගත්තත් අහන්න යන්නේ නෑ බන් . . .

  2. හෙහ්…මලේ උඹෙ කතා කියෙව්වම මටත් කතාවක් මතක් වෙන එක නෙව වැඩේ….

    ඔන්න මේක උනේ මඟුල් ගේක කසාදෙ රෙජිස්ටර් කරන්ඩ යද්දි, දැන් අර කියන වාක්කිය එහෙම කියල මනමාලය ඉඳගත්ත පුටුවෙ. රෙජිස්ටාර් ගොයිය පොත හරවල දුන්න ” දැන් මනාල මහත්මය මෙතන අත්සන් කරන්ඩ බලන්ඩ ” කියල.

    මොන? අහවල් අත්සන් කිරිල්ලක්ද? මනමාලය එහාට ඇඹරෙනව, මෙහාට ඇඹරෙනව, වට පිට බලනව, එක විකාරයයි, අත්සන් කරන පාටක් කොහෙත්ම නෑ. දැන් මනමාලිත් ඇතුලු කට්ටියම කටවලුත් ඇරගෙන බලා ඉන්නව මේ මොකෝ මේ සීන් එක කියල,

    මේක දැකල එතනට ආව මනමාලයගෙ අයිය, ඒ කරල කසාද පොත තියල තිබ්බ මේසෙ එහාට මෙහාට හොල්ලන්ඩ පටන් ගත්ත. අප්පට සිරි, මෙන්න බොලේ මනාලය කටපුරාම හිනාවෙල එහෙම යස අගේට ගැහුව අස්සම,කිසි ගින්නක් නැතුව…..හෙහ්, හෙහ්,

    ” අපෙ මල්ලි කොන්දොස්තර කෙනෙක්නෙ, අකුරක් වත් ලියන්ඩ බෑ මේ විදිහට නැතුව” අයිය ඔලුවත් පාත් කරල බොහොම අහිංසක විදිහට කිව්ව.

  3. සපත්තු සෙරෙප්පු ගලවලා වාහන එලවන්න පුරුදු වෙන්න පටන් ගන්නකොට මටත් ඔය දේ හිතුනා. එත ඉතින් ගුරා සපත්තු ගලවන්න කියනකොට වෙන මොකක් කරන්නද

  4. ඩීප්ස් . . අපිට මෙහේ නම් කියන්නෙම කකුලට පහසු සපත්තු දාගෙන එන්න කියලා අනිවාර්යෙන් . . .

    සමීර උඹ මූනු පොතේ ඉන්නවැයි . . ?(මගේ යාලු ගොඩේ ඉන්නවත් වෙන්නත් ඇති සමහර විට . . හික් හික් )

    • ඉන්නවා ඉන්නව.. නමුත් දැන් ඒ පැත්තේ යනවා අඩුයි…. මගේ නමින් හෙව්වොත් හම්බවෙයි.. මම ඇඩ් කොරගන්නං කෝ.

    • මම ගියපු පලවෙනි දවසෙම කිව්වේ සෙරෙප්පු සපත්තු එපා, එතකොට දැනෙන්නේ නෑලු වාහනේ….හික්..අර අඩි හතර හමාරක් විතර එකක් දාගෙන ගියා නම් තව කමක් නැහැ එහෙම කිව්වට…සෙරෙප්පු ගැන නම් මෙහෙමත් හිතෙනවා…සෙරෙප්පු පටි එහෙම පැඩල් වල පැටලෙන්න ඉඩ තියනවා ඉතින් බැරි වෙලාවත් කකුලෙන් ගැලවුනොත්…එත් ඉතින් සපත්තු නම් අවුලක් නැහැ..

      • ගෑණු ලමයින්ගේ සපත්තු ගැන නම් ඉතින් කියලා වැඩක් නෑ.. ඒවා නොදා ඩ්‍රයිව් කරන්න යන එකමයි හොඳ.. සමහර ස්ත්‍රී පාවහන් තියෙනවා ලොරි අඩයක් විදියට ගන්නත් පුලුවන්.. ඉතින් ඒ වගේ එකක් ඇක්සලරෙටර් එක උඩ තිබ්බම ඉබේම ලෑල්ලටම පෑගෙනවා..

        සොරිම තමා ඉතිං..!

  5. කොහෙද දන්නේ නෑ ඔය ලර්නර්ස් සපත්තු ගන්න තියෙන්නේ.කොයිකටත් කියල දෙකක් අරන් තියා ගන්න.

  6. මටත් අපේ එකෙක් ලර්නර්ස් ගිය හැටි මතක් උනා… ලියන්න ඕනි.. ඔය සපත්තු ගලවල පුරුදු විල්ල ඔය රටෙත් තියෙද ???

ප්‍රතිචාරයක් ලබාදෙන්න